නිවෙසක සාංඝික දානයක් පූජා කිරීමේ නියම පිළිවෙළ කුමක්ද?

ජූලි 14, 2021

 

නි‍ෙවසක ස්වාමීන් වහන්සේලා උදෙසා සාංඝික දානයක් පූජා කිරීමේ නියම පිළිවෙළ ගැන දැන ගැනීමේදී පළමුව සාංඝික කරනවා කියන්නේ කුමක්දැයි දැන ගත යුතු ය.

 

"සාංඝික" යන වචනයේ තේරුම සංඝයා අයත් දෙය යන්නයි. සංඝයාට අයිති දෙය සාංඝික දෙය ලෙස හඳුන්වනු ලැබේ. යම්කිසි පින්වතෙක් විසින් තමන් දුක් මහන්සියෙන් උපයාගත් තමන්ට අයිති යම් වස්තුවක් ඒ අයිතිය අත්හැර සංඝරත්නයට පූජා කරනවා නම් එය සාංඝික කිරීම වේ.

තමන්ට අයිති දෙයක් සංඝරත්නය සතු කරන විට ඒ සාංඝික කරන තැනැත්තා විසින් සංඝරත්නය හඳුනාගෙන එය කළ යුතුය. තමන්ට අයිති දෙය පවරන්නේ මහා සංඝරත්නයට යි.

 

ශාසනික වශයෙන් විනය කර්මයක් කරන විට උපසම්පදා භික්ෂූන් වහන්සේලා, සතර නමක් හෝ ඊට වඩා වැඩි පිරිසක් සංඝයා ලෙස සලකනු ලැබේ. නමුත් සාංඝික දානයක් පූජා කිරීම යනු විනය කර්මයක් කිරීම නොවේ. එම නිසා සාංඝික දානයක දී සලකන්නේ සංඝරත්නය යි. සංඝ රත්නය ලෙස හඳුන්වන්නේ සැරියුත්, මුගලන්, නන්ද, රාහුල ආදී නික්ලේශී මහා සංඝ පරම්පරාවේ අතීතයේ පටන් අද දක්වා, මේ ශාසනයෙහි පැවිදි උපසම්පදාව ලැබූ සියලුම භික්ෂූන් වහන්සේලාටයි.

මේ සාසනයෙහි ස්ථිර භික්ෂුවක් වන්නේ උපසම්පදා භික්ෂූන් වහන්සේ යි. නමුත් සාමණේර භික්ෂුන් වහන්සේද සංඝරත්නයට ම අයත් වේ. සාංඝික වස්තුවක් බෙදන විට සාමණේරයන් වහන්සේලාටත් කොටසක් දිය යුතු බව විනයෙහි නියම කර තිබේ.

පෞද්ගලික දාන දහ හතරක් සහ සාංඝික දාන හතක් තිබේ. ඒ සාංඝීක දාන හත නම්:-

 

1. එක් පසෙකින් භික්ෂු සංඝයා ද, එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද, මැද බුදුරජාණන් වහන්සේ ද වඩා හිඳුවා දෙන බුද්ධප්‍රමුඛ මහා දානය පළමුවන සාංඝික දානය යි. මේ දානය බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ද උභතෝ සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍රතිමාවක් ලබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ.

 

2. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු භික්ෂු භික්ෂුණී උභය සංඝයාට දෙන දානය.

 

3. භික්ෂු සංඝයාට පමණක් දෙන දානය.

 

4. භික්ෂුණී සංඝයා ට පමණක් දෙන දානය.

 

5. මාගේ දානයට මෙපමණ භික්ෂූන් ද, මෙපමණ භික්ෂුණීන් ද, වැඩම කරත්වායි, පුද්ගල නියමයක් ගණන් නියමයක් නැතිව ආරාධනයෙන් පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය.

 

6. එක සේ ආරාධනා කොට වැඩම කළා වූ භික්ෂුන් වහන්සේලාට පමණක් දෙන දානය.

 

7. එසේ ආරාධනා කොට වැඩම කළා වූ භික්ෂුණීන්ට පමණක් දෙන දානය.

 

මෙම සාංඝික දාන ක්‍රම හත අතරින් මෙකල දිය හැක්කේ තුන්වන හා හයවන දාන දෙක පමණි. එක භික්ෂුවකට පමණක් වුවද හයවෙනි සාංඝික දානය දිය හැකි ය. යම් කිසි වස්තුවක් සාංඝික කරන විට රැස්ව සිටින සංඝරත්නයට ඒ වස්තුව දෙමි කියා හෝ, අහවල් විහාරයේ සංඝ රත්නයට දෙමි කියා හෝ, අහවල් ගමේ, අහවල් පළාතේ, සංඝරත්නයට දෙමි කියා හෝ සංඝරත්නය වෙන්කොට සාංඝික කිරීමේ එක් ක්‍රමයක් ද තිබේ. මේ දානය පරිච්ඡේද සාංඝික දානය ලෙස හඳුන්වනු ලැබේ.

නමුත් ලෝකයේ ඇතිතාක් සංඝරත්නයට හිමි වන විදිහට සාංඝික දානය දිය හැකි ක්‍රමයක් ද තිබේ. මෙම ක්‍රම දෙක අතරින් අතිශයින් ම මහත්ඵල මහානිසංස වෙන්නේ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ සිට පැවත එන ලෝකයේ ඇතිතාක් සංඝරත්නයට ම හිමි වන ලෙස දෙන සාංඝික දානය යි. මේ දානය අපරිච්ඡින්නක සාංඝික දානය ලෙස හඳුන්වනු ලැබේ.

නි‍ෙවසක සාංඝික දානයක් පූජා කරන විට, පළමුව සංඝරත්නයට ආරාධනා කළ යුතු ය. එහිදී භික්ෂූන් දහ නමක් දොළොස් නමක් ආදී වශයෙන් ගණන් යොදා ගතහොත් එය පෞද්ගලික දාන ගණයට වැටේ. මෙහිදී “අපේ ගෙදර ඉඩකඩ අනුව ස්වාමීන් වහන්සේලා දහ නමක් පමණ සංඝයා වෙනුවෙන් වැඩම කළහොත් හොඳයි.” යනුවෙන් ම ආරාධනා කිරීම සුදුසුය.

නිවෙස පිරිසිදු කර, දානය දෙන තැනත්, ධර්ම දේශනාව පවත්වන තැනත් උඩුවියන් බැන්ද හැකි ය. භික්ෂූන් වහන්සේලාට වැඩ සිටින්නට ආසන පිළියෙළ කර, සුදු ඇතිරිලි යොදා, භික්ෂූන් වහන්සේලාට පූජා කරන අට පිරිකර හෝ පරිෂ්කාර ආදිය අවශ්‍ය ලෙස සූදානම් කරගත හැකි ය.

වැඩම කරවන ස්වාමීන් වහන්සේලාගේ පා සේදීමට වතුර භාජනයක් ද පා සෝදන ස්ථානයේ වියා ගැනීමට හැකිනම් බිමට ගොක් අත්තක් තබා පා පිස දැමීමට පිරිසුදු රෙදි කඩක් ද නිවසට ඇතුළු වන දොරටුව සමීපයේ සූදානම් කළ හැකි ය. නිවෙස ඉදිරිපිට වත්තට ඇතුළු වන තැන ගොක් කොළ සැරසිල්ලක් ද ඇතැම් ප්‍රදේශ වල කරනු ලැබේ.

 

ධර්ම දේශනාව පැවැත්වීමට සූදානම් කරන තැන වේලාව බලා ගැනීමට ඔරලෝසුවක්, පැන් වීදුරුවක් තැබීම හොඳ ය. ස්වාමීන් වහන්සේලාට දානය පිරිනැමීමට අවශ්‍ය භාජන (පිඟන්, කෝප්ප, කැවිලි සහ පලතුරු පිළිගන්වන පිඟන් ද පඩික්කම් ද) සූදානම් කර තැබිය යුතු වේ.

සාංඝික දානයේදී කරඬුව තැන්පත් කිරීමට ඉහළ තැනක් සූදානම් කර ගනී. එහිදී කරඬුවට ඉහළින් සුදු වියනක් සකසා තැබිය යුතු ය. බුදුරජාණන් වහන්සේ වැඩියා හා සමානව කරඬුවට පූජා කටයුතු කිරීම පළමුව සිදුවන බැවින් නි‍ෙවසේ බුද්ධ පූජාව පළමුව පවත්වයි. ඒ සඳහා දානය සූදානම් කර තැබිය යුතු අතර මල්, පහන් , සුවඳ දුම් පුජා කෙරෙන බැවින් ඒවා ද සූදානමින් තැබීම ඉතා හොඳ ය.

දානය නිරාවරණය කළ පසු මැස්සන් එක් රොක්වීම වළක්වා ගත යුතුය. බිම දූවිලි කුණු නැතිවන ලෙස හොඳින් පිරිසුදු කර තැබීම වැදගත් වේ. දානය සිදු කරන විදීත් ධර්ම දේශනාව සිදු කරන විටදීත්, ස්වාමීන් වහන්සේලාට ආරාධනා කිරීම සඳහා දැහැත් වට්ටියක් සූදානම් කර තැබිය යුතුය. පින්කම අවසානයේදී පැන් වැඩීම සඳහා ද භාජන සූදානම් කර තබා ගත යුතු ය.

ගරුතර මහා සංඝරත්නය වැඩම කළ පසු පළමුව පන්සිල් සමාදන් කර සම්බුද්ධ පූජාව පවත්වනු ලැබේ. අනතුරුව දාන වස්තුව සහ අටපිරිකර ඇතුළු සෙසු පිරිකර මහා සංඝ රත්නයට සාංඝික පවරනු ලැබේ. ඒ දාන වස්තුව සංඝ රත්නය උදෙසා අයිති කර පවරා දීම වන දාන වස්තුව සාංඝික කිරීමයි.

එහිදී මහා සඟරා සංඝරත්නය

 

‘ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම’

 

ආදී ලෙස වාක්‍ය තුන්වතාවක් කියවමින් දාන වස්තුව සඟසතු කරනු ලැබේ. එම වාක්‍ය ප්‍රකාශ කළත්, ප්‍රකාශ නොකළත්, දානය පූජා කරන පින්වතුන් මේ දාන වස්තුව, අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා ප්‍රධාන අවිච්චින්න මහා සංඝරත්නයට ම සඟසතු වශයෙන් පූජා වේවා යන චේතනාව සාංඝික කිරීමේ ප්‍රධාන සාධකය වේ.

ඉන් පසුව සංඝ රත්නය දානය වළඳනු ලැබේ. දන් වැලඳීමෙන් අනතුරුව අතුරුපස පූජා කළ යුතුය. දැහැත් ආදිය ද පිළිගැන්විය යුතුය. සූදානම් කරගත් පැන් වැඩීමේ උපකරණ ද ගෙන, සංඝරත්නය ඉදිරිපිට බිම පැදුරක් එලාගෙන වාඩි විය යුතුය.

එහිදී භුත්තානුමෝදනා ධර්ම දේශනාව පවත්වන අතර, මියගිය ඥාතීන්ට පිං අනුමෝදන් කිරීමත්, දෙවියන්ට පිං අනුමෝදන් කිරීම සහ චතුරාර්ය සත්‍යාවබෝධය අධිෂ්ඨාන නම් නිවන ප්‍රාර්ථනා කරමින් මහා සංඝරත්නය ආශීර්වාදයන් සිදුකර පිංකම අවසන් කරනවා ඇත.

තෙරුවන් සරණයි

 

අනුශාසනාව

පූජණීය , තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය, රත්නපුර.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.