ශ්‍රී ලංකාවෙන් තායිලන්තයට භික්ෂුණී ශාසනය දායාද කළ ධම්මානන්ද භික්ෂුණීන් වහන්සේ

ජනවාරි 6, 2021

දම් සිසිලෙන් නැහැවෙන අපේ පින් බිමට උඳුවප් මාසය දෙආකාරයකින් සුවිශේෂී වෙයි. විශේෂයෙන් කාන්තාවන්ට ගතවූ උඳුවප් මාසය අධ්‍යාත්මික දිවියේ හැරැවුම් ලක්ෂ්‍යයක් වැනිය. මිහිඳුමහ රහතන් වහන්සේගේ අනුදැනුම ඇතිව දේවානම් පියතිස්ස රජතුමාගේ ආරාධනයෙන් සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස සිරිලකට ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව සමඟ වැඩම කළේ උඳුවප් පෝය දිනයක ය. අනුලා දේවිය ඇතුළු කුල කාන්තාවන් පිරිසක් සසුන්ගත වෙමින් මෙහෙනි සස්න ඇති කරනු ලැබුවේ ද එවැනි උතුම් දිනයකය. අපට ලැබුණු බුදු දහමේ උරුමය අදත් ලොවට ආශීර්වාදයක් වී තිබෙයි. පහනින් පහනක් දැල්වෙනවාක් මෙන් තවමත් අප රටෙන් ථේරවාදී බුදු දහමේ ආශීිර්වාදය ලබන පින්බර කාන්තාවන් ද ලොවෙහි සිටියි. තායිලන්තයේ ධම්මානන්ද භික්ෂුණින් වහන්සේ එවන් පින්වන්තියකි. 2019 වසරේ බීීබීසී නාළිාකාවෙන් නම් කළ විශිෂ්ටම කාන්තාවන් අතරට තායිලන්තයේ ධම්මානන්ද භික්ෂුණිය ද නම් කර තිබිණි.

තායිලන්තය කහ වතින් බැබළෙන දේශයකි. එරට බෙෘද්ධ භික්ෂූන් වහන්සේලා තුන් ලක්ෂයක් පමණ වැඩ සිටියත් භික්ෂුණීන් වහන්සේලා නම් දක්නට නැති තරමිය. කලක් යන තුරු එරට සංඝ සභාව විසින් කාන්තාවන්ට සසුන්ගත වීම තහනම් කරන ලදී. තායිලන්තයට අහිමි වී ගිය මෙහෙනි සසුන යළි එහි ඇති කිරීමට පෙරමුණ ගත්තේ ටයිම් සඟරාව මඟින් වසරේ වීරවරියක් කළ ධම්මානන්ද භික්ෂුණිය ය. 1944 දී චත්සුමාන් කාබිල්සිං නමින් උපත ලද්දේූ බොදු වටාපිටාවක් ඇති පරිසරයක ය.

එරට පිරිමින් භික්ෂුණී ශාසනය හෙළා දකිද්දී ඇයගේ පියා කෝකෙයිත් කාන්තාවන්ට මෙහෙනිවර උරුම කරදීමට ඇප කැප විය. චත්සුමාන්ගේ මව වොරමායි මහන වීම ම ඒ කැප වීමට සාක්ෂියකි. චත්සුමාන් භික්ෂූණීන් වහන්සේලා නිතර ඇසුරු කළාය. චත්සුමාන් ඉන්දියාවේ මගධ සරසවියෙන් දරුශනපති උපාධියක් ද ලැබුවාය.

සෝවාන් ඵලයට පැමිණි විශාඛාව මෙන් ඇය ද විවාහ දිවියට ඇතුළත් වූවාය. පුතුන් තිදෙනකුගේ මවක වූවාය.

වෘත්තීය වශයෙන් චත්සුමාන් කළේ තම්මාසත් සරසවියේ ආගම සහ දර්ශන විද්‍යාව ඉගැන්වීම ය. ආචාර්ය චත්සුමාන් ් කාබිල්සිං නමින් ඇය බුදු දහම ගැන පොත් ගණනාවක් ලිව්වාය.

ගිහි ජීවිතයක් ගතකළ ද සැම විටම ඇය කියා සිටියේ ජීවිතයේ කුමන අවධියක හෝ මහන වන බවයි. නිවැරැදි කාලය ඉවෙන් මෙන් දැන සිටි ඇය වසර 2000 දී තමන් සිප්සතර බෙදා දෙමින් සිටි තම්මාසාත් සරසවියෙන් නියමිත කලට පෙර විශ්‍රාම ගත්තාය. 2001 දී චත්සුමාන් ශ්‍රී ලංකාවට පැමිණ සද්්ධා සුමනා භික්ෂූණීන් වහන්සේගෙන් සාමනේරභාවය ලැබූවාය. ධම්මානන්ද භික්ෂුණිය ලෙසින් ඇය පූර්ණ භික්ෂුණීත්වය ලැබුවේ 2003 දී ධම්මාලෝක භික්ෂූන් වහන්සේ ගෙනි. ධම්මානන්ද භික්ෂුණීන් වහන්සේ ලෙසින් එතුමිය ග්‍රන්ථ සියයකට වඩා රචනාකර තිබෙයි. ආසියානු බුදු දහමේ කාන්තාවන්ට හිමි තැන එතුමියගේ බොහෝ ග්‍රන්ථවලට කේන්ද්‍ර වී තිබෙයි.

රටේ සියයට අනූ පහක් පමණ බෞද්ධයන් සිටින තායිලන්තයේ තවමත් ස්වයං තීරණ ගැනීමේ අයිතියක් තවමත් කාන්තාවන්ට නැත. එවැනි සමාජයක ධම්මානන්ද භික්ෂුණිය විලේ පිපි සුදෝ සුදු නෙළුම් මලක් බඳුය.

 

අන්තරජාලයෙනි