අනිත්‍ය වූ සසරේ ස්වභාවය තේරුම් ගෙන ප්‍රතිපත්ති ගරුක වන්න

මැයි 30, 2022

 

බෞද්ධයන් වන අපි උදේ සවස මල් පහන් පුදා අපේ ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ නමදින්නෙමු. එසේම පුන් පොහොය දිනයේ දී පෙහෙවස් සමාදන් වන්නෙමු.

 

බුදු පියාණන්ගේ මහා කරුණාව ගැන අපි වර්ණනා මුඛයෙන් කතා කරන්නෙමු. එහෙත් අපගේ නිවෙස්වල සහ සමාජයේ එබඳු කරුණාවකට ඉඩ නැත. ඒ නිසාම උන්වහන්සේගේ පාරිශුද්ධ ගුණයක් වූ යථාවාදී තථාකාරි ගුණයෙන් අංශු මාත්‍රයක්වත් අනුගමනය කිරීමට බෞද්ධයන්ට වුවමනාවක් නැත්තේ ඇයි කියන්න ගැඹුරට සිතා බැලිය යුත්තකි.

බුදුරජාණන් වහන්සේට ගෞරව දක්වන්නේ සසර දුකින් බේරීමේ මඟ නොවරදින සේ අපට කියා දී ඇති නිසාය. භික්ෂූන්ට ද උන්වහන්සේ උපදෙස් දී වදාළේ මුල, මැද, අග හොඳට ගළපා අර්ථවත්ව හා පරිපුර්ණව දහම් දෙසන ලෙසයි. මේ සා හොඳින් කියා දී ඇති ධර්ම මාර්ගය පසෙකින් තිබිය දී සමහරෙක් එය දේශනා කළ බුදුපියාණන්ට සහ ධර්මයට වැඳ වැඳ සිටිමින් ඒවා එකකවත් අනුගමනය නොකොට තමනුත් ලෝකයාත් පීඩාවෙන් පීඩාවට පත් කරන ජීවන රටාවක් ගත කිරීම කණගාටුදායකය.

බුදුරජාණන් වහන්සේ රාහුල පුතුට දහම් මඟ කියා දුන්නා විනා ඔහු පුත්‍ර ස්නේහයෙන් තුරුලු කර ගන්නට ගියේ නැත. දේවදත්තට දහම් මඟ පෙන්වා දුන්නා විනා ඔහුගෙන් පළිගන්නට ගියේ නැත. නිඝණ්ඨනාථපුත්තට දහම් දෙසන්නට උන්වහන්සේ උත්සාහ නොකළේ කරුණාව නැති නිසා නොව එසේ කරන්නට යාමෙන් ඵලක් නොවන බව උන්වහන්සේ දත් නිසාය.

මහා කාරුණික බුදුපියාණන් වහන්සේට වඳින, පුදන ගරු කරන අප තුළ එබඳු මෛත්‍රියක ඡායාවක්වත් නො එන්නේ ඇයි? එසේ මෙත් හිත දියුණු කර ගෙන තිබේ නම් මිනිසුන් මරන්නට හෝ මරවන්නට හෝ ඊට උදව් දෙන්නට හෝ බෞද්ධ සිත් පෙලඹෙන්නේ නැත. සතුන් මරන්නේවත්, සතුන්ගේ මස්වලින් කුස පුරවා සත්ත්ව ඝාතනයට අනුබල දෙන්නේවත් නැත.

කරන දේ කියන, කියන දේ කරන අය ඇත්තේ අතලොස්සකි. මේ ගුණදහම, මේ ප්‍රතිපත්තිය මෙයාකාරයෙන් පිළිපැද්දොත් කියා අන් අයට උපදෙස් දෙන අය බොහෝ අය සතුව පිළිපැදීමට උපදෙස් දෙන අය සතුව ගුණ දහම් සහ ප්‍රතිපත්ති නැති බැව් වත්මන් සමාජය දෙස බැලීමෙන් පෙනීයයි. යා යුත්තේ යම් තැනකට ද එසේ ගිය, එසේ කළ, එසේ පැමිණි නිසා බුදුරජාණන් වහන්සේ තථාගත නම් වන සේක. එසේම යථාවාදී ගුණය ද උන්වහන්සේ සතු උත්තම ගුණයක්ම විය. එහෙත් උන්වහන්සේ අනුගමනය කරන බෞද්ධ අපි උන්වහන්සේගේ ගුණ අනුගමනය නොකොට කී දේ නොකරන, නොකරන දේම කියන පිරිසක් බවට පත්ව සිටිමු.

මුදල් රැස් කිරීමේ කාර්යයට පමණක් අති විශාල වැදගත්කමක් දෙන වර්තමාන සමාජ රටාව තුළ මිනිස් ගුණ දහම් පස්සට තල්ලු වී ඇත. සරල ජීවන රටාව වියැකී යමින් පවතී. ඇතැම් වැඩිහිටියෝ මේ සංකීර්ණ ජීවන රටාව හඹා යමින් අදැහැමි මඟට පිවිස සිටිති. සාටෝප ජීවිතයේ අංගයක්ව පවතින සම්භාෂණ සහ මත්පැන් පවුල් ජීවිත අවුල් කරමින් පෙරට අවුත් ඇත.

පසුගිය වෙසක් පෝ දින අපි බුද්ධ පූජාවක් වශයෙන් බෞද්ධ කොඩියක් එසවීමු. පහන් දැල්වූයෙමු. මල්, සුවඳ දුම්, ගිලන්පස, පැන් සහ ආහාර පූජා කළෙමු. සිල් රැක්කෙමු. බණ අැසුවෙමු. භාවනා කළෙමු. වෙසක් කූඩු සාදා පත්තු කළෙමු. එලෙසින්ම බුදු ගුණ එකක් හෝ අපේ දිවියට නතු කරගෙන ජීවිතය ගොඩනඟා ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු. වෙසක් පෝය බාහිර වශයෙන් මෙන්ම අභ්‍යන්තර වශයෙන් ද අර්ථවත් දවසක් බවට පත්කර ගත හැක්කේ ආමිස හා ප්‍රතිපත්ති පූජා හොඳින් හඳුනාගෙන ඒවාවල නිරතවීමෙනි.

සඳුන් අරටුව පොඩි කරන තරමට සුවඳවත්ය. ගැටලු, අභියෝග මතු වූ තරමට සුවඳවත් වු දීප්තිමත් වූ බුද්ධ චරිතය ජිවිතේ ගැහැටවලින් කලකිරී පලා යන්න සිතන අපට මහත් වූ ශක්තියකි. ආදර්ශයකි.

අද වන විට ශ්‍රී ලාංකික අප ආර්ථික මට්ටමෙන් අඩාල තත්ත්වයකට මුහුණ පා සිටින්නෙමු. ඒ හේතුවෙන්ම කායික, මානසික කඩා වැටීම් ද සිදු වී තිබේ. මේ මොන දේ වුවත් බොහොම ඉවසීමෙන් සියලු පාරිසරික තත්ත්වයන්, පවතින ජීවන රටාව තේරුම් ගෙන කටයුතු කිරීමට උත්සුක වන්න.

ඔබ අසන දකින දේට වඩා මේ සමාජය විෂමයි. එහෙයින් බුද්ධ දේශනයට සවන් දී බුදු දහම ඇසුරු කරමින් තම ජීවිතය යහමඟට යොමු කරවා ගන්න.

වෙසක් දින වියැළුණ බට කෝටුවලින් අටපට්ටමක් සාදා සව් කොළ අලවා ඒ මත පහනක් දැල්වූයේ මේ සසර තේරුම් ගැනීමටය. පොල් තෙල් පහන සුළඟට සෙලවී කූඩුව පිච්චී අළු වී ගියා සේ අනිත්‍ය වු සසරේ ස්වභාවය වටහා ගෙන ප්‍රතිප්තති ගරුක සමාජයක් ගොඩන්නට ඔබත් දායක වන්න.

 

අනුශාසනාව පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ