සමහර මරණ බිහිසුණු වන්නේ ඇයි?

ජනවාරි 3, 2022

 

අප ලබා ඇති මේ මිනිස් ජීවිතය සාංසාරික අනන්ත කාල අවකාශයෙන් එක් අංශුමාත්‍රයක් පමණකි. මේ මිනිස් ජීවිතයට පෙර අනන්ත අප්‍රමාණ ගණනය කළ නොහැකි තරම් ජීවිත ගණනාවක් අපි විවිධ භවයන්හි ඉපිද ඇත්තෙමු. විවිධාකාර සැප සම්පත් හා දුක් කරදර විඳ ඇත්තෙමු. එසේම මේ ජීවිතයේදී නිර්වාණය අවබෝධ නොකළේ නම් විවිධාකාර දුක්සැප අනුභව කරමින් සසර නැවත නැවත පුනර්භවයට පත් වන්නට සිදුවනු ඇති. එසේ බැලූ විට මේ ජීවිතය සංසාරයේ අප ලැබූ තවත් එක් තාවකාලික නවාතැන්පලක් පමණකි. මේ ජීවිතය ද අමරණීය වූවක් නොවන අතර එය ද මරණයෙන් කෙළවර වී යනු ඇත. එයින් ද නොනැවතී අප කර්මානුරූපීව පුනර්භවයට ද පත්වනු ඇත.

 

දිනක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි සුභ නම් තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් වටිනා ප්‍රශ්න කිහිපයක් ඇසීය. ඒ අතර මරණය හා ජීවිතය සම්බන්ධ වඩා වැදගත් ප්‍රශ්නයක් තිබිණි.

 

"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ ඇතැමෙක් දීර්ඝායුෂ ලබති. ඇතැමෙක් අඩු වයසින් මරණයට පත් වෙති.ඊට හේතුව කුමක්ද ? " යනු ඒ පැනය යි.

සාමාන්‍ය මිනිසකුට තනිව වටහාගත නොහැකි මේ කාරණය සියල්ල දන්නා භාග්‍යවතුන් වහන්සේ විසින් ඔහුට විසඳා දෙන ලදි.

පෙර ජීවිතවලදී විවිධ සත්ත්වයන් මරණයට පත් කොට ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය උදුරාගත් අය වෙත මේ ජීවිතය තුළ බොහෝ මරණය ළඟා වන බවත්, පෙර ජීවිතය තුළ ප්‍රාණඝාතයෙන් වෙන්ව සිටි අය මේ ජීවිතය තුළ දීර්ඝායුෂ ලබන බවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

කෙනකුගේ මරණය සිදුවන කාලය හා ආකාරය තීරණය වීමට ඔහුගේ හෝ ඇයගේ පෙර ජීවිතවල දී සිදුකළ කර්ම බෙහෙවින් ම බලපානු ලබන බව ශ්‍රී සද්ධර්මය තුළින් අපට වටහාගත හැකිය.

කෙනෙක්ගේ මරණය ස්වාභාවික ශාන්ත එකක් වන අතර තව කෙනෙක්ගේ මරණය ඉතා බිහිසුණු එකක් වන්නේ ඇයි? ඊට හේතු වන්නේ මොනවාද? සම්බුද්ධ දේශනාව තුළින් අපි විමසා බලමු.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ ඉතා සැදැහැවත් තරුණ උපාසකයෙක් වාසය කළේය. ඔහු ඉතාම ගුණවත්, ධර්මයට ලැදි සෝවාන් මාර්ගඵලයට පත් උතුම් මිනිසෙක් විය. සතර පොහොයට ම දෙව්රම් වෙහෙරට ගොස් සිල් සමාදන් වීම මොහුගේ පුරුද්දක්ව තිබුණි.

 

දිනක් එසේ සිල් සමාදන් වී දවස ම ඉතා ධර්මානුකූලව ගතකළ මොහු අලුයම් කාලයේ විහාරයෙන් පිටත්ව නි‍ෙවසට යන්නට විය. එදා රාත්‍රියේ සොරුන් විසින් නිවාස කිහිපයක් කොල්ල කා තිබුණි. ඔවුන් පසුපස රාජ පුරුෂයන් පැමිණෙන බැවින් විවිධ දිශාවලින් පැනයන්නට විය. ඒ අතර එක් සොරෙක් දෙව්රම් වෙහෙර මාර්ගයෙන් පැනගිය අතර රාජ පුරුෂයන්ගේ ලුහුබැඳීමෙන් බේරීමට සොරබඩු ගං ඉවුරේ දමා ගියේය. ඒ මොහොතේ මහාකාල තරුණයා එහි මුහුණ සෝදමින් සිටියේය. රාජ පුරුෂයන් සොර බඩු දැක සොරායැයි මහාකාලව අල්ලාගත්තේ ය.

 

කිසිවිට ජීවිතයේ සොරකමක් නොකළ මහාකාල ඒ බව ප්‍රකාශ කළත් ප්‍රකෝපව සිටි රාජ පුරුෂයින් හා ගම්වාසීන් ඒ බව නො පිළිගත්හ. තම නිර්දෝෂිභාවය ඔප්පු කිරීමටවත් අවස්ථාවක් ඔහුට නොලැබිණි.

රාජ පුරුෂයන් හා ගම්වැසියන් කෝපයෙන් ඔහුට පහර දුන්හ. පොලුවලින් , මුගුරුවලින් තලන්නට විය. හෙලිවලින් පිහිවලින් අනින්නට විය. මහාකාල ඉතා වේදනාවෙන් ලේ වගුරවමින් කෑගැසූවත් ඒ හඬ අසන්නට කෙනෙක් නොවීය. ඉතාමත් දුර්වලව ඇද වැටුණු උපාසකයාට මුහුණක් කටක් අඳුනාගත නොහැකි වනතෙක් වධහිංසා දී මරා දැමූහ. වඩාත් කෝපයට පත් අයෙක් මළසිරුරටත් තැලූහ. මෙසේ නිර්දෝෂි මිනිසකු අකාලයේ අමානුෂික ලෙස මරණයට පත්කරන ලදී.

 

මෙය මහා අසාධාරණයකි. මිනිසුන් තැනින් තැන කතාබහ කරන්නට විය. ඒ අතර සංසාරයේ ස්වාභාවය , ජීවිතයට බලපාන නොපෙනෙන හේතුව වන කර්ම ශක්තිය ආදිය ගැන යම් වැටහීමක් තිබුණු ඇතැමෙක් මේ පිළිබඳව ලොව්තුරා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියහ.

එවිට මෙම බිහිසුණු මරණයට හේතු වූ සාංසාරික කර්මය අනාවරණය විය.

මොහු පෙර ජීවිතයක රාජපුරුෂයෙක්ව ඉපිද සිටියේය. රජුගෙන් මොහුට පැවරී තිබූ කාර්යය වූයේ මං පහරණ සොරුන් පිරුණු කැලයක් මැදින් ගමකට පිවිසෙන මිනිසුන්ට ආරක්ෂාව සැලසීමය. ඒ කාර්යය ඔහු ඉතා මැනවින් ඉටුකළේය.

දිනක් විවාහක යුවළක් ගමට යෑමට හවසක එහි පැමිණියහ. එහි සිටි ස්ත්‍රිය ඉතා රූමත් වූ බැවින් ඈ පිළිබඳ රාග සිතක් රාජ පුරුෂයාට ඇති විය. ඈ හිමිකර ගැනීමට ඔහුට අකුසල් සිතක් පහළ විය.

කැලය හරහා යෑමට දැන් සුදුසු වේලාව නොවන බවත් පසුදා උදෑසන යා යුතු බවත් රාජ පුරුෂයා ඔවුනට කීය. විවාහක යුවළ කොතරම් ඉල්ලීම් කළත් පළක් නොවිණි. අවසානයේ රාජ පුරුෂයා එදා රාත්‍රිය ඒ දෙදෙනාව බලයෙන් ම එහි නතර කරගෙන කෑමෙන් බීමෙන් ද සංග්‍රහ කළේය. ඒ අතර තම නිවෙසේ වූ වටිනා මැණිකක් ගෙන යුවළ සිටි කරත්තයට දැම්මවීය.

 

මේ කිසිවක් නොදත් දෙදෙනා සිටියේ උදෑසනින්ම ගමන පිටත්වීමට සිතමිනි. අලුයම් කාලයේ නිවෙසට සොරු පැමිණි බවක් අඟවා රාජ පුරුෂයා කෑගසන්නට විය. සොරුන් අල්ලන්නට ගිය රාජ පුරුෂයන් කරත්තයේ තිබූ මැණිකත් සමඟ විවාහක යුවළ අල්ලාගත්තේ ය.

ඔවුහූ තමන් නිර්දෝෂි බව කියමින් කෑගැසූහ. ඇඬූහ. රාගයෙන් මත්ව සිටි රාජ පුරුෂයාට ඒ කිසිවක් නොඇසිණි.

පිරිස වටවී අර නිර්දෝෂි පුරුෂයාට පහර දෙන්නට විය. හෙලිවලින් අනින්නට විය. පොලුවලින් පහර දෙන්නට විය. අහෝ ඒ අසරණ මිනිසා නිර්දෝෂිව සිටත් බිහිසුණු ලෙස මරණයට පත් කරන්නට ඔහු කටයුතු කළේය.

 

මහාකල විසින් භවයන් කෝටි ගණනකට පෙර කළ මෙම අකුසල කර්මයට බොහෝ කාලයක් නිරයේ දුක්විඳින්නට සිදුවිය. මිනිසත්ව උපන් බොහෝ ජීවිතවල අභූත චෝදනාවන්ට අසුවී බිහිසුණුව මරණයට පත්වන්නට විය. ධර්මය අවබෝධ කොට සෝවාන්ව සිටි ඉතා ගුණවත් ජීවිතයේදී ද එම කර්මයෙහි ඉතිරි විපාකය භුක්ති විඳින්නට ඔහුට සිදුවිය. මේ ජීවිතය තුළ කොතරම් ගුණවතකු වුවද මෙසේ මරණයට පත්වන්නට හේතු වූයේ ඔහුගේම සසර අකුසලයක් බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පහදා දුන් සේක.

මෙසේම බිහිසුණු මරණයකට සාමාවතී බිසව හා පන්සීයක් කාන්තාවන් මුහුණ දුන්හ. ඈ උදේනි රජුගේ බිසවකි. උදේනි රජුගේ ම බිසවක් වූ මාගන්ධියා විසින් සාමාවතී ඇතුළු පිරිස මාලිගයේ සිරකර පණපිටින් ගිනිතබා ඉතා බිහිසුණු ලෙස මරණයට පත්කරන ලදි.

සමාවතී බිසව රජ මෙහෙසියකව ඉපද සිටි අතීත ජීවිතයකදී අනෙක් ස්ත්‍රීන් සමඟ නදියේ දිය නාන්නට පිටත් විය. නා අවසන්ව සීතලෙන් බේරෙන්නට ගිනි තපින්නට සිතා තෘණ ගොඩක් දැක ගිනි තැබ්බවීය. ඒ තෘණ බිමෙහි එක් පසේ බුදු කෙනෙක් සමාපත්තියට සමවැදී සිටින අයුරු ඈ දැක්කේ ගින්න පැතිරුණු පසුව ය. මේ පසේ බුදුන් වහන්සේ ඇතුළු පසේ බුදුවරු අට නමක් එකළ රජුගේ අප්‍රමාණ පැහැදීමට පත්ව සිටියහ. එබැවින් මෙම බිසව රජුගේ කෝපයට තමා ඇතුළු පිරිස බඳුන් වේයැයි බියෙන් පසේබුදුන් වහන්සේ පිලිස්සී ම මිය යා යුතුයැයි පිරිස හා එක්ව තවත් ගිනි තබා යන්නට විය.

 

මුලින් අචේතනිකව ගිනි තැබූවත් පසුව සචේතනිකවම පසේ බුදුන් වහන්සේ ට ගිනි තැබීය. පසේ බුදුන් වහන්සේ ට කිසිදු විපතක් නොවුණි. ඒ උන්වහන්සේ සමාපත්තියට සමවැදී සිටි නිසාවෙනි.

නමුත් ඒ චේතනාත්මක අකුසලය ඉතා බලවත් එකක් විය.

එම අකුසලය නිසා මෙම පිරිසට ගින්නෙන් දැවී බොහෝ ජීවිතවලදී මරණයට පත්වන්නට සිදුවිය.

ඔබ අප කවුරුත් දන්නා වාම අග්‍රශ්‍රාවක මුගලන් මහරහතන් වහන්සේ ට සොරුන්ගෙන් පහර කා පිරිණිවන් පාන්නට සිදුවූයේ ද පෙර ජීවිතයකදී තම මාපියන්ට පහර දී මරාදැමූ මහා පාපයක ඉතිරි වූ විපාකයකිනි.

මෙසේ බොහෝ කතා පුවත් අපට ශ්‍රී සද්ධර්මය තුළ දැකිය හැකිය.

අසරණ, නිරපරාදී මිනිසකුට බිහිසුණු ලෙස මරණයට පත්වන්නට සිදුවීම පසුපස බොහෝ විට පූර්ව ජීවිතවල තමා විසින් ම අනවබෝධයෙන් සිදුකළ බොහෝ අකුසල කර්ම තිබෙන්නට පුළුවන. එය දිවැස ආදී අතීන්ද්‍රිය ඥානයන් නොමැති සාමාන්‍ය මිනිසුනට කිසිලෙසකත් දැකීමට නොහැකිය.

කෙනෙක් වධහිංසාවට ලක් වී අකුසල් ගෙවා දමන අතර තව කෙනෙක් ඊට සම්බන්ධ වී අනාගතයේ එසේම වධහිංසා ලබන්නට අකුසල් රැස්කර ගනිති. කර්මයේ මායාව ම ඉතා බිහිසුණු ය.

පිහිට ඇත්තේ උතුම් ශ්‍රී සද්ධර්මය තුළම ය. අන් රැකවරණයක් සසර සැරිසරන අපට නැත. අපි අකුසලයෙන් වෙන් වෙමු. අප්‍රමාදීව කුසල් දහම් වඩමු. ධාර්මිකව ම ජීවත් වෙමු. එය දෙලොවම සැනසීමට මඟය.

 

 

සම්බන්ධීකරණය- මධුර ප්‍රභාත් ගමගේ

 

සිරි උපාලි ධර්මාශ්‍රමයෙහි අනුශාසක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි ,

කුඩා කිවුල, කොට්ටුකච්චිය.