ආත්ම පන්සියයක් පුරාවටම රැගෙන ගිය කාලි යක්ෂණියගේ වෛරය

පෙබරවාරි 3, 2021

 

රාජකාරි කරන ස්ථානයේ, පාර තොටේ, ගෙවල් අවට විවිධාකාර මිනිසුන් දක්නට ලැබෙනවා. ඒ අතර හිත් නිවුණු මිනිසුන් මෙන්ම හිත්වල වෛරය පුරවාගෙන මුළු සමජයම වනසන අයත් ඉන්නවා.

අප කාටත් සාමාන්‍යයෙන් කේන්ති යන ස්වාභාවයක් තියෙනවා. ඒත් සමහර අයට කේන්තිය පාලනය කරගන්න බැහැ. ඔවුන් දන්නේ නැහැ ඔහුගේ හෝ ඇයගේ හැසිරීම දෙනෝදහක් බලන් ඉන්නවා කියා. විවිධ අය තමන්ට එන කේන්තිය පිටකරන විදිය වෙනස්. සමහර අයට කෝපය ගෙන දෙන සිදුවීමක් වුණත් ඒක ඒ තරම් ගාණකට ගන්නේ නැහැ. හිනාවෙලා නිකම් ඉන්නවා. අපි මේ පිළිබඳ ධර්මානුකූල විග්‍රහයක් අපගේ පින්වත් ස්වාමින්වහන්සේගෙන් විමසා බලමු.

පින්වතුනි, තථාගතයන් වහන්සේ ලෝකයේ සිටින මිනිසුන් කොටස් තුනකට බෙදනවා. එක කොටසක් ඉන්නවා, තරහ යනවා හැබැයි දියේ ඇන්ද ඉරක් වගේ. මේ ඉර ඉක්මනින් මැකී යනවා. එනම් තරහ යන කොටම තේරෙනවා මම මොකටද තව කෙනෙක් නිසා තරහ ගන්නේ. එයා කරපු දේ එයා ගෙනියයි. මම මොකටද මේ දේවල් නිසා අකුසල කර්මයක් පුරවගන්නේ. එහෙම හිතන තැනැත්තා සැණින් සිහිය පිහිටවාගෙන හිතට කේන්තියක් එන්න කලින් යටපත් කරගන්නවා. ඒ එක කොටසක්. තව පිරිසක් ඉන්නවා ඒ අය බුදුන් වහන්සේ උපමාවකින් පෙන්වනවා. හරියට වැල්ලේ ඇන්ද ඉරක් වගේ. වැල්ලේ ඉරක් ඇන්දට පස්සේ ඒක දවසක් දෙකක් තුනක් ගොස් මැකී යනවා. එම මිනිසුන්ට කේන්තියක් ගියාම ඉක්මනින් සිහිය පිහිටවාගන්න අමාරුයි. දවසක් දෙකක් එම කේන්තියම හිතේ බලපවත්වනවා. ඇයි මට එයා මෙහෙම කළේ? ⁣මගේ හැමදේම විනාශකළා කිය කියා හිතේ විවිධ සිතුවිලි හටගන්නවා. පසුව ක්‍රම ක්‍රමයෙන් මට එයා එහෙම කළා කියා මම කේන්ති ගන්න නරකයි කියා අමතක කරලා දානවා.

ඉන්පසු බුදුන්වහන්සේ තව කොටසක් පිළිබඳ උපමාවකින් දක්වනවා. ඒ අයට කේන්ති ගියාම ගලේ කෙටූ ඉරක් වගේ. ලේසියෙන් මැකෙන්නෙ නැහැ. ඔවුන් මැරෙනකම්ම ඒ කේන්තියෙන්ම ජීවත් වෙනවා. මැරෙන මොහොතෙත් එම වෛරයෙන්ම මැරිලා සසර පුරාවටම මේ වෛරය රැගෙන යනවා. ආත්ම සීයක් දෙසීයක් වෛරක්කාරයන් ලෙස ඉපදෙනවා.

මේ බුදුන් සමයේ සිදු වූ එක්තරා කතා පුවතක්. කාලි යක්ෂණිය ආත්ම පන්සියයක් පුරාවටම රැගෙන ආ වෛරය පිළිබඳයි මේ පුවත. බුදුන්වහන්සේ පහළ වෙන්න බොහෝ කාලයකට පෙර අම්මා කෙනකුටයි තාත්තා කෙනකුටයි සුන්දර දූ පොඩිත්තක් ඉපදුණා. මේ දුවවත් වඩාගෙන දවසක් තම ඥාතීන් බලන්න යාම සඳහා පිටත් වුණා. ගමන යන අතරවාරයේ ඔවුන්ට දක්නට ලැබෙනවා මනුස්සයෙක් කැස්බෑ බිත්තර වගයක් විකුණනවා. මාපියන් හිතනවා අපේ දරුවට මේ බිත්තර බොහෝ ගුණදායකයි කියා. ඒ නිසා එම බිත්තර වෙළෙන්දාගෙන් මිලදී ගන්නවා. ඥාති නිවෙසට ගොස් ගෙදර පැමිණ තම දරුවාට දවසට එක ගානේ මේ බිත්තර ආහාරයට ලබා දුන්නා. දරුවත් එම රසයට දෙන ආහාර සියල්ලම කෑමට පුරුදු වුණා. අද ඉන්න දරුවණුත් ඔය වගේ තමා. කටට රසට මොනවා හරි දේකට පෙලඹුණොත් ඒවා ඉල්ලලාම අඬනවා. ඉතින් මේ දරුවත් මේ රසට වහ වැටුණා. ටික දවසක් යනකොට කැස්බෑ බිත්තර ටික ඉවර වුණා. දැන් ළමයා කෑම කන්නේ නෑ. මාපියෝ ළමයා කෑම කන්න අදිමදි කරන නිසා බිත්තර දමන කිකිළියක් ගෙදරට රැගෙන ආවා. දැන් කිකිළි දාන දාන බිත්තරය ළමයාට තම්බලා දෙනවා. ළමයටත් බිත්තරවලට කොච්චර පෙරේත කමක් ඇතිවුණා ද කියනවා නම්, ළමයා ම කිකිළි ඉන්න කූඩුව ළඟට ගොස් කිකිළි බිත්තර දානකම් බලන් ඉඳලා දාන දාන හැම බිත්තරේම අම්ම⁣ට ගෙනත් දෙනවා හදලා දෙන්න කියා.

අපි නොහිතන දෙයක් සිදුවෙන්න පටන් ගත්තා. කිකිළි තම පැටවුන් එන්නටත් පෙර තම බිත්තරය විනාශ කරන මේ දරුවා කෙරෙහි වෛරයක් ඇතිකර ගත්තා. සතෙක් මේ විදියට වෛර බැඳගන්නවා කියා අපට හිතන්නටත් අමාරුයි. නමුත් සත්තුත් තම දරුවන් කෙරෙහි මහත් සෙනෙහසක් දක්වනවා. උන්ටත් මිනිසුන්ට වගේම මවු සෙනෙහස තිබෙනවා.

වෛරය බැඳගත් කිකිළිය මිය ගොස් එම නිවෙසේම පූසියක් වෙලා ඉපදුණා. අර දරුවත් හදිසි අසනීපයකින් මිය ගොස් එම නිවෙසේ කිකිළියක් වෙලා ඉපදුණා. දැන් කිකිළි දාන දාන බිත්තර අර පූසි කෑමට පටන් ගත්තා. දැන් එම කිකිළිට එම පූසි ගැන වෛරයක් උපන්නා. දැන් කිකිළි මිය ගොස් කොටිදෙනක් වෙලා ඉපදුණා. පූසි මුවදෙනක් වෙලා ඉපදුණා. දැන් මුවදෙන දාන දාන පැටියා කොටිදෙන විසින් ආහාරයට ගන්නවා. මේ ආකාරයෙන් අවුරුදු ගාණක් මේ වෛරය දිගින් දිගටම ආත්ම ගාණක් සසරේ පැවතුණා. ආත්ම පන්සියයක් පුරා මේ වෛරය සංසාරය පුරා ආවා.

පන්සිය වැනි ආත්මේ දී අපේ බුදුන්වහන්සේ ලොව පහළ වෙලයි හිටියේ. එම ආත්ම භවයේ දී එක් අයෙක් යක්ෂණියක්, අනෙක් කෙනා මනුස්ස ලෝකයේ කාන්තාවක් වෙලා ඉපදුණා. මේ වෛරය හටගත්තේ පුද්ගලයාගෙන් නෙවෙයි. දරුවන්ගෙන්.

මේ කාන්තාව විවාහ වී දරුවෙක් බිහිවනතුරු යක්ෂණිය දින ගනිමින් සිටියා. විවාහ වී කාලයත් සමඟ කාන්තාව දරුවකු බිහි කළා. යක්ෂණිය සිය වේෂය මාරුකොට ඔවුන්ගේ ඥාතී කාන්තාවකගේ මිනිස් ස්වරූපයක් මවාගෙන මේ නිවෙස අසලට පැමිණියා. පැමිණ ඔවුන් සමඟ කුලුපඟ වී මාපියන් එහෙට මෙහෙට වෙනකම් සිට ලේ පෙර පෙර ළමයා කන්නට වුණා. එය දැකපු මව 'අනේ මගේ දරුවා කියාගෙන' එහෙමම සිහි නැතිව වැටුණා.

මේ අම්මාට දෙවැනි වතාවෙත් ඉපදුණු දරුවා යක්ෂණියගේ ගොදුරක් බවට පත්වුණා. මේ කාරණාව නිසා වෛශවණ දෙවියන්ගෙන් මේ කාලි යක්ෂණියට අවුරුදු ගාණක දඬුවමක් ලැබුණා. එනම් අනෝතත්ත විලෙන් වතුර අදින්න. දෙවියන් විසින් දෙන රාජකාරියක් බැවින් එය මඟහැර ඉන්න යකින්නට බැරිවුණා. යකින්න වෛරය හිත තුළ තියාගෙනම දේව රාජකාරියේ යෙදෙන්න වුණා. ඔය අතර අර අම්මාට තුන්වැනි දරු උපතත් සිද්ධවුණා. රැකවල් දමා තම තුන්වැනි දරුවා මාපියන් විසින් අරක්ෂා කරන්නට විය. අවුරුදු දෙක තුනක් ගියත් යක්ෂණිය එනපාටක් නොවුණි. එම නිසා ඔවුන්ගේ හිත්වල තිබුණ බය ටිකෙන් ටික පහව ගියා.

මේ අතර ඔවුන් කල්පනා කළා අපට කාලෙකින් ඥාාතීන්ව බලන්න යන්නවත් බැරිවුණා. එම නිසා ඔවුන් ජේතවනාරාමය හරහා වැටී තිබුණ පාරකින් ඥාතී නිවෙසට යාමට පිටත් වුණා. ඒ යන ගමනේ දී ජේතවනයට නුදුරින් ඇති පොකුණෙන් පැන් පහසුවීම සඳහා මඳක් නතර වුණා. දරුවා තම බිරියට දී දිය නෑමට සැමියා දියට බැස්සා. දියට බැස්ස සැමියා මඳක් ඈතට පිහිනා ගියා. ඒ අතර තුර මව විසින් තම දරුවාට කිරි දෙන්නට වුණා.

මේ වෙලාවේ දී වෛශවණ දෙවියන් විසින් යකින්නට දී තිබූ දඬුවමත් අවසන් වුණා. වෛරය යළිත් මතු වූ යකින්න දරුවෙක් ඉපදී ඇති බව දැනගෙන එම පොකුණ සොයාගෙන එන්නට වුණා. යකින්න දකිනවා මව දරුවාට කිරි දෙනවා. දරුවා දැක්ක වෙලේම සංසාරගත වෛරය තව තවත් වැඩි වුණා. දරුවා දෙසට යකින්න දුවගෙන එන බව දැක්ක මව මහ හයියෙන් කෑ ගැසුවා.

ඒ කෑගැසීම දියේ සිටි පියාට ඇසුණත් යකින්නට පෙර ඔහුට තම දරුවා සිටින තැනට ඒමට අපහසු වුණා. ඒ බව වටහාගත් මව තම දරුවත් තුරුලු කරගෙන ජේතවනාරාමයට දුවන්නට වුණා. ඒ අවස්ථාවේ බුදුරජානන් වහන්සේ විශාල පිරිසකට දහම් දෙසනවා. මව දුවගෙන ගොස් බුදුන්වහන්සේගේ සිරිපතුල් දෙක ළඟ තම දරුවා තියා, "අනේ ස්වාමිනී, මගේ දරුවා බේරලා දෙන්න. යක්ෂණියක් එනවා මගේ ළමයා කන්න." යැයි දුක කිව්වා.

දෙවියන් විසින් යක්ෂණියව ආරාමයෙන් එපිට කොටු කළේය. බුදුන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කැඳවා දොරටුව අසළ සිටින යක්ෂණියව මෙතැනට කැඳවාගෙන එන ලෙස පැවසන ලදී. එයින් භීතියට පත් මව "අනේ ස්වාමිනි, මගේ දරුවට අනතුරක් කරයි. " "තතාගතයන් වහන්සේ මෙතැන වැඩ ඉන්නවා බය වෙන්න එපා." යැයි බුදුහිමි පැවසූහ. දම්සභා මණ්ඩපයට පැමිණි යක්ෂණිය බුදුන් වහන්සේ දැක බිම බලාගෙනම ඉඳගත්තා.

බුදුන් වහන්සේ සංසාරය පුරා රැගෙන ආ වෛරය පිළිබඳ සිදුවුණු සිද්ධීන් හා දේවේෂය, වෛරයේ ආදීනව මතුකරමින් දහම් දේශනා කළා. බණ අසා අවසන් වෙනකොට යක්ෂණියගේ වෛරය සංසිදුණා. තුණුරුවන් පිළිබඳ ශ්‍රද්ධාව ඇති වුණා. බුදුන්වහන්සේට වැඳ අද පටන් "මා දිවිහිමියෙන් බුදුන්සරණ යනවා. මම ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක සංඝයා සරණ යනවා." යැයි වවසුවා.

බුදුන් වහන්සේ දිවැසින් බලනවා මේ යක්ෂණියගේ වෛරය මෙතැනින් අවසාන ද කියා. අයෙත් සංසාරය පුරා මේ වෛරය යන්නේ නැහැ. මේ දරුවට ආයෙත් අනතුරක් වෙන්නේ නෑ,

බුදුන් වහන්සේ අර මවට කියනවා බය නැතිව ඔය දරුවා යක්ෂණියගේ අතට දෙන්න. මව බය තිබුණත් බුදුන් වහන්සේගේ කීමට පිටුපාන්න බැරි නිසා දරුවා යක්ෂණියගේ අතට දෙනවා. යක්ෂණිය මහත් ආදරයෙන් දරුවා ගෙන නැවත බුදුන් වහන්සේගේ ශ්‍රී පතුල ගාවින් ළමයා තබා එතැනින් යන්නට යනවා. ආත්ම පන්සියයක් පුරා රැගෙන ආ වෛරය එතැනින් අවසන් වෙනවා.

එම නිසා අපට මොන ප්‍රශ්න ආවත් දේවේශයෙන් තමන්ගේ සිත තෙත් නොකර, නිවැරැදි සිහියෙන් ඉදිරියට එන විපත්වලට මුහුණ දෙන්න. සංසාරගත වෛරක්කාරයන් වී මේ සසරේ විඳින්ට වන දුක්ගැහැටවලින් අත්මිදෙන්න.

 

 

 

සිතුවම - චාම් නිර්මාන්

 

 

පූජ්‍ය ගලිගමුවේ ඥානදීප

ස්වාමීන් වහන්සේ දෙසූ ධර්ම දේශනාවක් ඇසුරෙණි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.