පළමුවැනි තරුණී පත්තරේ අතට ගත්තේ මම

තරුණී හිටපු කර්තෘ ඉඳුනිල් අමරසේකර අතීතය මතක් කරයි
ජූලි 14, 2025

අදින් වසර 15කට පමණ පෙර අපි කතරගම සංචාරයක නිරත වීමු. ඒ හිමිදිරි උදෑසන ඡායාරූප ශිල්පී විමල් කරුණාතිලකත් මමත් අතුරු පාරක් ඔස්සේ කතරගම පුදබිම වෙත යමින් සිටියෙමු. එක්වරම අපේ රියැදුරු වාහනය නතර කළේය.

‘ඇයි?’ මම ඇසීමි.

‘අඳුරනවද බලන්න අර කඩේ ළඟ ඉන්න නෝනව.’

ඔහු අපට ඉදිරියෙන් ඇති කඩයක් පෙන්වීය. ඔහු පෙන්වූ ඇය සිටියේ දවසේ පුවත්පතක් බලමිනි.

මම ඇය වෙත ගියෙමි.

‘අඳුරනවද මාව’ මම ඇසීමි.

‘ඉනෝකා නේද‘ මොහොතක් මදෙස බලා සිටි ඇය ඊළඟ ඇසිල්ලේ එසේ කීවාය.

මේ වෙන කිසිවෙක් නොව ‘තරුණී‘ පුවත්පතේ ආරම්භයේ සිටම මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ පසු කලෙක තරුණී පුවත්පතේ කතුවරියද වූ ඇය නමින් ඉඳුනිල් අමරසේකර නම් වන්නීය.

1942 වසරේ අගෝස්තු 22 දා උපන් ඉඳුනිල් සොයුරු සොයුරියන් හත් දෙනකුගෙන් යුතු පවුලේ දෙවැන්නිය වේ. ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනුම ආරම්භ කළ ඇය ඉන්පසු පාසල් කිහිපයකම අධ්‍යාපනය ලබන්නීය. ඒ අතීතය සිහිකරනා ඇය,

‘මගේ තාත්තා අතාවුද ආරච්චිගේ ඩේවිඩ් අමරසේකර. ඔහු සේවය කළේ පොලීසියේ. මේ නිසා තාත්තාගේ මාරුවීම් එක්ක අපටත් රට වටේ යන්න අවස්ථාව ලැබුණා. කෑගල්ල කොන්වන්ට් එකෙත්, කළුතර හෝලි ෆැමිලි කොන්වන්ට් එකෙත් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. සාමාන්‍ය පෙළ කරලා ඉන්න කාලේ ටික කලකට කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ ඉගෙන ගන්න ලැබුණා. ඉන් පස්සේ විශාඛා විද්‍යාලයට ඇතුළත් වෙලා ඉගෙන ගත්තා. ඒ අවුරුද්දේ 58 දෙනෙක් විශාඛා විද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට තේරුණා. කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා උපාධිය හැදෑරුවත් උපාධි සහතිකය ලැබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්. මගේ අම්මා රත්නායක මුදියන්සේලාගේ රන්මැණිකේ රත්නායක ඇය රැකියාවක් කළේ නැහැ. අපිව බලාගෙන ගෙදරට වී සිටියා. කැම්පස් එකෙන් එළියට ආව දවසේ ඉඳලම රස්සාවල් හෙවුවා. ඉල්ලුම් පත්‍ර යොමු කළා පත්තර කන්තෝරුවලටත්. එක දවසක් උදයන් පත්තරේ සම්මුඛ පරීක්ෂණයට ගියා. එතැන හිටියේ රීටා රත්නායක නිළිය. ඒකට ගිහින් ගෙදර එද්දී ලේක්හවුස් එකෙන් ලියුමක් ඇවිත් තිබුණා සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා. සම්මුඛ පරීක්ෂණයට විශාල පිරිසක් ඇවිත් හිටියා. විශාඛා විද්‍යාලයේ ඉගෙන ගත්ත අයත් ගොඩක් හිටියා. කොහොම හරි විභාගයෙන් වැඩිම ලකුණු අරන් තිබුණේ මම. සම්මුඛ පරීක්ෂණයේදී අපව ඉන්ටර්විව් කළ ගෝමස් මහත්මයා මගෙන් ඇහුවා ඇයි මේ වගේ එකකට ඉල්ලුම් කළේ කියලා. මම කිවුවා මම කැමතියි පත්තරේ වැඩ කරන්න කියලා. නන්දනී මෛත්‍රීවර්ධනත්, නෙළුම් විමලරත්නත්, මාවත් එදා කර්තෘ මණ්ඩලයට තෝර ගත්තා. අපිට සේවයට එන්න කියලා ලියුමක් එවලා තිබුණා. එන්න කියලා තිබුණේ 1969 අප්‍රේල් පළමුවැනිදා සිට. නෙළුම් මගෙන් ඇහුවා. අප්‍රේල් පළමුවැනිදා එන්න කියන්නේ බොරුවක්ද දන්නේ නෑ නේද කියලා. මම කිවුවා ගිහින් බලමු කියලා.

මගේ තාත්තා මාවත් නෙළුම්වත් දෙන්නම ලේක්හවුස් එකට ගෙනත් ඇරලලා ගියා. එතකොට තාත්තා සේවය කළේ මිරිහාන පොලීිසියේ. ජයසිරි කියල පියන් කෙනෙක් ඇවිත් අපිව උඩට එක්කරගෙන ගියා. මම තමයි අන්තිමට ලියනගේ මහත්තයා ගාවට ගියේ. ඔහු මට බැණ්නා ආවේ නැත්තේ මොකද කියලා. කොහොම හරි ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ මහත්තයා තමයි තරුණී ආරම්භක කර්තෘ. ඔහු අපිට එක එක දේ ලියන්න දුන්නා. ලියනගේ මහත්තයා මට කතා කරන්නේ අමරසේකර කියලා. ඔහු මට වැඩ භාර දෙනවා. දවසක් අපිට කිවුවා අලුත් කාන්තා පත්තරේට නමක් යෝජනා කරන්න කියලා. අපි නොයෙක් නම් කිවුවා ඔහු හිනා වෙවී අහන් හිටියා. ඒ වෙනකොට ලියනගේ මහත්තයා නැකැත් බලලා නමක් දාගෙන තිබුණේ. ඔහු තමයි තරුණී කියල නම දැම්මේ. මට භාර දුන්නා “මා කැමැති තරුණයා“ කියලා ලිපි පෙළක් ලියන්න. ඊට පස්සේ වෙනත් නමකින් “මා කැමති තරුණිය“ කියලත් ලිවුවා.

විවිධ මාතෘකා ඔස්සේ විවිධ ලිපි ලේඛන සැපයූ අමරසේකරගේ නම ගැන නම් මුල සිටම හික්කඩුව ලියනගේට කැමැත්තක් නොතිබිණි. එනිසා පැට්‍රිෂියා නම වෙනුවට ඔහු ඉඳුනිල් අමරසේකර යනුවෙන් නම වෙනස් කළේය. ඊට ඇගේ ද අකමැත්තක් නොවූවාය.

 

“ඒ කාලේ නිව්ටන් පින්තූ තමයි බ්ලොක් එක හදලා ඉවර වුණාම ඒක අරගෙන එන්න යන්නේ. ඒ දවස්වල බ්ලොක් හැදුවේ පිටින්. එකල අනුලද සිල්ව හිටියේ මිහිර පත්තරේ. චිත්‍රා බෝපෙගෙදර ඇයත් පත්තරේට ලිවුවා. මිහිරයි තරුණියි දෙකම තිබුණේ එකම තැන. 1969 ජූලි 09 තමයි තරුණී මුල්ම කලාපය නිකුත් වුණේ. එදා පත්තරය පාස් කරන්න අපි තුන්දෙනාම ප්‍රෙස් එකට ගියා. ලියනගේ මහත්තයා කිවුවා අපට යන්න කියලා මම තමයි මුලින්ම තරුණී පත්තරේ අතට ගත්තේ.”

අදත් ඇය පවසන්නේ ඉමහත් සතුටිනි.

 

“මට කවදාවත් කර්තෘ තනතුරක් ගන්න ඕනෑ කියලා ඔළුවේ තිබුණේ නෑ. මට හැමදාම ආසාව තිබුණේ ලියන්න. මම වෛද්‍ය ලිපි ලිවුවා, ලිපි පරිවර්තනය කළා. දවසක් මට දුන්නා ඩඩ්ලි සේනානායක මහත්මයාගේ ලිපියක් පරිවර්තනය කරන්න. මම එය ඉතාම ආසාවෙන් කළා. ඒකාලේ අපි නිකම් කාලය ගෙවා දැම්මේ නෑ කුමක් හෝ වැඩක නිරත වුණා.

 

1996 අවුරුද්දේ මම තරුණී කර්තෘ වුණා. ඒ කාලයේ මම පත්තරේ වෙනුවෙන් බොහොම කැපවීමෙන් වැඩ කළා. මුලින්ම මම වැඩට යන කාලේ මගේ මාසික වැටුප රුපියල් 247යි. විශ්‍රාම ගන්න කාලය වෙනකොට වැටුප රුපියල් තිස් දහසයි. විශ්‍රාම ගන්නා කාලයේ මම සේවය කළේ මධ්‍යම ප්‍රවෘත්ති කාර්යාංශයේ. වසර තිහක සේවා කාලයක් සම්පූර්ණ කිරීමේ සැමරුමත් මට ලැබුණා. පත්තර ජීවිතයේ අමතක නොවන දෙයක් තමයි 1982 වසරේ මට ඉන්දුනීසියාවට යන්න ලැබුණු එක. දවස් අටක් ඉන්දුනීසියාවේ ගත කරන්න ලැබුණා. ඒක හරි සුන්දර ගමනක්. ජීවිතයේ ආපස්සට හැරිලා බලද්දී මට ලොකු සතුටක් දැනෙනවා. මම හැමදාමත් ඇත්ත වෙනුවෙන් පෙනී හිටිය කෙනෙක්. පත්තර රස්සාවට කැමති නිසාම මම හැමදාම පත්තරෙත් එක්ක රැඳුණා. මගේ තාත්තා සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් ලෙස රැකියාවට බැඳී සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස විශ්‍රාම ගත්තා. ඔහු අවසානයට සේවය කළේ ලේක්හවුස් ආයතනයේ ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස. මගේ මහත්තයා රවීන්ද්‍ර කහවිට. ඔහු මීට කලකට පෙර මියගියා. ඔහු සේවය කළේ විද්‍යාලංකාර පිරිවෙනේ.

 

අද මම පොතක් පතක් කියවාගෙන, පත්තරයක් බලාගෙන බොහොම නිදහසේ කාලය ගත කරනවා. මගේ පුතා උදුල ඉන්දික කහවිට. පුතා හැමවිටම කියන්නේ මට කොළඹට එන්න කියලා. එහෙම එන්නත් අදහසක් තියෙනවා. වසර ගණනාවක් තිස්සේ මගේ වෘත්තීය ජීවිතයේ ලබපු අත්දැකීම් එක් මම පොතක් ලියමින් ඉන්නේ මේ දවස්වල. තරුණී පුවත්පතේ පනස් හත්වැනි උපන්දිනය සමරන මේ මොහොතේ ආරම්භක කර්තෘ මණ්ඩලයේ සේවය කළ මාව මතක් වීම පිළිබඳ හරිම සතුටුයි. මම තරුණී පුවත්පතට සුබ පැතුම් එක් කරනවා.” ඇය එසේ පැවසුවේ බොහෝ ළෙන්ගතු හැඟීමෙනි.