බුදුහිමි වදාළ තීරණ ගැනීමේ දී සිතිය යුතු දේ....

අනුමානය, උපකල්පනය කොට ගන්නා තීරණ නිවැරැදි නොවේ
නොවැම්බර් 13, 2019

 

පින්වතුනි, කෙනකු අභිබවා අනෙකා නැඟී සිටීමටත් කෙනකුගේ අදහස බිඳහෙළා තමන්ගේ මතය නිවැරැදි යැයි කීමටත් වෙර දරන තරගකාරී නූතන සමාජයේ ඔබ ඔබේ තීරණය වඩාත් නිවැරැදිව ගන්න.

 

අනුශාසනාව

ශාස්ත්‍රපති, පූජ්‍ය

කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ

 

මිනිස් සිත තුළ ආගමික සංකල්ප, කවදා කෙසේ ඇතිවීදැයි නිගමනය කරන්න අපහසුයි. නමුත් ස්වභාව ධර්මයේ විවිධ බලවේගයන්ට හසු වූ ආදි මිනිසාගේ චිත්ත සන්තානය තුළ වූ භය, ත්‍රාසය, දුක් වේදනා දී සංකල්ප මුල් කොට ගෙන ආගමික සිතුවිලි හටගත් බව වැටහේ.

ඇතැම් දාර්ශනිකයෝ තමන්ට පැමිණෙන දුක් කරදර නොපෙනෙන දෙවියකුට හෝ වස්තුවකට පවරාදුන්නේ මේ නිසා විය හැකියි. එහෙත් ලොව්තුරා අමාමෑණී බුදු පියාණන් එය මිනිසාටම පවරා දුන්හ.

තමන්ගේ ජීවිතය තමන් ගන්නා තීරණ සිදුකරන ක්‍රියාව අනුව පවතින බව උන්වහන්සේ අවධාරණය කළහ.

පින්වතුනි, ඔබ යමක් අනුමානයෙන් හා සැකයෙන් තොරව ප්‍රත්‍යක්ෂයෙන්ම වටහාගත යුතු බව උන්වහන්සේ දේශනා කළහ.

පින්වත් ඔබ නිදහස්ව, නිවහල්ව ස්වාධීනව සිතීමේ විමසීමේ, පර්යේෂණ කිරීමේ හා මතවලට එළැඹීමේ ඉඩකඩ ඇතිකර ගත යුතුයි.

බුදු රජාණන් වහන්සේ කොසොල් රට කේසපුත්ත නම් නියම් ගමට වැඩමවූ අවස්ථාවෙන් එනුවර වැසි, කාලාමයන් සපිරිවරින් බුදුරදුන් හමුවට ගොස් මෙසේ විචාරා සිටියා.

“ස්වාමීනී, මේ නියම්ගමට ජටිල ආජීවක, පරිබ්‍රාජක, තීර්ථක ආදී විවිධ ශාස්තෘවරුන් දිනපතා පැමිණෙනවා.

ඔවුන් තමන්ගේ මතවාද පමණක් අගයමින් වෙනත් ආගම් ගැරහීමට ලක් කරනවා.

ඔබ වහන්සේ නම් මනස පමණක් අගය කරමින් කටයුතු කරන්න යැයි පවසනවා. එසේ නම් අපි කළයුත්තේ කුමක් ද?

මේ අවස්ථාව මුල්කරගනිමින් බුදු රජාණන් වහන්සේ පුද්ගලයකු නිවැරැදි තීරණයක් ගත යුතු අන්දම මෙලෙසින් පැහැදිලි කොට තිබේ.

ඇසෙන පමණින් නොපිළිගන්න

පින්වතුනි, අප සමාජයේ ජීවත්වන අය යම් යම් පෞරාණික මතවාද හා විශ්වාසයන්හි දැඩිව එල්ලී සිටින බව දක්නට ලැබෙනවා.

කවුරු කෙසේ කොහොම කිව්වත් ඒවාට පටහැනිව කටයුතු කරන්නට ඔවුන් මැළිවෙනවා.

එබැවින් පළමුව පුද්ගල නිදහස හා ස්වාධීනත්වය සඳහා කොතෙක් ඇසූ දුටුත් ඒවා සිහි බුද්ධියෙන් ඇසීමත්, බැලීමත්, සත්‍ය වටහා ගැනීමත් කළ යුතු වෙනවා.

පරම්පරාවෙන් ආ පමණින්

විශ්වාස නොකරන්න

ඔබ කිසිවිටෙකවත් යමක් පරම්පරාවෙන් ආ පමණින් විශ්වාස නොකළ යුතුයි.

එසේ කරන්නට යාමෙන් ඔබට සත්‍ය වටහා ගත නොහැකියි.

ඔබ අන්ධයකු මෙන් අසරණ වේ. ඔබේ මවුපියන්, සහෝදර සහෝදරියන්, මුතුන් මිත්තන් කියූ පමණින් යමක් 100% ක් විශ්වාස නොකර එය කෙසේ වී දැයි, කෙසේ විය යුතුදැයි හොඳින් සොයා බලන්න.

අනුමාන නොකරන්න

ගවේෂණයෙහිදී අනුමාන වශයෙන් තීන්දු තීරණ නොගන්න. මෙයින් පැහැදිලි වන්නේ අනුමානයෙන් සත්‍ය නිගමනයකට එළැඹිය නොහැකි බවයි.

ඈත පෙනෙන මිරිඟුව සත්‍ය වශයෙන් ජලධාරාවක් වශයෙන් පෙනෙන්නට පුළුවන. නමුත් එතැන ජල ධාරාවක් නැති විය හැකියි. ඒ වගේ අනුමාන වශයෙන් යමක් නොපිළිගත යුතුයි.

පොත්පත්වල තිබුණාට බැහැ

සත්‍ය සෙවීමේ දී පිටක සම්ප්‍රදායට ගැති නොවිය යුතුයි. පිටක යනු කොටස් කළ, වර්ග කළ පොත්පත් ආදියයි. පොතපතක සඳහන් කර තිබූ පමණින් එය නිවැරැදි යැයි සිතීම ඔබ මුළාකරවන්නකි.

තර්කය නිවැරැදි නොවේ

තර්කය යනු සත්‍යය සෙවීමට ළංකරගන්නා එක්තරා උත්සාහයකි. බුදු රදුන් පවා සත්‍ය ගවේශණයෙහි දී තර්කය බැහැර කළා.

තර්ක කිරීමෙන් යමකු පරාජය කළ හැකි වුවත් තවත් ව්‍යක්ත තාර්කිකයකු අතින් අනෙකකු පරාජය විය හැකියි.

න්‍යාය සත්‍ය වසයි

න්‍යාය යනු සත්‍ය වසා දැමූ යම්කිසි බලයකි. තර්කය වැනිමය. යම්කිසි නිගමනයක් තුළ කොටු වූ අයකුට එයින් බැහැරව කටයුතු කරන්නට බැහැ.

එසේනම් න්‍යාය ද තර්කයක් ගොඩනඟා ගත් නියමාවලියක් පමණි. පින්වත්නි, මේ න්‍යාය මිනිස් සිතක් අවුරා තබන යෝධ ප්‍රකාරයක් වගෙයි.

ගැති නොවීම

අනුන්ගේ අදහස් උදහස්වලට ගැති නොවී කටයුතු කිරීමත් බෙහෙවින් වටී. මක්නිසාද එය ඔබේ ස්වාධීනත්වයට තර්ජනයක් වන බැවිනි.

පිළිගත් මත නිවැරැදි නොවේ

යමෙක් තමන් දන්නා නොඑසේ නම් පිළිගත් මතයට අනුකූල වූ පමණින් සත්‍ය නොපිළිගත යුතුයි. සත්‍යාවබෝධය පිණිස විවිධ දෑ නිදහස්ව නිවහල්ව සිතිය යුතුය.

විසිතුරු බවට නොරැවටෙන්න

ඔබ ගෞරවය නිසා යම් යම් දේ නොපිළිගන්න. හිතන්න, බෝනික්කකු තුළ ඇත්තේ විසිතුරු බව පමණි. ගුණවත් කමක් නැහැ. එබැවින් පුද්ගල ගෞරවය සත්‍යයට මුළා නොවන බව බුද්ධ දේශනයයි. පින්වතුනි, අප සමාජයේ සමහරුන් බෝනික්කන් මෙන් පියකරුයි. අහිංසකයි. මොළකැටියි. නමුත් ඔවුන්ගේ අභ්‍යන්තරික, අධ්‍යාත්මික ගුණවගා පිරිහිලා.

සිල්වත් වූ පමණින්

පිළිගන්නට එපා

මේ ශ්‍රමණයෙකි. ඔහු සිල්වතෙකි, ගුණවතෙකි කියා කීවත් ඔහු පරීක්ෂා කොට බලා මිස පිළිනොගන්න.

පුද්ගලයාට නිවැරැදිව සිතීමට, විමසීමට, තීරණ ගැනීමට පූර්ණ නිදහසක් අවැසියි.

පින්වතුනි, කෙනකු අභිබවා අනෙකා නැඟී සිටීමටත් කෙනෙක්ගේ අදහස බිඳහෙළා තමන්ගේ මතය නිවැරැදි යැයි කීමටත් වෙර දරන තරගකාරී නූතන සමාජයේ ඔබ ඔබේ තීරණය වඩාත් නිවැරැදිව ගන්න.

එය අනුමාන කර, උපකල්පනය කර මේ දේ නිවැරැදි යැයි පිළිනොගන්න. ඔබ ඔබ විසින්ම සියල්ල ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් පිළිගන්න. තර්කය බැහැර කොට සත්‍යයට තැන දෙන්න.