කොයිතරම් ගුණවත්ව සිටියත් ප්‍රතික්ෂේප වන්නට සිදුවන්නේ ඇයි?

නොවැම්බර් 29, 2021

නව යොවුන් තරුණියකට , තරුණයකුට ජීවිතය ගැන නවමු බලාපොරොත්තු, සිහින බොහෝමයක් තිබේ. ඒ සිහින අතර ආදරයට, ප්‍රේමයට, විවාහයට ඇත්තෙ මුල් තැනකි. සැවොම සෙනෙහස ලබන්නට, ආදරය ලබන්නට කැමති වෙති. සතුට සමගිය පිරුණු සුරතල් දරුවන් සහිත ආදරණීය පුංචි කැදැල්ලක සිහිනය ගිහි දිවිය ගෙවන කාටත් පොදු වූ අපූරු ප්‍රාර්ථනයකි.

නමුත් සැමදෙනාටම මෙම සිහින තම තමන් බලාපොරොත්තු වන ආකාරයෙන් ඉටුකරගන්නට ලැබෙන්නේ නම් නැත. එසේ වන්නේ ඇයි. අද ලිපියෙන් ඒ පිළිබඳව අපි සළකා බලමු.

 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයේ දඹදිව ධනවත් සිටු පවුලක් ජීවත් වුණා. ඒ සිටු පවුලෙ දූ කුමරියගෙ නම ඉසිදාසි. ඈ ඉතාම රූමත් ගුණවත් තරුණියක්. ඇය විවාහ වුණේ ධනවත් සිටු පවුලක සිටු කුමාරයෙක් සමගයි.

 

විවාහ වූ දිනයේ පටන් ඈ ඉතාමත් ආදරයෙන් තම සැමියාටත්, සැමියාගේ දෙමාපියන්ටත් සළකනු ලැබුවා. සැමියාගේ දෙමාපියන් ඉසිදාසිට ඉතාමත් ආදරේ වුණා. තමන්ගේ නිවසට ශ්‍රියා කාන්තාවක් ලැබුණ යැයි ඔවුන් බොහොම සතුටට පත්වුණා.

ඉසිදාසි තමන්ගේ සැමියාට ඉතාමත් දයාබර වුණා. නි‍ෙවසේ ආහාර සැකසීම, පිරිසුදු කිරීම, අලංකාර කටයුතු සියල්ලක් ම තමන්ගේ අතින්ම ඉටුකරන්නට තරම් ඈ අනලස් වුණා. ඒ අතර සැමියාගේ හිසකෙස් සැකසීම, සුවඳ විලවුන් ගැල්වීම, සැමියාව අලංකාර කිරීම ආදියත් බොහොම සෙනෙහසින් ඈ සිදුකළා. එපමණක් නොවෙයි සැමියාගෙ සොයුරු සොයුරියන්ටත් නෑයන්ටත් ඉතා හොඳින් ඈ සංග්‍රහ සත්කාර කළා. දන්නා හඳුනන හැමෝම කතාබස් කළේ ඉසිදාසිගෙ ගුණමයි. ඉසිදාසි වගේ බිරිඳක් ලබන්නට සිටුකුමරු මොනතරම් වාසනාවන්තද ., ඒ වගේ ලේලියක් ලබන්නට සිටුපවුලේ දෙමාපියන් කොයිතරම් භාග්‍යවන්ත ද., මිනිස්සු කියන්නට පටන් ගත්තා.

නමුත් ටිකදවසක් ගතවෙද්දි සිදුවුණේ කවුරුත් බලාපොරොත්තු නොවුණු දෙයක්. සිටු කුමරු ඉසිදාසිව ප්‍රතික්ෂේප කළා. ඔහු දෙමාපියන්ට කීවේ "මට නම් ඉසිදාසි එක්ක ඉන්න බෑ. ඉසිදාසිව ගෙදරින් එළවන්න. ඈව එළෙව්වෙ නැත්තං මං යනවා මේ ගෙදර අතහැරලා" යනුවෙනුයි.

දෙමාපියන් ඇසුවත් ඉසිදාසිගෙන් සිදු වූ වරද කුමක්ද කියලා ,එවැනි කිසි වරදක් වී නැති බවත් සිටු කුමරු පැවසුවා.

 

"ඇගෙ කිසි වරදක් නෑ තමයි. ඒත් මට ඉසිදාසිව පේන්න බෑ. ඈ එක්ක මට ජීවත් වෙන්න බෑ. ඈව පන්නා නොදැම්මොත් මං යනවා මේ ගෙදරින් යන්න" සිටු කුමරු නැවත නැවතත් කීවා.

අන්තිමට වැඩිහිටියන්ට සිදුවුණා ඉසිදාසිව නැවත ගෙදර යවන්නට. ඉසිදාසි සිටු මැදුරෙන් පිටත් වුණේ සැමියාගේ දෙමාපියන් ඉතා ශෝකයෙන් හඬද්දියි.

බිරිඳකට තිබිය යුතුයැයි ලෝකයෙ සැමියන් යම් ගුණයක් බලාපොරොත්තු වෙනවනම්, ඒ හැම ගුණයක්ම ඉසිදාසිට තිබුණා. ඒත් ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ඇයට නොලැබුණේ ඇයි.

ඉසිදාසිගෙ දෙමාපියන් නැවත විවාහ කිහිපයක් සිදුකළත් ඉතා ගුණවත් ඉසිදාසිව සැමියන් විසින් ප්‍රතික්ෂේප කළා. අන්තිමට සිඟන තරුණයකුට සිටු සම්පත් දී ඇයව සරණපාවා දුන්නත් ඒ විවාහය පැවතියේත් ටික කලක් පමණයි. සිඟන තරුණයා ද රූමත් ,ගුණවත් ඉසිදාසිව ප්‍රතික්ෂේප කළා. තමන්ගේ හිඟන ජීවිතය ඊට වඩා හොඳයැයි පිටත් වී යන්නට ගියා.

වර්තමානයේ දීත් අපට මෙවැනි සිදුවීම් අසන්නට දකින්නට ලැබෙනවා. කිසිම වරදක් නොකළ බිරිඳක් සැමියා විසින් හෝ, නිර්දෝෂි සැමියකු බිරිඳ විසින් හෝ බරපතළ ලෙස ප්‍රතික්ෂේප වෙනවා.

අපට මේ ජීවිතය පමණක් නොවෙයි,ජීවිත ගණන්කළ නොහැකි ප්‍රමාණයක ඉතිහාසයක් තියෙනවා. නිවන් අවබෝධ නොකළොත් එවැනිම දීර්ඝ අනාගතයකුත් ඉපදී ඉපදී මැරෙන්නට සිදු වෙනවා. දීර්ඝ සංසාරයේ අනන්ත ජීවිතවලින් එකම එක අංශුමාත්‍රයක් පමණයි මේ ලැබී තිබෙන මිනිස් ජීවිතය. අතීත ජීවිතවල කරන ලද බොහෝ කුසල හෝ අකුසල කර්ම අප පසුපස සසර පුරා පැමිණෙනවා.

ගුණවත් ඉසිදාසිව පුරුෂයින්ට එපා වුණේ ඇයි. එයට පූර්ව කර්මයක් බලපෑවා.

අතීතයේ ඉසිදාසි ඒරකච්ඡ කියලා නගරයක ඉතා ධනවත් තරුණයෙක් වෙලා ඉපදී සිටියා. ස්වර්ණාභරණ කර්මාන්තයෙ යෙදුණු මේ තරුණයා ඉතා කඩවසම් තරුණයෙක්. ධර්මය නොලැබුණු ඒ ජීවිතයේ ඔහු නොයෙක් ස්ත්‍රීන් ඇසුරු කරමින් සල්ලාල ජීවිතයක් ගතකළා. බොහෝ ලස්සන ප්‍රීතිමත් පවුල් ජීවිත ඔහු නිසා කැඩී බිඳී ගියා. ඒ පවින් මරණින් මතු නිරයෙ ඉපදී බොහෝ දුක් විඳින්නට සිදුවුණා.

ඉන්පසු වඳුරකු ලෙසත්, බූරුවකු ලෙසත්, ගවයෙකු ලෙසත් තිරිසන් ජීවිත ලබා ලිංගේන්ද්‍රිය කුණුවී බොහෝ දුක් විඳ මරණයට පත්වන්නට සිදුවුණා. ඉන්පසු ලැබූ මිනිස් ජීවිතයේ නපුංසක භවයක් ලැබ බොහෝ නින්දා අපහාස විඳින්නටත් සිදුවුණා.

පසුව ලැබූ ජීවිතයේ ඉතා දුප්පත් පවුලක දුවෙක් වෙලායි ඉපදෙන්නට සිදුවුණේ. ගත් ණයට හිළව් වෙන්නට ණය හිමියා විසින් බලහත්කාරයෙන් ඈ රැගෙන ගොස් තම පුතුට විවාහ කරදුන්නා.

ඒ සැමියාට ඉතා ගුණවත් බිරිඳක් සිටියා. ඈ ගැන ඊර්ෂ්‍යාවෙන් සැමියාට නොයෙක් බොරු කේලාම් කියමින් දෙදෙනාව භේද කරන්නට ඈ කටයුතු කළා. මෙසේ ඈ ආත්ම කිහිපයකම ප්‍රීතිමත් පවුල් ජීවිත අවුල් කරමින් කර්ම රැස්කර තිබුණා. මේ ජීවිතයේ කොයිතරම් ගුණවත් වුණත් විපාක දෙන්නට ඉතිරි වූ පූර්ව කර්ම ඇයට විපාක වශයෙන් විඳවන්නට සිදුවුණා.

ඉසිදාසිගෙ කතාව අපිට බොහොම වැදගත් කතාවක්. බොහෝ ගිහිජීවිතවල අවුල් වියවුල් ඇතිවන්නට , ඔවුන්ගේම පෙර කර්ම හේතු වෙන්නට ඉඩ ඇති බව අපිට මෙයින් තේරුම් ගන්නට පුළුවන්.

අපිට ලැබිලා තියෙන විවාහ ජීවිතය බලාපොරොත්තු නොවුණු තරම් දුක්ඛිත එකක් වුණත් අපි කිසිවිට ඒ පීඩාව මත සසරම දුකට හේතුවෙන අකුසල කර්ම වලටනම් යොමුවෙන්නට හොඳ නෑ .

ඉසිදාසි නම් පැවිදි වෙලා උතුම් අර්හත්වයට පත්වෙලා සසර දුකින් මිදී නිවනින් සැනසුණා. අපිටත් පුළුවන් හැකිතරම් ඉවසීමෙන් ධර්මයට ලැදි වෙලා ආදර්ශමත් ගිහි ජීවිතයක් ගතකරන්න. සසර මෙවන් දුකක් නොවේවායි පතා කුසල් දියුණු කරන්න.

සමහර පවුල් අපිට දකින්නට ලැබෙනවා, ඉතාම ප්‍රීතිමත්. සතුට සමගිය පිරිලා. ඒත් දරුසුරතල් බලන්නට භාග්‍යයක් නෑ.

බුද්ධකාලයේ අපුත්තක නම් සිටුතුමාට බොහෝ ධනය තිබුණත් දරුවන් සිටියේ නෑ . ඊට හේතු වූ පාපය ලෙස ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔහු පෙරභවයක ධන ලෝභයෙන් මවකට දරුවකු අහිමි කළ බවයි.

බුද්ධකාලයේම සිටි බෝධිරාජ කුමාරයාට දරුසම්පත් නොලැබුණේ නැව් ගමනකින් අනතුරට පත්ව දූපතක අතරමං වී තම බිරිඳත් සමග එක්ව කුරුලු බිත්තර හා පැටවුන් මරා කෑමෙන් වූ පාපය නිසාවෙන් බවයි ධර්මයෙ සඳහන් වෙන්නෙ.

මේ වගේ අපේ ජීවිතවලට නොලැබෙන යම් යම් දේවල් පසුපස පූර්ව කර්ම හේතු තියෙන්නට පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නෙ සියල්ලම කර්මයට බාරදෙන්න එපා කියලා.

ගැටලුවල හේතු සොයා බුද්ධිමත් විදියට පිළියම් යෙදීමෙන් බොහෝ ගැටලු විසඳන්නට පුලුවන් වගේම නිතර ධර්මයට නැඹුරු වී බලවත් කුසල් කිරීම තුළින් පෙර අකුසල් යටපත්කර දමා ජීවිතයට සැනසීම ලඟා කරගන්නත් පුළුවන්.

සසර පෙරුම් පිරූ භද්දාකාපිලානි නැමති තරුණිය ද ඉසිදාසි වගේම පෙරභවයක දී සැමියාගෙන් ප්‍රතික්ෂේප වුණා. විවාහ වූ සැමියාගේ නිවසට ගිය පසු ශරීරයෙන් පිළිකුල් දුර්ගන්ධයක් වහනය වීම ප්‍රතික්ෂේප වීමට හේතුව වුණා.එයට හේතු වුණේ පෙර භවයක පසේ බුදුකෙනෙක්ගෙ පාත්‍රයට මඩ පිරවීමේ පාපයකුයි. මෙසේ සත්වරක් ප්‍රතික්ෂේප වූ ඇය තම රන් ආභරණ එක්කොට කාශ්‍යප ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ රන්දාගැබට රන්ගඩොලක් සාදා නිල් මහනෙල් මල් සමග පූජාකරනු ලැබුවා. ඒ පිනෙන් ශරීරය සුවඳවත් වීමටත් ප්‍රාර්ථනා කළා.

ඒ උතුම් පිනෙන් පූර්ව කර්ම යටපත් වී සැමියාට ඈව සිහිපත්ව නැවත සිටු මැදුරට කැඳවාගනු ලැබුවා. එවිට ඇගේ සිරුරින් සඳුන් සුවඳත්, මුවින් මහනෙල් මල් සුවඳත් විහිදී මැඳුරම සුවඳවත් වුණා.

එතැන් සිට ඈ සැමියාට ඉතාමත් ප්‍රිය වුණා.

ඒ නිසා ඉවසීමෙන් යුතුව පුළුවන් තරම් කුසල් වඩන්න. පිං පුරන්න. කවදාවත් යුවළක් අතර මතභේදයක් ඇතිවෙන දේවල් කියන්න කරන්න එපා. පුළුවන් තරම් සමගියටම මග පෙන්වන්න. එවිට මෙලොවදීම ඔබ පතන සැනසීම ඔබට ළඟාවනු ඇත.

 

 

 

සම්බන්ධීකරණය- මධුර ප්‍රභාත් ගමගේ

 

සිරි උපාලි ධර්මාශ්‍රමයෙහි අනුශාසක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි ,

කුඩා කිවුල, කොට්ටුකච්චිය.