පොහොසත්ව ඉපදෙන්න මොන වගේ පින්කම් කළ යුතු ද?

ජනවාරි 17, 2022

 

කෙනෙක් දුප්පත්ව හෝ පොහොසත්ව උපදින්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ නමකගේ මැවීමෙන්වත්, තවත් කෙනකුගේ අවශ්‍යතාවකටවත්, ඉබේමවත්, නොවේ. එය සිදු වන්නේ තම තමන් රැස් කර ගත් කර්මය අනුවයි.

 

කර්මය ධනය වියදම් කර මුදලට ගත හැකි දෙයක් නොවේ. කර්මය ලෙස සඳහන් කළේ විශාල කාරණා රාශියකට ය. එය සිතත්, සිතේ යෙදෙන ධර්මත් ඒ ඒ කටයුතුවල යොදවාලන ශක්තිය වන චේතනාවත්, බෝධ්‍යංග සතත්, මාර්ගාංග අටත්, අභිධ්‍යා, ව්‍යාපාද, මිථ්‍යා දිට්ඨි, අනභිධ්‍යා, අව්‍යාපාද, සම්මා දිට්ඨි ලෙස ධර්ම කාරණා විසි දෙකක් ඔස්සේ තේරුම් ගත යුතු ය.

 

තම තමන්ගේ දුප්පත්කම හෝ පොහොසත්කම කර්මය අනුව සිදුවෙනවා යැයි සඳහන් කිරීමේ දී, තම තමන් ලෙස සඳහන් කළේ නාම රූප ධර්මවලට බව පළමුව තේරුම් ගත යුතු ය. ඒ ගැන නිරවුල් අවබෝධයක් නැතිනම් කර්මය ගැන තේරුම් ගැනීම අපහසු වේ. ඔබ ආත්මය, සත්ත්වයා, පුද්ගලයා, මම කියා සිතුවාට එවැන්නක් සැබෑවටම නැත. ඒ ගැන සොයාගෙන යන ඔබට හමු වන්නේ හේතූන්ගෙන් හට ගන්නා ධර්මතා සමුදායක් පමණී.

 

කර්මය කියන්නේ නාම රූප ධර්මවල, චේතනාවත් සමඟ ධර්මතා විසි දෙකක්. එය තේරුම් ගත් පසුව, ඉතාමත් නිරවුල්ව මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබා ගත හැකි ය.

 

කර්මය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. ඒ කුසල කර්ම සහ අකුසල කර්ම ලෙසයි. කුසලය නරක ,අයහපත්, පාප ගති නසන ධර්මය වේ. මේ කුසලයම කුසල කර්මය වන අතර එයින් ලබා දෙන විපාකය යහපත් සැප විපාකයි.

 

අකුසලය නරක, අයහපත්, පාප ගති ඇති කරන ධර්මය වේ. අකුසලය අකුසල කර්ම වන අතර එයින් නොයෙකුත් දුක් විපාක ඇති කරයි.

 

කර්මය කියන්නේ ඉතා විශාල මාතෘකාවකි. ඒ ගැන වෙනම සොයා බලා දැන ඉගෙන ගත යුතු ය.

ආර්ථික ශක්තියක් තියෙන මිනිසුන් මහා විශාල වියදමක් දරමින් විශාල වශයෙන් පින්කම් සිදු කරයි.

ස්වාමින් වහන්සේලා දෙතුන් සිය නමක් වඩමවමින් සාංඝික දාන, මල් දහස් ගණනින් පූජා කිරීම්, අටපිරිකර, කුටි පූජා, පන්සල් සාදා පූජා කිරීම ආදී මහා පරිමාණයේ පින්කම් සිදු කරයි.

 

සමහර පින්වතුනට ආර්ථික ශක්තියක් නැත. නමුත් ඔවුන් තමන්ගේ දුප්පත් වත්කම්වල හැටියට, පින්වත් ස්වාමීන් වහන්සේ නමක් නිවෙසට වඩම්මවා කළ හැකි උපරිමයෙන් දන් දෙයි. ගෙවත්තෙන් මල් කඩා බුදුරජාණන් වහන්සේට, චෛත්‍යයට, බෝධියට පූජා කරයි. තමන්ට ශක්තිය නැතත්, කරන අයට තමන්ගේ දහඩිය මහන්සිය යොදවමින් උදව් උපකාර කරයි. අවශ්‍ය කළමනා සකස් කර දෙයි.

 

කර්ම සකස් වීමේදී පින්කමට කරන වියදමවත්, එයට ලැබෙන ප්‍රචාරයවත්, එහි විශාලත්වය අනුවවත් කර්ම විපාකය සැකසෙන්නේ නැත. කර්ම විපාකය සැකසෙන්නේ ඒ ඒ අයගේ චිත්ත සන්තතිවල පවතින කුසල ධර්ම හෝ අකුසල ධර්ම අනුවයි. ඔහුට හෝ ඇයට ඇතිවන කුසල් සිත් සහ අකුසල සිත් අනුව කර්මය සකස් වේ.

 

කෙනෙක් වර්තමානයේ පොහොසත්ව සිටින්නේ පෙර සංසාරයේදී පොහොසත් වීම උදෙසා කරගෙන තිබෙන පින්කම් නිසාය. කෙනෙක් වර්තමානයේ දුප්පත්ව සිටින්නේ පෙර සංසාරයේදී පොහොසත් වීම උදෙසා අවශ්‍ය වන කුසල කර්ම කර ගෙන නැති නිසා ය.

 

එක් දිනක් පසේනදී කොසොල් මහ රජතුමාගේ අග බිසව මල්ලිකා දේවිය බුදු රජාණන් වහන්සේ වෙත පැමිණ

 

1. ස්වාමීනි! මේ ලෝකයේ සමහර කාන්තාවන් කැතයි. ඒ වගේම දුප්පත්. එයට හේතුව කුමක්ද?

2. සමහර කාන්තාවන් කැතයි. නමුත් බොහෝම ධනවත්. එයට හේතුව කුමක්ද?

3. සමහර කාන්තාවන් බොහෝම ලස්සනයි. නමුත් දුප්පත් එයට හේතුව කුමක්ද?

4. සමහර කාන්තාවක් බොහෝම ලස්සනයි. බොහෝම ධනවත් එයට හේතුව කුමක්ද?

 

මේ මොහොතේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ,

“මල්ලිකාවෙනි, ඇතැම් කාන්තාවක් කිපෙනසුලු නම්, ගැටෙයි නම්, කෝපයෙන්, තරහයෙන් සිටී නම්, ඉරිසියා කරයි නම්, ඇය මිය ගිය උපදිද්දී කැත විරූපී අවලක්ෂණ තැනැත්තියක් වන බවත්,”

 

“ඇතැම් කාන්තාවක් මහණ බමුණන්ට දුගී දුප්පතුන්ට දානය, ආහාරපාන, ඇඳුම් පැලඳුම් ආදිය දෙන්නේ නැතිනම් ඇය දුප්පත් තැනැත්තියක් වන බවත් දේශනා කළ සේක.

 

නොගැටෙන මෛත්‍රීයෙන් පිරුණු තැනැත්තිය ලස්සන රූමත් තැනැත්තියක් වන බවත්, දානය, වස්ත්‍රාභරණාදිය පරිත්‍යාග කරන නොමසුරු තැනැත්තිය මහා ධනවතියක් වන බවත් දේශනා කළ සේක. ඒ අනුව

 

1. මේ ලෝකයේ සමහර කාන්තාවන් කැත, දුප්පත් වන්නට හේතුව කේන්ති ගන්නා මසුරු තැන්තියක් වීමත්,

2. සමහර කාන්තාවක් කැත, බොහෝම ධනවත් වන්නට හේතුව කේන්ති ගන්නා නමුත් දන් දෙන තැනැත්තියක් වීමත්,

 

3. සමහර කාන්තාවක් බොහෝම ලස්සන, නමුත් දුප්පත් වීමට හේතුව කේන්ති ගන්නේ නැති නමුත් දන් නොදුන් තැනැත්තියක් වීමත්,

 

4. සමහර කාන්තාවන් බොහෝම ලස්සන, බොහෝම ධනවත් වීමට හේතුව කේන්ති නොගන්නා, දන් දුන් තැනැත්තියක් බවත් දේශනා කළ සේක.

 

(මල්ලිකා සූත්‍රය, අංගුත්තර නිකාය)

 

බුදුරජාණන් වහන්සේ මේ කිසිම තැනකදී දන්දීම ආදියට, ධනය වියදම් කිරීමේ සීමාවක් ගැන දේශනා කළේ නැත. දේශනා කළේ චිත්ත සන්තතියේ පවතින කුසලයන්ගේ අඩු වැඩිකමේ සීමාවයි.

බොහෝ ධනවත් මිනිසුන් කොපමණ මුදල් වියදම් කළත් ඔහුගේ චිත්ත සන්තතිය කුසලයන්ගෙන් දුර්වල නම් එහි ආනිශංස දුර්වල වේ.

 

බොහෝ දුප්පත් මිනිසුන් කොතරම් දුප්පත් වුවත් ඔවුන්ගේ චිත්ත සන්තතිය කුසල ධර්මයන්ගෙන් පොහොසත් නම් එහි ආනිසංස බලවත් වේ.

 

පින්කමක දුප්පත් පොහොසත්කම මනින මිනුම් දණ්ඩ වන්නේ වියදම් කරන ප්‍රමාණය හෝ පෙනෙන්නට තිබෙන වත්කමේ ස්වභාවය නොවේ. ඒ ඒ පින්කම් කරන අයගේ චිත්ත සන්තතිවල පවතින කුසල හෝ අකුසල ධර්ම ස්වභාවය යි.

 

තෙරුවන් සරණයි.

 

අනුශාසනාව

පූජ්‍ය, තපෝවනයේ

රතන ස්වාමින් වහන්සේ.

රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණඩිත,

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය,

රත්නපුර.