සුව නොවන රෝගී තත්ත්වයක් ඇත්නම් ධර්මය පිහිට කර ගන්න

පෙබරවාරි 14, 2022

 

මෙතරම් වසංගතයක් රට පුරා පැතිරී යන මොහොතක එම උවදුරට ගොදුරු නොවූ ජනතාවක් ද සිටිනවා. ⁣ වසංගතයට හසුවුවත් අසනීප තත්ත්වය උත්සන්න නොවී ඉක්මනින්ම හොඳවන මිනිසුන් ද සිටිනවා. එමෙන්ම අවාසනාවන්ත ලෙස මිය යන මිනිසුන් ද සිටිනවා. මේ හැමදේම සිදුවන්නේ ඔබ සංසාරය පුරා රැගෙන ආ කර්මයේ ප්‍රතිඵලයකට අනුවයි.

ඔබ පෙර සංසාරයේ සිදුකරන ලද බලවත් අකුසල් සමහර විට දන් පින්කම් සිදුකළා කියා යටපත් කිරිමට නොහැකි විය හැකියි.

නමුත් ඇතැම් පින්කම් තුළින් ඔබට සමහර ලෙඩරෝග සුව කරගැනීමට හැකියාවක් පවතින බව ධර්මය තුළ සඳහන් වෙනවා.

යමකුගේ ඇස් පෙනීමේ යම් දුර්වලභාවයක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම පහන් පූජා කිරීම තුළින් එම ඇස් පෙනීමට අදාළව කුසල් සංස්කාර රැස්වීමෙන් ඊට අදාළ පින සකස්වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

දෙවැනි කාරණය ලෙස තථාගතයන් වහන්සේ දේශනා කරනවා සිල්වතුන් දැකීම තමන්ගේ ඇස් පෙනීම යහපත් වීමට හේතුවක් කියලා. නිරතුරුවම සිල්වතුන්ගේ දැක්ම තමන්ගේ ඇස් පෙනීම ශක්තිමත් වීමට එක හේතුවක් බව එම දේශනාවේ සඳහන් වෙනවා.

 

ඒ නිසා වර්තමානයේ ඇස් දුර්වලතාවයන් ඉතා වැඩි නම් සිල්වතුන්ගේ අඩුබවක් ඇති බව ඔබ දැනගත යුතුයි. මේ නිසා නිරතුරුවම ඔබ දක්ෂ විය යුතුයි ඔබ සිල්වතෙක් වෙලා අනුන්ගේ ඇස් පෙනීම වර්ධනය කිරීමට උපකාර වන්න.

ඔබ සිල්වතෙක් වුණොත් ඒ සිල්වත්බව තුළ ඔබ ඊට අදාළ කුසල් සංස්කාර රැස්කරනවා වගේම ඇස් දුර්වල අයට ඇස් පෙනීම ලබාගැනීමට අදාළ සහයෝගයත් ලබා දුන් කෙනෙක් බවට පත්වෙනවා.

 

ඒ වාගේම නිරතුරුවම ඔබේ ඇස්වල දුර්වලභාවය පවතී නම් බුදුන් වහන්සේ දේශනා කළ පරිදි පහන් අාලෝක පුජාකරන්න. එය ඇස් පෙනීමට උපකාර වේ. ඒ වගේම තවත් කෙනකුට කණ්ණාඩි පූජාකිරීම, ඇස්වලට අදාළ බෙහෙත් හේත් පූජා කිරීම, සිල්වතුන් දැකීම වැනි කාරණා හරහා අපට යම් බලවත් අකුසල් තිබෙනවානම් ඒවා යටපත් කරගත හැකියි. හොඳම දේ තමා නොපෙනෙන ඇස් දෙක කමටහනක් කරගෙන මේ ඇසේ අනිත්‍යබව දැක, මේ ඇස නිසා මට දුකක් පමණයි ඇතිවෙන්නේ. එම නිසා මේ ඇස ඉපදුණේ නාම රූප ඉපදුණ නිසා, නාම රූප ඉපදුණේ කුමක් නිසාද විඤ්ඤාණය ඉපදුණු නිසා, විඤ්ඤාණය ඉපදුණේ කුමක් නිසාද සංස්කාරයන් ඉපදුණ නිසා, සංස්කාරයන් ඉපදුණේ කුමක් නිසාද අවිද්‍යාව නිසා, අවිද්‍යාව සකස් වුණේ චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා කියන තැන සිටන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත් වෙන්න.

 

අකුසල කර්මවල බලපෑම නිසා හටගත් රෝගයක් පිළිබඳ විස්තර වන අතීත කතාවක් තිබෙනවා. එනම් අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ නැගණියක් පිළිබඳවයි. ඒ නැගණියගේ ශරීරයේ කුෂ්ඨයක් තිබුණා. දවසක් අනුරුද්ධ මහ රහතන් වහන්සේ නිවෙසට දානයක් සඳහා වැඩම කළ අවස්ථාවේ සියලුම ඥාතීන් ඇවිත් හිටියත් මේ නැගණිය ඇවිත් හිටියේ නැහැ. එවිට අනුරුද්ධ මහ රහතන් වහන්සේ සිය මවගෙන් නැගණිය පිළිබඳ විමසූ අවස්ථාවේ ඇයට බලවත් චර්ම රෝගයක් හටගෙන ඇති බවත්, ඒ නිසා නැගණිය නිවෙසින් පිටතට නොපැමිණෙන බවත් දැනගන්නට ලැබෙනවා.

 

අනුරුද්ධ මහ රහතන් වහන්සේ නැගණියට පැමිණෙන ලෙස මවට පවසන අතර උන්වහන්සේ දිවැසින් දකිනවා මෙයට බලපෑ අකුසල් සංස්කාරය කුමක්දැයි කියා. එය වටහාගත් උන්වහන්සේ නංගීට පවසනවා " ඔබගේ සියලු රත්තරන් බඩු විකුණන්න. විකුණා ලබාගන්නා මුදලින් දාන ශාලාවක් හදලා පුජා කරන්න. එවිට ඔබේ ඔය අකුසලය යටපත් වෙයි " කියා පවසනවා. ඉතින් නැගණිය ඒ උපදෙස් පරිදි දාන ශාලාව සකසා පුජා කළ පසුව ඇත්තටම ඒ චර්ම රෝගය අතුරුදන් වී යනවා. අපට මේ කාරණාව සම්බන්ධයෙන් සැඟවුණ දෙයක් දැකිය හැකියි. මොකද මේක රහතන් වහන්සේ කෙනෙක් පවසන දෙයක්. රහතන් වහන්සේ කිව්වට අපි එළිපිටින් ගන්නේ දාන ශාලාවක් සාදා පූජා කළාම අසනීප තත්ත්වය හොඳවෙනවා කියලා. නමුත් දාන ශාලාව පූජා කළාට වඩා බලවත් දෙයක් මෙතැන සැඟවිලා තියෙනවා. මොකක්ද ඒ සැඟවිලා තියෙන්නේ අතහැරීම කියන ශක්තියයි.

 

මොකද අනුරුද්ධ මහ රහතන් වහන්සේ පවසන්නේ ඔබේ රත්තරන් බඩු විකුණලා මේක හදන්න ඕනෙ කියලයි. සාමාන්‍යයෙන් කාන්තාව කියන්නේ රත්තරන් ආභරණවලට ප්‍රියකරන අය. ඒ අයට තමන් කැමැතිම දේ අතහැරීම පහසු නෑ. මෙයින් සිදුවූයේ තෘෂ්ණාව අතහැරීම තුළින් තමයි ලෝකයේ ශ්‍රේෂ්ඨතම කුසලය මතු කරලා ගන්නෙ. එම නිසා රහතන් වහන්සේ මේ කාරණයේ දී උපක්‍රමයක් ලෙස ඇයට කීවේ එයා වැඩියෙන්ම කැමැති දේ විකුණන්න කියලයි. එවිටයි නියම අතහැරිමට අදාළ කුසලය බලවත් වෙන්නෙ.

 

එම නිසා නිරතුරුව හිතට ගන්න. තමන්ට බලපාන කර්ම රෝගයක් තියෙනවනම් අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ උපක්‍රමය හරිම වටිනවා. එතැනදි ඔබ දක්ෂ වෙන්න ඔබ වඩාත්ම කැමැති දේ විකුණන්න. විකුණලා ඒ ලැබෙන දෙයින් සංඝයා අරමුණු කරගෙන ඒ දේ කරන්න. එතකොට අත්හැරීමේ ශක්තිය තුළින් සකස්වෙන්නා වු කුසලයෙන් අතීත අකුසල් සියල්ලම පරදවයි. නමුත් සියලුදෙනාටම මේක බලනොපාන්නත් පුළුවන්.

 

ඔබගේ අතීත අකුසල් බලවත් බවෙන් යුක්ත නම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන්. නමුත් ඔබ වීර්යය ගන්න අවශ්‍යයි ඒ තුළ නොගැටී ලැබුණු ජීවිතය තව තව කුසලයන්ගෙන් ශක්තිමත් කරගන්න.

 

එම නිසා රෝගී බව තුළ ඉන්න කෙනා හැම වේලාවේම තෙරුවන් උදෙසා බෝධි පූජා පවත්වා, අපමණ පින්කම් කරලා කුසල් රැස් කරගන්න. ඒවායිනුත් තමන්ට රෝගීබවට අදාළව කුසල් මතු නොවේනම් එයා දකින්න ඕනෙ මම මෙච්චර කාලයක් කළා වූ මේ පින්කම් නිසයි මගේ ජීවිතය රැකිලා තියෙන්නෙ. මේ පින්කම් නොකළා නම් මේ වනවිට මිය ගිහින් කියා.

ඒක තමයි ශ්‍රද්ධාවේ ලක්ෂණය. ශ්‍රද්ධාව සකස්කරගත් කෙනා එයාගේ රුපියල් දාහක් නැතිවුණොත් එයා හිතන්නෙ මගේ රුපියල් දාහක් නැතිවුණේ ශ්‍රද්ධාව නිසායි. ශ්‍රද්ධාව නැත්නම් මගේ රුපියල් ලක්ෂයක් නැතිවෙන්න තිබ්බා කියා. වැටිලා කෙනකුගෙ කකුල කැඩුණානම් එයා මොකද්ද හිතන්නේ මම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නිසයි මගේ කකුල කැඩුණේ ශ්‍රද්ධාවෙන් දුර්වල නම් මගේ කොන්ද කැඩෙන්න තිබුණා කියා.

කොන්ද කැඩුණු කෙනා කල්පනා කරනවා. අනේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව නිසායි මගේ කොන්ද කැඩුණේ නැත්නම් මගේ ජීවිතයම නැතිවෙන්න තිබුණා කියා.

ඒ නිසා රෝගී බවට පත්ව ඉන්න කෙනා තමන්ගේ ජීවිතය ගැන හිතන්න. මේ ජීවිතය තමන්ගේ රෝගාබාධ තව තව වැඩිවෙලා බරපතළ තැනකට එනවායි කියන තැන හිතලා එතෙන්ට ආවොත් මුකුත්ම කරගන්න හම්බවෙන්නෙ නැහැ. ඔබට කුමන රෝගාබාධයක් ඇති වුණත් ඔබේ සිත ශක්තිමත් කරගන්න.

ලැබුණු ජීවිතයට මුහුණ දෙන්න. ඒ ලැබුණු ජීවිතය කුසලයෙන් ශක්තිමත් කරගන්න.

ඒ නිසා මේ මොහොතේ ඉඳලා කුසල් වගේම පින ශක්තිමත් කරගන්න. එය ඔබේ ජීවිතය නිවැරැදි තැනකට ඔසවා තබාවි.

 

අනුශාසනාව

පූජ්‍ය, රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.