පින් අනුමෝදන් කළ පසුව මිය ගිය අය පැමිණ ජීවත්ව සිටින අයට කරදර කරනවා ද?

සැප්තැම්බර් 1, 2021

 

තමන්ගේ පවුලේ කෙනකු මියගිය පසු ගෙදරදී පින් දීමට ඥාතීහු කටයුතු කරති. එහෙත් එය නුසුදුසු බව ඇතැමෙක් කියති. මියගිය ඥාතීන්ට පින්දීම අනිවාර්යයෙන් සිදු කළ යුත්තකි. පූජනීය තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ විසින් ඒ පිළිබඳව ධර්මානුකූල විවරණයක් සිදුකිරීම සදහම් සෙවණ තුළින් පසුගිය සතියේ ආරම්භ කළ අතර අද එහි ඉතිරි කොටස මෙසේ ගෙන එන්නෙමු.

 

4. ඒ මිය ගිය අයගෙන් පින් අනුමෝදන් විය හැකි පිරිසේ ස්වභාවය කෙබඳු ද?

 

ප්‍රේතයන් ද වර්ග කීපයක් සිටී. තමන්ට කියා විශේෂ භූමියක් නැති ප්‍රේතයන් , අතිශයින්ම කෙට්ටු, ඇට නහර මතු වුණ, බඩේ සම පිට කටුවට ඇලී තිබෙන, දකින දකින අයට අප්‍රසන්න ශරීර ඇති පිරිසක් වේ. මොවුන්ගෙන් සමහරුන්ට කිසිදිනක ආහාරපාන ලැබෙන්නේ නැත. සමහරුන් මිනිසුන්ගේ සෙම සොටු අසූචි, මළකුණු ආදිය අනුභව කරයි. සමහරුන් විසිකළ ආහාර අනුභව කරයි. සමහරුන් තමන්ගේ ම ශරීරය සූරා කයි. සමහරුන් තුවාලවලින් ගලන ලේ සැරව කයි. මේ අයගෙන් සමහරුන් සැප දුක් දෙක මාරුවෙන් මාරුවට ලබයි. මොවුන්

 

i. පරදත්තූපජීවිකය

ii. ඛුප්පිපාසිකය

iii.නිජ්ඣාමතණ්හිකය

iv.කාලකඤ්ජිකය ලෙස ප්‍රේත කොට්ඨාස සතරක් සිටී. තවත් ප්‍රභේද ත්‍රිපිටකයේ සඳහන් වේ.

 

මියගිය ඥාතීන්ගෙන් පින් අනුමෝදන් විය හැකි පිරිස වන්නේ පරදත්තූපජීවී ප්‍රේත කොට්ඨාසය යි. මොවුන්ට එතන තිබෙන දුක්ඛිත ආහාර පානාදිය තිබෙන අතර, කුස පුරා ආහාරාදිය ලැබෙන්නේ අනුන් දෙන පින් අනුමෝදන් වීමෙනි. පරදත්තූපජීවික ප්‍රේත ව උපන්නෝ ඥාතීන්ගෙන් පින් බලාපොරොත්තු වෙති.

 

5. පින් අනුමෝදන් කිරීම යනු ඒ ඥාතීන් සිටින තැනින් දිව්‍ය ලෝකයක උත්පත්තිය ලැබීමක්ද?

 

කිසිසේත් මෙවැන්නක් වන්නේ නැත. සියලුම සත්ත්වයෝ තමන්ගේ ජීවිතයට කැමැති ය. ප්‍රේතයින්ට ද එය අදාළ වේ. පින් අනුමෝදන් කිරීම යනු ‍ප්‍රේත ලෝකයේ සිටින කෙනෙක් මරණයට පත් කර දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබීම නොවේ. දැනට උපත ලබා තිබෙන ප්‍රේත භූමියේ ඒ උදවිය සුවපත් තත්ත්වයට පත් කරවීම පින් අනුමෝදන් කිරීමෙන් සිදු වේ.

 

6. පින් අනුමෝදන් කළ පසුව මිය ගිය අය පැමිණ ජීවත්ව සිටින අයට කරදර කරනවා ද?

 

එවැනි මතයක් සමාජගත වී තිබෙන්නේ ප්‍රේතයන් සහ යක්ෂ ආදී පිරිස් පිළිබඳව කරගත් පටලැවීම නිසා ය. යක්ෂයන් කියන්නේ වෙනම පිරිසකි. ප්‍රේතයන් කියන්නේ වෙනම පිරිසකි. යක්ෂයන්ට පින් අනුමෝදන්ව ආහාරපාන, ඉඳුම්හිටුම් ආදිය ලබාගත නොහැකිය. නමුත් පරදත්පරදත්තූපජීවී ප්‍රේතයන්ට පින් අනුමෝදන් වීමෙන් ආහාරපාන ඉඳුම්හිටුම් ආදිය ලබාගත හැකිය.

 

තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාවට අනුව බිම්බිසාර මහ රජතුමාට බය හිතෙන සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවූයේ ඥාතීන්ට පින් අනුමෝදන් නොකළ නිසා ය. එම ප්‍රේතයන් එසේ හැසිරුනේ හැකියාව තිබියදී ද තමන්ට අවශ්‍ය කරන ආහාර පානාදිය ලැබෙන ලෙස ජීවත්ව සිටින ඥාතීන් පින් අනුමෝදන් නොකළ නිසාය. පින් අනුමෝදන් කිරීම කළවිට හිරිහැර කිරීම කෙසේ වෙතත් පින් අනුමෝදන් නොකළ විට බය හිතෙන සිදුවීම් රාශියක් සිදු වන බව නම් මෙයින් තේරුම් ගත හැකි ය.

 

පින් අනුමෝදන් වූ පරදත්තූපජීවී නෑදෑයන් විසින් උදව් උපකාර කිරීම දැකිය හැකියි.

 

7. මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න එපා යැයි කියන්නේ කුමන පිරිස් ද? ඔවුන් කියන ආකාරයට පින් අනුමෝදන් නොකළොත් කුමක් වෙයි ද?

 

කර්ම, කර්මඵල ගැන නොදන්නා, චූති උත්පත්තීන් ගැන නොදන්නා, සංසාරය ගැන නොදන්නා බොහෝ උදවිය මියගිය ඥාතීන්ට නිවෙස්වල පින් අනුමෝදන් කිරීම නොකළ යුතුය යැයි කියති. එයට හේතුව ඔවුන් ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රියයන් ගැන නොදන්නාකමයි.

 

ඔවුන් කියන ආකාරයට ඥාතීන්ට පින් අනුමෝදන් නොකළහොත් ඥාතීන් අතර සිටින පරදත්තූපජීවී අයට ආහාරපාන, ඉඳුම්හිටුම් ආදිය උපදවා ගන්නට ක්‍රමයක් නැත. එවිට ඔවුන් ජීවත්ව සිටින අයට පීඩාකාරී ලෙස හැසිරිය හැකිය.

 

8. පින් අනුමෝදන් කළ යුත්තේ නි‍ෙවසේම ද?

 

සමහරු මිය ගිය ඥාතීන්ට නිවෙස්වල පින් අනුමෝදන් කිරීමට බිය වේ. නමුත් මියගිය ඥාතීන් පැමිණෙන්නේ කලින් ජීවත්ව සිටිය නිවෙස්වලට ය. ආත්මභාව කිහිපයකට පෙර භවයන් හී ඥාතීන් තමන්ගේ නැදෑයන් ජීවත්ව සිටින තැන්වලට පැමිණෙන නිසා, පින් අනුමෝදන් කළ යුත්තේ තමන් ජීවත්වන තැන්වල ය. විහාරස්ථාන වැනි තවත් තැන්වල දී පින්කම් කළ පසු පින් අනුමෝදන් කිරීම වරදක් නැත. නමුත් මියගිය නෑදෑයන් ජීවත්ව සිටින නෑදෑයෝ වාසය කරන ස්ථානවලට පැමිණ පින් අනුමෝදන් වූ ආකාරය පේතවත්ථුව තුළ සඳහන් වේ.

 

9. මළගිය ඇත්තන්ට නිවෙසේදී පින් දීම නුසුදුසුය යැයි කීමට හේතු මොනවාද?

 

බොහෝ විට මෙසේ කියන්නට හේතුව කරුණු නොදන්නාකම ය. සමහරවිට යන්ත්‍ර මන්ත්‍ර ආදිය සිදුකරමින් හරිහම්බ කරගැනීම වැනි වෙනත් කරුණු ද තිබිය හැකිය. ප්‍රධාන වශයෙන් බලපාන්නේ ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රියයන් ගැන නොදන්නාකම ය.

 

10. මියගිය අයට පින් දීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

 

මියගිය නෑදෑයන් ආහාරපාන ඉඳුම්හිටුම් ආදිය ලබා ගනියි. ඔවුන් සුවපත් වෙයි. සුඛිත මුදිත වෙයි. සැපවත් වෙයි. ජීවත්ව සිටින පින් අනුමෝදන් කළ ඥාතීන්ට තමන්ගේ අසරණ ඥාතීන්ට ඉඳුම් හිටුම්, සුවපත්කම්, සැපවත්කම් දීමේ කුසල් අත් වේ. පින් අනුමෝදන් වූ පරදත්තූපජීවී ඥාතීන් ජීවත්ව සිටින අයට ආශීර්වාද කරයි.

 

මේ ඉතා කෙටියෙන් කරුණු දැක්වීමකි. ත්‍රිපිටකය පුරාම මෙයට අදාළ කාරණා දැක්වේ. නුවණැත්තෝ තම තමන් සිදුකරන කුදු මහත් හැම පින්කමකදී ම මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට කල්පනා කළ යුතු ය. එය දෙපිරිසට ම උපකාර වේ.

 

අනුශාසනාව

පූජනීය , තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය, රත්නපුර.

සම්බන්ධීකරණය

මධුර ප්‍රභාත් ගමගේ