ස්වාමියාගේ සත්‍ය සොයා යෑම වෙනුවෙන් කැප වූ යසෝධරා

දෙසැම්බර් 27, 2021

 

අවසන් ෙකාටස...

 

යසෝදරා මහරහත් තෙරණින් වහන්සේ පිළිබඳව පසුගිය සතියේ පළ වූ ලිපියට පදනම් වූයේ යසෝදරා ථෙරී අපදානයයි.

එම යසෝධරා ථෙරී අපදානයට අනුව යසෝධරා දේවියගේ සන්සාර ගමන වනාහි එදා දීපංකර පාද මූලයේ සිට බුද්ධත්වය ලබන්නාවූ ආත්ම භවය දක්වා ගත්වූ ඒ මහා කල්ප සාරාසංකෙයියකුත්, තවත් කල්ප ලක්ෂයකුත් පැමිණි අඛන්ඩ අත්භූත සහගත වූ ගමනකි.

අප මහා බෝසතාණන් වහන්සේ දස පාරමිතා පුරද් දී ඒ සඳහා වචනයකින්වත් බාධාවක් නොකර අනුග්‍රහ දැක්වූවා කියන කාරණය කොතරම් බරපතළ දැයි දසපාරමිතාවේ දාන පාරමිතාව යනු කුමක් දැයි වටහා ගැනීම මඟින් යම් පමණකට හෝ අවබෝධ කරගත හැකි වනු ඇත.

මහරහත් උතුමන් වහන්සේලා විසින් පවත්වාගෙන් ආ බුද්ධ වංශයට අනුව දීපංකර පාද මූලයේදී සුමේධ තවුසාණන් විසින් අධිෂ්ඨාන කළ දස පාරමිතාවේ දාන පාරමිතාව විස්තර කරනුයේ මෙසේය. යටිකුරු කළ කලයක් වතුර සියල්ල පිටකරන්නාක් මෙන් ධනය, කීර්තිය, අඹු දරුවන්, ශරීර අවයව අාශා නැතුව ඉතිරි නැතුව දන්දීම දාන පාරමිතාව වේ.

 

කාන්තාවන් වනාහි අලංකාර ඇඳුම්, ආභරණ, හා අලංකාර දේවල් වලට කැමති වේ. යසෝධරා ථෙරී අපදානයට අනුව බෝසතාණන් වහන්සේ තම සතු සියල්ල කිසිවක් ඉතුරු නොකර මෙසේ දන් දෙද්දී යසෝධරා දේවිය ද මෙසේ කිසිවක් තබා නොගෙනම දන් දී ඇත.

 

වෙස්සන්තර ජාතකය ගැන සිහිපත් කරන විට සෑම දෙනාටම සිහියට එන්නේ දරුවන් දන් දීම ගැන ය. බොහෝදෙනෙකු සිතාගෙන සිටින්නේ අපගේ බෝසතාණන් වහන්සේ දරුවන් දන් දී ඇත්තේ වෙස්සන්තර ආත්ම භාවයේ පමණක් කියාය. නමුත් එය එසේ නොවේ. වෙස්සන්තර ආත්මභාවයේදී දරුවන් දන් දෙද් දී ජූජක බමුණා විසින් දරුවන් දෙදෙනාව වැල්පොටකින් ගැටගසාගෙන අරගෙන ගියේ යැයි ඔබ අසා ඇති. නමුත් දරුවන් දන් දෙන සෑම ආත්මභාවයකදී ම එසේ වැල්පොටකින් ගැටගසාගෙන ඇදගෙනයාම විය නොහැක්කකි. එසේ ඇදගෙන නොගිය අවස්ථාද ඔනෑතරම් තිබිය හැක. නමුත් මේ කාරණයේ ඇති සංවේදී කරුණ නම් එසේ වැල් පොටකින් ගැටගසා ඇදගෙන ගිය ආත්මභාවවල එම වැල් පොටවල් සියල්්ලගේම දිග එකතු කළහොත් මනුෂ්‍යය ලෝකයේ සිට අකණීටා බ්‍රහ්මලෝකය දක්වා දිගයැයි සඳහන් වේ. මේ අනුව ගත්කල මෙසේ දරුවන් දන්දුන් අවස්ථා ගණන ලක්‍ෂ කෝටි ගණනින් වත් සංඛ්‍යාත්මකව කියා නිමකළ නොහැක්කකි. මවකට ලොව උතුම්ම සම්පත වන්නේ තමන්ගේ දරුවන් ය. ඔවුන්ට තම දරුවන් වෙනුවෙන් කළ නොහැකි දෙයක් ඔබට සිතාගන්නවත් පුළුවන්ද? දරුවෙකුගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැපකිරීම මවකට ඉතා සුළු දෙයකි. ශරීර අවයව ගැන තව කවර කථාද. තත්ත්වය එසේ වද්දී මෙතරම් වාර සංඛ්‍යාවක් තම දරුවන් දන් දෙද්දී අපගේ යසෝධරා උත්තමාවිය ඒ කිසිදු අවස්ථාවකදීවත් එයට එරෙහි වනවා තබා වචනයකින්වත්, ඉඟියකින්වත් බාධාවක් කර නැත. වෙස්සන්තර ආත්ම භාවයේදීත් දරුවන් දන් දුන්නා කියද්දීත් සාධු නාද දෙමින් එය අනුමෝදම් වි ඇත. මෙතරම් දරු සෙනෙහසක් සිතේ තබාගෙන ඇය එවන්නක් කළේ කෙසේද කියා අපට නම් සිතාගන්නවත් නොහැකිය .

 

දරුවන් දන්දීම පිළිබඳව සමාජයේ සමහරුන් තුළ යම් අපැහැදීමක්, විවේචනයක් ද ඇති බව දක්නට ලැබෙන කරුණකි. තමන්ගේ පෞද්ගලික බුද්ධත්වය සඳහා අහිංසක දරුවන් මෙසේ දෙන්නට හිතක් පපුවක් තිබුණේ නැද්ද කියා සමහරු අසයි. මේ කාරණාව පිළිබඳ වෙස්සන්තර ජාතක කතාවෙන් කරුණු සොයා ගත හැකිය. සාමාන්‍යයෙන් පියෙකුට තම දරුවකු හට විපතක් සිදුවූයේ නම් නිසැකවම දෑසට කදුළු එන්නේය. එසේ එන කදුළු සාමාන්‍යයෙන් ජලයේ පැහැය ය. ස්වභාවිමකම ඇස තුල පවතින කදුළු ග්‍රන්ථි ක්‍රියාත්මක වීම මෙහිදී සිදුවෙනවා යැයි ඔබ අසා ඇත. නමුත් වෙස්සන්තර ආත්මභාවයේ දී මෙසේ දරුවන් දන් දෙද් දී අප මහා බෝසතාණන් වහන්සේගේ ඇස් වලින් ගලා ආවේ කදුළු නොව රක්ත පැහැ රුධිරයයි. එනම් තමන්ගේ ආදරණීය දරුවන් දන් දෙද්දී හදවතේ හටගත් වේදනාවට කදුළු ග්‍රන්ථී පුපුරා යන්නට ඇත. එසේ ඇති වූ වේදනාව කොපමණද කියනවා නම් කඩුව ගෙන ජූජක බමුණාව දෙපලු කොට තම දරුවන් යළි ලබාගන්නවා යැයි ද මොහොතකට සිතී ඇත. නමුත් ඒ මොහොතේම බෝසතාණන් වහන්සේ සිතුවේ ලෝක සත්ත්වයා සසර තුළ පිළිසරණක් නොමැතිව අතරමං වී අනේක දුක් විඳිති. මම මෙසේ පාරමිතා නොපිරුවහොත් එසේ අසරණව සිටින ලෝක සත්ත්වයාව මේ දුකින් මුදවන්නේ කෙසේද කියාය. අපගේ යසෝධරා දේවිය ද සසර පුරාවට තම හිත හදාගෙන ඇත්තේ ද ලෝක සත්ත්වයන් සසර දුකින් මුදවීමට මාගේ ස්වාමියාට උදව් නොකළහොත් ලෝක සත්ත්වයාව මේ සසර දුකින් මුදවන්නේ කෙසේද කියාය. මෙහි ඇති තවත් සංවේදී කරුණක් නම් බෝසතාණන් වහන්සේ එසේ සංසාරයේ දරුවන් දන් දෙද් දී ඒ බොහෝ ආත්මවල දරුවන් ලෙස ඉපිද ඇත්තේ ද එකම පිරිසකි. එසේ සංසාරයේ පතාගෙන එන දරුවන් බෝසතාණන් වහන්සේ හට ඉතාමත් කීකරුව සෙනෙහසින් සිටි දරුවන්ම ය. මෙවැනි දරුවන් දන් දෙද්දී බෝසතාණන් වහන්සේටත් යසෝධරා දේවියටත් ඒ ආත්මභවවල හටගත් වේදනාවෝ මෙතෙකැයි කියා කියන්නට පුළුවන් අයෙක් මේ සක්වළවත් නැත්තේය.

 

යසෝධරා ථෙරී අපදානයට අනුව තමන්ව අන් පුරුෂයන්ට පරිවාර ස්ත්‍රීයක් ලෙසත්, දාසියක් ලෙසත් දන් දෙද් දී ඒ සියලු දුක් අපගේ යසෝධරා උත්තමාවිය ඉහත පරදි ලෝක සත්ත්වයාව සසරින් මුදවීම. ඔබටත් මටත් මෙසේ බණ පදයක් අසන්නට සැලැස්වීම පිණිස ඉවසුවායැයි පැවසීම ඇය විසින්ම පැවසුවාම නිසා ඇර අන් අයෙක් කීවානම් පිළිගන්නටවත් නොහැකි ය. මන්දයත් එවැනි කැපකිරීමක් කිරීම පවා එවන්නක් ගැන ඇසීම පවා දෑසට කදුළු නැංවීමට සමත් බැවිනි. ඔබටත් මටත් අසන්නට ලැබෙන සෑම බණ පදයකට ම, ඔබත් මමත් මේ සම්බුද්ධ ශාසනය නිසා බුදුරජුණ්ට මලක් පූජා කිරීමේ සිට කරන්නා වු සෑම පිනක් පාසාම අප දැනුවත්ව හෝ නොදැනුවත්වම අප යසෝධරා දේවියට ණයගැති වන්නේ ය. යමෙකුට බුද්ධත්වය ලැබීමට නම් ඉහත කී අයුරින් පාරමිතා පිරීම අත්‍යවශය වේ. එසේ නොකර කිසිවකුට බුද්ධත්වය ලැබිය නොහැක.

මේ සක්වළ පමණක් නොව මෙවැනිම තවත් දසදහසක් ලෝක සක්වළ විශ්වය පුරා විසිරී තිබුණත්, බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මේ සක්වල පමණි.

මෙතරම් සංඛ්‍යාවෙන් කියා නිමකළ නොහැකි සත්ත්වයන් සිටියදී බුදුරජාණන් වහන්සේලා මෙතරම් දුර්ලභ වන්නේ ද මෙවැනි කැපකිරීමක් ලෝක සත්ත්වයා වෙනුවෙන් කිරීමට අන් කිසිවකුට නොහැකි වන බැවිනි.

එදා දීපංකර පාද මූලයේදී යසෝධරා උත්තමාවිය අපගේ බෝසතාණන් වහන්සේ ගේ පාදපරිචාරිකාව වීමට ප්‍රාර්ථනා නොකළානම් අප මහා බෝසතාණන් වහන්සේ හට කිසිවිටක සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් වැනි කෙටි කාලයක් තුළ මෙසේ පාරමිතා පිරීමට නොහැකි වනු ඇත.

මන්දයත් යසෝධරා උත්තමාවිය හැර අන් අයකු බෝසතාණන් වහන්සේගේ බිරිය වූවානම් මෙසේ දරුවන් දන්දීම තබා වස්තුව දන්දීම පවා පහසුවෙන් කිරීමට කිසිසේත්ම නොහැකි වේ. යසෝධරා උත්තමාවිය මෙසේ පාරමිතා පිරීමට උපකාර නොක‍ෙළ් නම් අප මහා බෝසතාණෝ තවමත් සංසාරයේ පාරමිතා පුරමින් සිටින අතර අපට මෙසේ බුද්ධ ශාසනයක් ලැබෙන්නේද නැත. එසේ වූවානම් කල්පයක් පවතින මහා ආනුභාවය ඇති ඒ උතුම් අංගුලිමාල පිරිත දේශනා කළ අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේ ද තම මව මරා මේ වනවිට අවීචි මහා නිරයේ ය. අප පවා නොයෙකුත් මිත්‍යාදෂ්ටි කරපින්නාගෙන මහා අකුසල් ගොඩක් රැස් කරවාගෙන සසරේ දුකින් දුකටම යන අවාසනාවන්ත සත්ත්ව පිරිසක් ය.

 

එම නිසා අපගේ මෑණියන් බඳු ඒ යසෝධරා මහරහත් තෙරණින් වහන්සේට ණයකරුවකු නොවී ඇය කළ කැපකිරීම අපතේ නොයවමින් අපද අප්‍රමාදීව මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම පිළිසරණ ලබා ගැනීමට වහ වහා වීරිය කරමු .

 

සම්බන්ධීකරණය

මධුර ප්‍රභාත් ගමගේ

 

 

අනුශාසනාව

පූජ්‍ය , තෙලඟපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ