රහතන් වහන්සේලා ගඩොල් අතුරන අවස්ථාවේ පොළොව සෙලවී මහා සෑයේ සිදු වූ ප්‍රාතිහාර්යය

දෙසැම්බර් 2, 2020

පසුගිය කලාපයෙන්....

නාග ලොවට රැගෙන ගිය ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා සහිත කරඬුව මැණික් ඔබ්බවූ ධාතු මන්දිරයක තැන්පත් කළ පසු ධාතු මන්දිරයට අවශ්‍ය එළිය, විශාල ප්‍රමාණයේ නිල් මැණික්වලින් ලබාගෙන පසුව කඩුපුල් මලින් ද පුදසත්කාර කරන ලදී.

 

අතීත භාරතයේ අශෝක අධිරාජයා පහළවීමත් සමඟ ධර්මදූත සේවය පිණිස මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කර, ලක්දිව බුදු සසුන පිහිට වූ බව අප කවුරුත් දන්නා කාරණයකි .

මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කරන විට ලක්දිව පාලනය කළේ දේවානම් පියතිස්ස රජු යි. මිහිඳු හිමියන් කෙරෙහි පැහැදුණු රජු, හිමියන් සමඟ මේ පුදබිමට පැමිණි අතර මහාසාල දිව්‍ය පුත්‍රයා හිමියන්ට, මේ පුදබිමට වඩින්නට මාර්ගය සකස්කර දෙන ලදී.

පුදබිමට වැඩම කළ මිහිඳු හිමියන් අනාගතයේ දී දේවානම් පියතිස්ස රජුගේ මුණුපුරකු අතින් ඉදිවන මහා සෑය දිවැසින් දැක, එම ස්ථානයට සපුමල් ඉසින ලදී. සපුමල් ඉසිනවාත් සමඟම මහ පොළොව කම්පා විය. එම ප්‍රාතිහාර්‍යය පිළිබඳ රජු හිමියන්ගෙන් විමසූ විට මිහිඳු හිමියන්, අනාගතයේ දී ඉදිවෙන මහා සෑය පිළිබඳ විස්තරය රජුට පැවැසීය.

රජු විසින් අනාගතයේ දී දුටුගැමුණු රජුට මේ පිළිබඳව සිහිකරවීම පිණිස එකසිය විසි රියනක් උස මහා ස්ථූපයක් ගාමිණී අභය රජතුමා විසින් ඉදිකරන බව විශාල ගල් කණුවක සටහන් කර මේ ස්ථානයේ තැන්පත් කළේය. ඊට අමතරව රන් පත්වල මේ කාරණය ලියා මාළිගාවේ ආරක්ෂිත ස්ථානවල එනම්, රන් කරඬුවල තැන්පත් කිරීම ද සිදු කළේය.

නැවත මෙම භූමිය මහාසාල දෙවියන් විසින් පෙර පරිදිම ආරක්ෂා කළේය.

පසුකාලීනව දුටුගැමුණු රජතුමන් මේ ලක්දිව පහළ වීමත් සමඟ එළාර පාලනයේ තිබූ ජයසිරි මහ බෝධිය හා ථූපාරාමය බේරාගැනීමට රුහුණේ සිට අනුරපුරය දක්වා දස මහ යෝධයන් සමඟ යුදබිමට පිවිසුණේය. දැවැන්ත යුද ජයග්‍රහණ විසිඅටක් සිදුකරමින් ඉදිරියට ගිය දුටුගැමුණු රජු, එළාර නසා ශ්‍රී ලංකාව තුළ බුද්ධ ශාසනය ආරක්ෂා කරගත්තේය.

විශාල මිනිස් ඝාතනයකින් පසු, පසුතැවුණු රජු, තමන්ට මහා නරකාදියට යෑමට සිදුවේ යැයි නිතර නිතර කල්පනා කළේය. ඒ බව දැනගත් රහතන් වහන්සේලා අට නමක් රජගෙදරට වැඩමකර, ඔබවහන්සේ බුද්ධ ශාසනය බබළවන්නට පහළවූ රජකෙනකු බවත්, සසරේ මහ පිං රැසක් සිදුකළ පින්වන්තයකු බවත්, අනාගතයේ පහළවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් අග්‍ර, අගසවු තනතුරට පත්වන්නේ ඔබ බවත්, මෙම පාප කර්ම පළදීමට පෙර ඔබ සසරෙන් නික්මෙන බවත් වදාළහ.

මෙයින් සතුටට පත් රජු විවේකීව සිටින මොහොතක මා විසින් මහා සංඝයාට නොදී කිසිදු ආහාර වේලක් අනුභව කර ඇද්දැයි හෝ ඒ ආකාරයේ වරදක් තමා අතින් සිදුවූවාද කියා කල්පනා කළ අතර. එවිට රජුට මහා සංඝයාට නොදී යුද සමයේ දී තමන් ලුණු මිරිසක් වැළඳූ බව සිහි වුණි.

එමනිසා ඒ වෙනුවෙන් රජුගේ ධාතූන් වහන්සේලා සහිත ජයකොන්තය ගළවාගැනීමට නොහැකි ආකාරයෙන් තැන්පත් වූ ස්ථානය වට කොට මිරිසවැටි ස්ථූපය ඉදිකරවනු ලබනවා.

පසුව, පුදපූජා පැවැත්වීම සඳහා ජයසිරි මහ බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථානයට පැමිණෙන රජු වතාවත් කොට යන අතරමගදී මහාසාල දිව්‍ය පුත්‍රයා විසින් යන මාර්ගය වරද්දවා දේවානම් පියතිස්ස රජු පෙරදා ඉදිකළ ගල් කණුව ළඟ නතර කරවීය. එහි සටහන් වී ඇති විස්තරය පිළිබඳ සතුටු වූ රජු මාළිගාවේ තිබූ රන් පත්වල ඇති තොරතුරු පවා සොයාගනු ලබනවා. එනම්, තමන් විසින් බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත්කොට සාදන ස්වර්ණමාලි මහා සෑ රදුන් හා සංඝරත්නය උදෙසා නිර්මාණය කරන නව මහල් ප්‍රාසාදය පිළිබඳවත් දැන රජු ප්‍රීතියෙන් ඉපිල යනවා.

සංඝයාට පොහොය කර්ම සිදුකිරීම සඳහා සුදුසු ස්ථානයක් සැකසීමට පෙර රහතන් වහන්සේලාගෙන් විමසන රජු ඊට අදාළ සැලැස්ම රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටින අතර. පසුව භරණි නම්, දිව්‍යාංගනාවගේ දිව්‍ය විමානය ආකාරයට සැලැස්මක් ඉන්ද්‍ර ගුප්ත මහ රහතන් වහන්සේ විසින් රජුට ලබාදෙන ලදී. ඒ ආකාරයෙන්ම ලෝවා මහාපායේ වැඩ කටයුතු නිමකර සඝසතු කර පූජා කළේය.

එකල ඉන්දියාවට පවා මේ ප්‍රාසාදයේ මුදුනේ තැන්පත් කළ මැණිකේ එළිය පෙනුණු බවට මීට අවුරුදු 1500කට පෙර ඉන්දියාවේ සංචාරය කළ ‘හියුං සැන්’ නම් පුද්ගලයා එක්තරා පොතක සටහන් කර තිබෙනවා. එකල පැවැති මැණික්වල අධික එළියක් විහිදී ඇති අතර, අවාසනාවකට අද එම මැණික් වර්ග දැකගැනීමට නොහැකියි.

යුද්ධය නිසා අධික ලෙස මිනිසුන් වෙහෙසට පත්ව ඇති නිසාත් අමුද්‍රව්‍ය පවා හිඟ බැවින් කෙසේ මහ සෑයේ කටයුතු ආරම්භ කරන්නේදැයි රජු කල්පනා කරන බව දැනගත් දෙවිවරු ශක්‍ර දෙවියන්ට මේ කාරණාව සැලකරන ලදී. උන්වහන්සේ මේ සෑයට අවශ්‍ය ගඩොල් සපයා දෙන ලෙස පවරන්නේ, විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට යි. මේ අනුව විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් අනුරාධපුරයට උතුරු දිශාවේ වනයක විශාල ගඩොල් ප්‍රමාණයක් මවන ලදී. වැද්දකු විසින් තලගොයෙක් පසුපස දඩයමේ යන විට මේ ගඩොල් දැක රජුට ඒ බව සැළකර සිටිනවා.

තවත් ඇමැතිවරයකු විසින් තඹවිට නම් ගමේ පොළොවෙන් තඹ මතු වී ඇති බව රජුට සැල කරනවා. මේ අනුව රටේ සෑම තැනකින්ම මුතු, මැණික් වර්ග මෙන්ම, රිදී ගමේ ගුහාවකින් රිදී කඳන් පවා පහළ වී තිබෙනවා. එපමණක් නොවේ තවත් ස්ථානයක මිරිස් ගල් ප්‍රමාණයේ නිල් මැණික්, ඇතැම් කුඹුරුවලින් රන් පවා මහා ආශ්චර්යවත් අයුරින් පහළ විය. රජු මහා සෑය නිර්මාණය කිරීමට හිත් පහළ වූ සැණින් රටේ සෑම තැනකින්ම සෑයට අවශ්‍ය ද්‍රව්‍ය පහළ විය. මේ සිදුවීම් සුරංගනා කතා නොවන අතර තුන් ලෝකයේම මැදිහත්වීම මත සිදු වූ සත්‍ය කරුණු කාරණාය.

පසුව රජතුමා විසින් වෙසක් පුන් පොහොය දා සෑයේ කටයුතු අරඹන අතර, පළමුවෙන්ම භූමිය සමතලා කර, මැද තිබූ කණුව ඉවත්කර සෑයේ උතුරු පැත්තෙන් එය තැන්පත් කරන ලදී. එම කණුව උතුරු දිශා දොරටුව අභියස දී ඔබට අදටත් දැකගත හැකියි.

පසුව එම ස්ථානයේ තිබූ තෙළඹු ගස ඉවත් කිරීමට යන අවස්ථාවේ එය විමානය කොට සිටි දෙවඟන එයට එරෙහි විය. රජු බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කොට මෙහි ඉඳිවන මහා සෑය පිළිබඳවත් එහි පින ඔබට ද අනුමෝදන් වන බව පැවසීය. පසුව ඇගේ නමින් මේ සෑය ඉදිවෙන්නේ නම් පමණක් ඉවත්වන බව පවසා සිටි අතර රජු එයට එකඟ විය. රජු ඇගෙන් නම විමසූ විට ඇය ස්වර්ණමාලී දෙවඟන බව පැවසූ අතර රජූ මහ සෑයේ නම ස්වර්ණමාලී නමින් ප්‍රසිද්ධ කරන ලදී.

ඉන්පසුව රියන් 8ක් පමණ පස් ඉවත් කළ අතර, දස මහ යෝධයන් එක් වී සෑය පාදමේ ගල් ඇතිරීය. ඉන්පසු ගල් කුඩු තට්ටුවක් ඇතිරීමෙන් පසුව එය ඇතුන් යොදා මට්ටම් කරන ලදී. මට්ටම් කරගත් පසු රහතන් වහන්සේලා විසින් හිමාලයේ දියඇලිවලින් නව නීත මැටි ගෙනැවිත් පාදමට දමන ලදී. පසුව නව නීත මැටි මතින් පිළිවෙළින් ගඩොල්, බොරළු, හා කුරුඳු පාෂණ නමින් හැඳීන්වූ මිශ්‍රණයක් එකතු කිරීමක් සිදුකර, ඊට උඩින් යකඩ දැලක් අතුරන ලදී. එයට උඩින් සුවඳ මැටි අතුරා, පසුව තිරිවානා ගල් තට්ටුවක් හා නැවත ගල් අතුරා, රසදිය ලාටු උණුකර දැමූ අතර, අඟල් 8ක් පමණ උසට තඹ පතුරක් අතුරා එය මතින් රිදී අතුරා පාදම සවිමත්ව සකසන ලදී.

පසුව ඇසළ පුන් පොහෝ දින රහතුන් වහන්සේලාගේ අනුදැනුම මත මුල් ගල් තබන ලද අතර පාදම විවිධ මල්වලින් සරසා, හතර කොණ පුන්කළස් තබා සරසා සෑය වටා බුදුරැස්වල පාටින් කොඩි කණු සිටුවීය.

පසුව රජු සමඟ රහතන් වහන්සේලා පැමිණෙන මාර්ගයේ උඩු වියන් බැඳ, පහන් දල්වන ලදී. එමෙන්ම පංචතූර්ය වාදනයෙන් ඝෝෂා පැවැත්වීය. මුළු ලෝකයේ සිටින සියලුම රහත් වහන්සේලාට වැඩම කිරීමට ආරාධනා කළ මොහොතේ අනූහය කෝටියක් රහතන් වහන්සේලා සෑම දිවයිනකින්ම මෙම භූමියට පැමිණි අතර රැස් වළල්ලක් ආකාරයට භූමිය වටා වැඩමකර සිටියහ. රජු සියලු රාජාභරණයෙන් සැරසී සෑය පාදමේ මැද රන් කණුවක් සිටුවා රිදී හුයෙන් වට ප්‍රමාණය ලකුණු කරන මොහොතේ සිද්ධාර්ථ රහතන් වහන්සේ, රජු ලකුණු කරන ප්‍රමාණයේ සෑය සෑදීම ආරම්භ කරතොත් රජුට මෙය මියයන තෙක් ඉදිකිරීමට නොහැකි වන බවත්, අනාගතයේ ප්‍රතිසංස්කරණය කිරීමට අපහසු වන බවත් දිවැසින් දුටු නිසා, මහ සෑයට අවශ්‍ය සීමාව උන්වහන්සේ රවුමක් ආකාරයට සක්මන් කර ලකුණු කර පෙන්වන ලදී. පසුව පිරිත් පැන්වලින් නව නීත මැටි කලවම් කර, පාදමට රහතන් වහන්සේලා ගඩොල් අතුරන අවස්ථාවේ පොළොව සෙලවීමට පටන් ගත්තේය. ලෝකයේ තිබෙන කිසිදු සෑයක මෙවැනි ප්‍රාතිහාර්යයක් සිදු වී නොමැත.

 

ඉතිරි කොටස ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න

ඡායාරූප - අන්තර්ජාලයෙනි

පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ දෙසූ ධර්ම දේශනාවක් ඇසුරෙනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.