පංචසීල ප්‍රතිපදාවට අනුගතව ජීවත් වන්නේ නම් ඔබ මිල කළ නොහැකි මැණිකකි

පඬුවස්නුවර ධම්මා සංඝමිත්තා මෙහෙණින් වහන්සේ
මැයි 16, 2022

 

 

අද සමාජයේ වැඩිපුරම දකින්නට සහ අසන්නට ලැබෙන්නේ සිත කළඹන දේවල්ය. එහෙයින් සමාජයට වැඩියෙන්ම අවශ්‍ය සිත නිවන කතාය. යහපත් දෙය කිරීමෙන් දෙලොව සුව සෙත සෑදෙන අයුරුත් අයහපත් දෙය කිරීමෙන් පුද්ගලයා පිරිහෙන අයුරුත් දිනෙන් දින සිහි කැඳවීම කාලීන අවශ්‍යතාවක් වී ඇත.

 

තරගකාරී කාර්යබහුල මේ සංකීර්ණ සමාජයෙහි බොහෝ දෙනාට කායික, මානසික විවේක සුවය, සැනසුම අඩුය. විවේකයක් ලද ද එය අර්ථවත් ලෙස ගත කිරීමට සුදුසු පරිසරයක් හා සම්පත්වල ඌනතාවයක් ද දක්නට ලැබේ. දින දින පුද්ගලයාත් පුද්ගල සමාජයත් පරිහානි ප්‍රපාතයට ඇදී යමින් සිටී. මින් වළකා ගැනීමට අවශ්‍ය ප්‍රතිකර්ම වහා වහා යෙදිය යුතුව ඇත.

තරුණී සදහම් සෙවණ දහම් විශේෂාංගය ඔස්සේ අද පටන් ඇරැඹෙන මේ ලිපි මාලාව හුදෙක් ඔබේ දුර්වලකම් මඟරවා ගනිමින් යහගුණ වැඩිකර ආදර්ශවත් දිවි පෙවෙතක් ගත කිරීමට අත්වැලක් වනු නියතය.

සදාචාර සංවර්ධනයටත් මිනිස් ජීවිතයේ හා ක්‍රියාකාරකම්වල අපූර්වත්වය විචිත්‍රව ඉදිරිපත් කිරීමටත් මේ දහම් පණිවුඩය ඔබට දේශනා කරනුයේ පඬුවස්නුවර ධම්මා සංඝමිත්තා මෙහෙණින් වහන්සේය.

උන්වහන්සේ 1982 වසරේදී ශ්‍රී සම්බුද්ධ ශාසනයට ඇතුළත්ව පැවිදි දිවියට එළැඹ තිබේ. කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙන් මූලික අධ්‍යාපන හදාරා ප්‍රාචීන පාරම්භය, ප්‍රාචීන මධ්‍යම විභාග පාලි, සංස්කෘත, සිංහල විෂයයන් ඇතුළත්ව සමත් ව තිබේ. අනතුරුව කැලණිය විශ්ව විද්‍යාලයෙන් සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධියත් එම විශ්ව විද්‍යාලයෙන්ම ශාස්ත්‍රපති උපාධියත් ලබා ගන්නා ලදී. තමන් වහන්සේ ඉගෙන ගන්නා අතරතුරම කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ ස්වෙච්ඡා ගුරුවරියක ලෙස කටයුතු කර තිබේ.

අනතුරුව පළමු පත්වීම ලෙස කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ආචාර්යවරියක ලෙස වසර 18ක් දරුවන්ට ගුරුහරුකම් ලබාදෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන මනෝවිද්‍යා උපදේශන ආචාර්ය උපාධිය නිමකරවා බෞද්ධ මනෝ උපදේශකවරියක ලෙස ද කටයුතු කරති.

මේ වන විට කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විද්‍යාලයේ දරුවන්ට ගුරුහරුකම් ලබා දෙන උන්වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උපන් භූමි පරිශ්‍රය වූ බුද්ධගයාව ස්පර්ශ කර ගනිමින් නිරතුරුවම බණ භාවනාවල නිරතවෙමින් දැයේ සුවහසක් කාන්තා ඔබ වෙනුවෙන් මෙලෙස තරුණී හා එක්ව ධර්මදානමය පිංකමෙහි නිරත වේ.

මෙහෙණින් වහන්ස, ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ තෙමඟුල සිදු වූ වෙසක් පෝය කාන්තා අපට බෙහෙවින් වැදගත් නේද? එනම් උන්වහන්සේට බුද්ධත්වයට පත්වීමට පාරමිතා පිරීමට මහාමායාවත්, මහා ප්‍රජාපතිය සහ යශෝදරාවත් ආත්ම ගණනක් ආත්ම පරිත්‍යාග පවා සිදු කළා. වත්මන් යුගයේ කාන්තාවනට මේ වෙසඟේ ඒ අයුරින් දිය හැකි යම් පණිවුඩයක් තිබේද?

ඔව්. බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුදු බව අවබෝධ කරගැනීමට පාරමිතාව පිරූ බව අපි දනිමු. විවිධ බාධක, කරදර පැමිණියත් බෝධිසතුන් ඒවායින් අධෛර්යමත් නොවූහ. වීර්යම පෙරදැරි කරගෙන අදහස ඉටුවනතෙක්ම ගමන් කළහ.

සංසාර ගමනේ ඒ ඒ භවයන්හිදී මහා මායාවත්, ප්‍රජාපතියත්, යශෝදරාවත් බෝසත් ආත්මයට නොපැකිළිව ශක්තිය ලබා දුන් අවස්ථා එමටයි. ආත්මයෙන් ආත්මය ගරු බුහුමන් දක්වමින් බුදු බව පතා සසරේ සැරිසරන තම ස්වාමියා වෙනුවෙන් යශෝදරාව නම් වූ ඇය පෑව සෙනෙහස අපරිමිතයි. ගිහි ගෙය හැර යන ඇසළ පුන් පෝදා රාත්‍රියේ ඇය සිරියහනේ නිදි සේ උන්නේ උන්වහන්සේගේ ගමනට ආශිර්වාදයක් වෙමිනි. වත්මන් දියණියන් තම පෙම්වතා, සැමියා තමන් අත්හැර දැමුවේ නම් ඔහුට දෙස් දෙවොල් දී ජීවිත හානි කිරීමට ද පවරයි. යශෝදරාව එසේ වූයේ නැත.

ඇය සියල්ල දෙස මැනවින් අවබෝධාත්මකව බැලූහ. ඇය සිය සැමියාට

 

ආශිර්වාද කළාය. ඔහු පතන බෝධිය ලැබීමට පැතුවාය.

වර්තමාන සමාජ කාන්තාව දෙස බලන්න. ඇය අල්ලපු ගෙදර හා තරග කරයි. සැමියා උපයන දේ නිවැරැදිව පරිශීලනය කරන්නේ කෙසේදැයි නොදනී. සැමියා උපයන දේ ආරක්ෂා කරගෙන නැති නාස්ති නොකරන්නට තරම් ගැහැනියකගේ නුවණ ඇති විය යුතුයි. නිවෙසේ අය වැය සැකසීම ඇය සකසුරුවම් වීම අනිවාර්යය.

වත්මන් කාන්තාව තුළ ඉවසීම ඇත්තේම නැත. දරාගැනීම කොහෙත්ම නැත. හඹායන ලෝකයක ඇය අතරමං වී ඇත. දරුවන්ට වුව අසීමාන්තික තරගකාරීත්වය හුරුකර තිබේ. එබැවින් සොබාදහම පවා කම්පා වී ඇති බවයි පෙනී යන්නේ. ජීවිතේ බොහොම සරලව, ආදරණීයව අවබෝධයෙන් ගෙන යන්නේ නම් යහපත් මානසික සුවයකින් ද දිවිය ගත කළ හැකියි. එතැනදී සැමියා, බිරිය සහ දූ දරුවන් පිරි පවුල ආදරණීයයි. ආරක්ෂිතයි.

අපි ලෝකය ගැන බොහොම සංකීර්ණව හිතනවා. එහෙත් ගවේෂණය කළ යුත්තේ අපේ හිතයි. යථාර්ථය අවබෝධ කරගෙන මේ වෙසඟේ එක පොල්තෙල් පහනක් හෝ පත්තුකර නිවෙස ආලෝක කරන්නට ආදරණීය යශෝදරාවක් වන්නට හිතට ගන්න.

පින්වත් මෙහෙණින් වහන්ස සාර්ථක පවුල් ජීවිතයකට බුදු සමයෙන් උපදෙස් ලැබෙන අන්දම වදාරනු මැනවි.

පින්වත් දියණිවරුනි, සාර්ථක පවුල් ජීවිතයක අගය අමිලය. ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කරන මිනිසා ලබන සතුට හුදකලා ජීවිතයක් ගත කරන පණ්ඩිතයා ලබන සතුටට වඩා දස දහස් ගුණයෙන් විශාලය. මෙලෙසින් දේශනා කළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී බිරියක විසින් කරුණු පසෙකින් සැමියාට සංග්‍රහ කළ යුතු බව කියැවෙයි.

 

1. නිසි වේලාවට හොඳින් ආහාර පාන සකසා සංග්‍රහ කිරීම.

2. ඔහුගේ නෑ හිත මිතුරන් පැමිණි විට හොඳින් සංග්‍රහ කිරීම.

3. අන් පුරුෂයන් පිළිබඳ සිත් ඇතිකර නොගැනීම.

4. සපයන ධනය නාස්ති නොකර අරපිරිමැස්මෙන් සකසුරුවම් කරමින් විය පැහැදම් කරමින් ආරක්ෂා කිරීම.

5. කුදු මහත් සෑම කටයුත්තකදීම දක්ෂව, නොමැළිව, අලසකම අත්හැර කිරීම.

 

ලොව නන් ආකාර යහපත් අයහපත් බිරියන්, ගෘහණියන් ජීවත් වන හෙයින් ස්ත්‍රීන්ට යහපත්ව වෙසෙන අයුරු විවිධ අවස්ථාවල බුදු දහමේ කියැවේ. යහපත් බිරිය විසින් තම සැමියාට අවංකව ආදරය කළ යුතුය. බුද්ධ දේශනයට අනුව වධක, චෞරි, ආර්ය, මාතෘ, භගිනි, සඛී, දාසි යන සප්ත විධ භාර්යාවන් වේ.

මොවුන් අතරින් මාතෘ, භගිනි, සඛී, කාසි, භාර්යාවෝ ආචාරශීලයෙන් හා පති පූජාවෙන් යෙදුණ වූ ගුණ බලයෙන් යුක්තයි.

සත් වැදෑරුම් භාර්යාවන් අතුරෙන් මාතු සම භාර්යාව ශ්‍රේෂ්ඨතම බව පෙනේ. බිම්බිසාර රජු සිරගයක ලා කෑම නොදී මරවන්නට අජාසත් කළ ප්‍රයත්නයේ දී සිය සැමියා වෙනුවෙන් වාසව් දේවිය ක්‍රියා කළේ මවක් දරුවකුට සලකන්නාක් මෙන් ප්‍රේමණීය සෙනෙහෙබර ආදරයෙනි. සැබෑ මාතුසම භාර්යාවක් ලෙස ශ්‍රේෂ්ඨ ගුණ ඕ පෙන්නුවාය. භාර්යාවක් ලෙසින් කෙසේ කටයුතු කළ යුතුදැයි ඇයගේ චරිතයෙන් ඔබට ආදර්ශයක් ගත හැකිය.

ගැහැනු දරුවකු බුදු දහමට අනුව තම ඇවතුම් පැවතුම් ගති පුරුදු ඇතිකර ගත යුත්තේ කෙසේද?

මිනිස් ජීවිතය පුරුදු ගුලකි. කුඩා කල පටන් ලබාගත් ආදර්ශයන්, උරාගන්නා සාරධර්ම හා ප්‍රතිමානයන් යටිසිත තුළ ඉතා තියුණු ලෙස අවබෝධය වේ. එම අවබෝධයෙන් පසු කාලීන ජීවිතය මෙහෙයවන මෙවලම් බවට පත් වෙයි. දරුවන් යහපත් දරුවන් බවට පත්කිරීමට නම් ඉතා යහපත් පරිසරයක් තුළ ආදර්ශ සැපයීම සිදුකළ යුතුය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද පංචශීල ප්‍රතිපදාව මෙතැනදී වැදගත් වෙයි. ගැහැනු දරුවකු තම ජීවිතය පංචශීල ප්‍රතිපදාවට අනුව ගෙන යන්නේ නම් ඇයට ඉතාම යහපත්ව වාසය කළ හැකියි. මෙයින් බැහැර වු කල ඇයට හෝ ඕනෑම අයකුට සිදුවන්නේ පරිහානියයි.

ගැහැනු දරුවකුට පමණක්ම නොව පිරිමි දරුවාට ද එක සේ මේ පංචසීලය වටී. පංචසීලයට අනුගත වී කටයුතු කරන ඇයට හෝ ඔහුට බොහෝ දුර ගමනක් යා හැකියි. මෙයින් බැහැර වූ කල ජීවිතය අයාලේ යයි. අද දවස වන විට මව්පියන් රවට්ටන්න දරුවන් බොරු කියන්නට පෙළබෙනවා. ඒ වගේමයි අන්තර් පුද්ගල සම්බන්ධතා නිසා බොහෝ තරුණ දියණියන්ගේ ජීවිත විනාශ වී තිබේ. එහෙයින් ජීවත්වීමේ කලාව දැනගෙන සිටීම වැදගත්. අපි කතාවට කියනවා සීල් ගහපු මුද්දරේ අවලංගුයි කියලා. ගැහැනු දරුවකු තම ජීවිතයේ වටිනාකම දැනගෙන සිටිය යුතුයි. නොඑසේ නම් සීල් වැදුණ මුද්දරයක් සේ ජීවිතය නිස්කාරණේ අවලංගු කාසියකට සම වනු ඇත.

පංචසීලය දිවිහිමියෙන් සුරකින ඇය තම සීමාව දනී. එවිට ඇය ඕනෑම තැනකදී ඕනෑම වෙලාවකදී සුරක්ෂිතයි. පංචසීලය අභිබවා ගිය තැන ඇය අනාරක්ෂිතයි. දියණිවරුනි ඔබ ඔබේ සීමාව හොඳින් හඳුනාගෙත යුතුයි. ඒ ඒ කාලයට කළ යුත්ත පමණක් සිදු කරන්න.

ඉගෙන ගන්නා කාලයේ ඒ සඳහා පමණක් කාලය වැය කරන්න. අන්තර්ජාලය හමුවේදී අධ්‍යාපනයට අදාළ දේවල් පමණක් සිදු කළ යුතුයි. මව ප්‍රධාන කොට ගෙන ආගමට දහමට දියණිය යොමු කළ යුතුයි. 'අසේවනාච බාලානං' බාලයන් ඇසුරු කිරීමට කිසිසේත් ඉඩ තියන්නට එපා. එසේම කාලයට අදාළ දේ පමණක් සිදු කරන්න. ඉගෙන ගන්න කාලයේ ඉගෙන ගන්න. දෙවැනි පියවර ලෙස රැකියාවකට යොමුවන්න. තමන් ස්ථාවර වූ කල විවාහය ගැන සිතන්න. මෙය ගැහැනු දරුවාට තම ජීවිතය අපූරුවට බෙදා ගත හැකි ත්‍රිත්ව කාල සීමාවකි.

2566 වැනි බුද්ධ ජයන්තිය සමරන මේ මොහොතේ පටන්ම බුදු දහමට අනුව කටයුතු කරන බවත් තරයේ සිහියට ගන්න. කායික මානසික සැනසිල්ල ඔබ වටා හිඳියි.

මනාව සිහිය පාලනය කර ගැනීමත්, කරන ක්‍රියාවන් ධර්මයට බර පිරිසුදු ක්‍රියාවන් වීමටත් සැලකිලිමත් වන්න. ඒවා විමසුම් නුවණින් ක්‍රියාත්මක කිරීමෙන් තම දිවි මග සාර්ථක වීමට හේතු වන බව මේ බුද්ධ ජයන්තියෙහි දී කල්පනා කර ගන්න.

එලෙසම ගැහැනු දරුවකු ඉන්ද්‍රීය සංවරය සඳහා ද උත්සාහය අවශ්‍යය. අවිනීත සංකල්පනා අසංවරයට හේතුපාදක වෙයි. එබැවින් සුළු කරුණක් හෝ සිදු කිරීමට පෙර සිහිය එළවා බලන්න. ආවේගශීලී නොවීම, පවිටු මිතුරු ඇසුරෙන් මිදීම යන මේ කරුණු කාරණාත් මඟින් ආධ්‍යාත්මික සංවර්ධනය දියණියක මිණි කැටයක් කරනු ඇත.