සුජාතා සිටුදුව ගිය අසිරිමත් මාවත

ජූලි 10, 2023

 

ලොව්තුරා සම්මා සම්බුද්ධ ශාසනය තුළ ඉතා ශ්‍රේෂ්ඨතර කාන්තා චරිත රාශියක් අපට දැකගත හැකිය. ඒ අතර සුජාතා සේනානී දියණිය ශ්‍රේෂ්ඨතර කාන්තා චරිතයකි.

ඇය උපත ලැබුවේ උරුවෙල් දනව්ව ආශ්‍රිත සේනානි නම් නියම් ගමේදී ය. සේනානි ගමෙහි ගම්පතියාගේ නමද සේනානි නම් වූයේය.

 

ධනවත් ප්‍රභූ පවුලක උපන් ඈ තුළ අනාගතය පිළිබඳව බොහෝ සිහින තිබුණාය. ධනයෙන් කුලයෙන් බලයෙන් සමාන පවුලකට සරණ යන්නටත් එහිදී ලබන දරුවා පුතෙකු වන්නටත් ඈ ප්‍රාර්ථනා කළාය.

ඒ යුගය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පහළ නොවූ යුගයයි. විවිධ ඇදහිලි විශ්වාස තුළින් සමාජය පිරී තිබූ යුගයයි. උරුවෙල් දනව්වෙහි මහා වනස්පති වෘක්ෂයක් තිබුණේය. දසත අතු පැතිර ගිය මහා ඝන වෘක්ෂයක් වූ එහි දේවතාවකු වසතැයි ප්‍රදේශවාසීන් විශ්වාස කළහ. සුජාතා ද එය බෙහෙවින් විශ්වාස කළ තැනැත්තියකි.

 

මහ නුග රුක වෙත ගිය ඇය ඒ අවට පිරිසිදු කොට පහන් දල්වා එහි වසන දෙවියන්ට යාදිනි කොට තම ප්‍රාර්ථනාව සිදු කළාය.

සමාන කුලයකට සරණ යන්නටත්, ලැබෙන පළමු දරුවා පුතෙකු වන්නටත් පතා, එය ඉටු වූ තැන පටන් පැන් නුමුසු ක්ෂීර පායාසයක් වසරක් පාසා පුදන්නට ඈ දෙවියන්ට පොරොන්දු වූවාය.

 

කල්යාමේදී ඇගේ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටුවිය. වසරක් පාසා ඈ සිදු කළ පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කරන්නට වූවාය.

ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය පිණිස දුෂ්කර ක්‍රියා සිදු කළ මහ බෝසතාණන් වහන්සේ එය වසර 6කට පසු අතහැර දැමු සේක. ඒ එම අත්ථකිළමථානු යෝගය නිරර්ථක ප්‍රතිපදාවක් බව අවබෝධ කොටගත් නිසාය.

 

ලොව්තුරා සම්බුදු අසිරියට මුළු ලෝකයම සූදානම් වෙමින් පවතිද්දී සුජාතා දේවිය උදෑසනින්ම අවදි වූවාය. ඇයට අවශ්‍ය වූයේ තමන්ගේ පැතුමන් ඉටු කර දුන් වෘක්ෂ දේවතාවාට අද වෙසක් පුර පසළොස්වක දිනයේ දී ද බාරය ඔප්පු කිරීමයි.

මෙම දේව පූජාවට අවශ්‍ය කිරි තමන්ගේ අතින්ම දොවා ගැනීමට ඈට අවශ්‍ය වූවාය. එබැවින් ඈ සේවිකාවන් නතර කොට තනිවම කිරි දෙවීම පිණිස පිටත් වූවාය. එදා දෙනුන්ගේ තනපුඩු කරා ළපටි වසු පැටවුන් පැමිණ තිබුණේ නැත. එසේම දෙනුන්ගේ තනපුඩුවලට භාජනය ළං කරද්දිම ඒ තනපුඩු වලින් ස්වභාවයෙන්ම කිරි වෑහෙන්නට විය. එය අන් කවරදාකවත් සිදු නොවූ මහා අසිරියකි.

 

ක්ෂීර පායාසය තනන මොහොතේදී ද පෙරමෙන් කිරි ඉතිරී ඉතිරී පිටතට වැගිර නොගියේය. මහත් පෙණ බුබුළු නැඟෙමිණ දක්ෂිණාවෘතව කරකැවෙමින් ක්ෂීර පායාසය ඉදෙන්නට විය.

මේ අසිරිමත් සිදුවීම් දුටු සුජාතා දේවිය තම සේවිකාවට පවසා සිටියේ අද වෘක්ෂ දේවතාවන් වහන්සේ අපට වඩාත් පැහැදී තිබේය යන්නයි. එසේ කියමින් ඈ සේවිකාව නුග රුක වෙත යැව්වේ නුගරුක අවට පවිත්‍ර කොට පිළියෙල කිරීමටයි.

 

නුග රුක අවට පිරිසිදු කිරීමට ඒ වෙත ගිය සේවිකාව නැවත වහවහා මාලිගාවට පැමිණ සුජාතාවන්ට කීවේ අසිරිමත් පුවතකි.

"ආර්යාවෙනි අද වෘක්ෂ දේවතාවා ගස මුල ජීවමාන ස්වරූපයෙන්ම වැඩ සිටිනවා. මම නෙත් දෙකෙන් ම දුටුවෙමි" යි ඈ ප්‍රකාශ කළාය.

 

එම ප්‍රකාශයෙන් වඩාත් විස්මයටත් කුතුහලයටත් සතුටටත් පත් වූ සුජාතා සිටු දියණිය එම ප්‍රකාශය සත්‍ය නම් සේවිකාව සේවක භාවයෙන් නිදහස් කරන්නට පොරොන්දු වූවාය.

ඉක්මනින්ම ක්ෂීර පායාසය සූදානම් කරගෙන රන් තලිතලියක දමාගත් ඈ නුග රුක වෙත ගමන් ගත්තේ අසීමිත කුතුහලයෙනි.

තුරු වදුලුවල සෑම තුරක්ම ලතාවක්ම පුෂ්පයන්ගෙන් අලංකාර වී තිබිණි. දිව්‍යමය සුගන්ධය දසත පැතිරී ගියේය. පරිසරයේ වූයේ අමුතුම සුවදායි බවකි. සියලු සංසාරික සත්ත්වයන් භවකතරින් එතෙර කරවීමට චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පිරූ මහ බෝසතාණන් වහන්සේ නුග රුක මුල ජීවමානව වැඩ සිටිනු දකින්නට ඈ පින් කර තිබුණාය.

 

උතුම් අධ්‍යාශ ඇති සසර පෙරුම් පිරූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබළන, ස්වර්ණවර්ණ ඡවි වර්ණයෙන් සෝභාමත් වූ බෝසතාණන් වහන්සේ දුටු ඇගේ සිත ඉතාමත් පහන් විය.

ලොව්තුරා සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරමින් වීර්යය වඩන සිද්ධාර්ථ තාපසතුමාණන් වහන්සේව මිනිසුන් අතර අවසන් වරට දුටු තැනැත්තිය වූයේ ඇය ය. එසේම සිද්ධාර්ථ තාපසතුමාට අවසන් වරට දන් බෙදුවේ ද එතුමියමය. ඒ මහ බෝසතාණන් වහන්සේ කෙලෙස් සහිතව වැළඳු අවසාන දානය විය.

 

"මාගේ ප්‍රාර්ථනාව ඉටු වූවාක් මෙන් ඔබ වහන්සේගේ ද සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා" යි ඈ ප්‍රාර්ථනා කළාය. ඉතාමත් සතුටින් වන්දනා කොට පිටව ගියාය.

 

එම පැන් නුමුසු කිරිබත පිඬු හතළිස් නවයක් කරමින් වැළැඳූ මහ බෝසතාණන් වහන්සේ එම රන් තලිය නේරංජනා නදියෙහි පාකර යවා බෝමැඩ කරා වැඩ, එදින අලුයම් කාලයේ දී දස මරසෙන් පරදවා, විශ්ව ධාතුවම ගුගුරුවා හරිමින් මුළු විශ්වයටම නිකෙලෙස් ශාන්තිය පතුරුවා හරිමින් සම්මා සම්බුද්ධත්වයට පැමිණ වදාළ සේක. අනතුරුව සත්සති ගතකොට පළමු ධර්ම දේශනාව ඉසිපතනයේදී පස්වග මහණුන් ඉදිරියේ සිදුකොට ඉන් අනතුරුව සුජාතා දේවියගේත්,ඇගේ සැමියාගේත්, පුතණුවන්ගේත්, ඔහුගේ බිරින්දෑගේත් පවතින හේතු සම්පත් දැක ඔවුන් කෙරෙහි මහා කරුණාවෙන් උරුවෙල් දනව්වට වැඩම කොට වදාළ සේක.

 

සුජාතා සිටු දේවියට ලැබුනු පුණ්‍යවන්ත පුතුගේ නාමය වූයේ යස ය. යස කුමරු වයසින් වැඩී විවාහ දිවියට පැමිණ තිබුණා සේම ඔහුගේ නුවණ ද කෙමෙන් මුහුකුරා ගොස් තිබිණි. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේට තිබුණාක් මෙන්ම යස කුමරුට ද තුන් සෘතුවට වාසය කරන්නට මාලිගා තුනක් තිබිණි. ඔහුගේ කුමාර ජීවිතය ඉතාමත් සුඛෝපභෝගී සැපයෙන් පිරුණු ජීවිතයක් විය.

හදිසියේම මහ රෑ අවදි වූ සිද්ධාර්ථ කුමාරයා යම්සේ නාටිකාංගනාවන් දැක ගිහි ජීවිතය කලකිරීමට පත් වූයේ ද , ඒ ආකාරයෙන්ම යස කුමරු ද කුමරුද අලුයම් කාලයේ දී හදිසියේ අවදි වී නාටිකාංගනාවන්ගේ විප්‍රකාර දැක සසර කලකිරීමට පත්විය.

 

අනුවණයින් සුභවාදීව මතුපිටින් වැලඳගන්නා සුන්දරත්වය තුළ පවත්නා වූ යථාර්ථවාදී ආදීනවයන් වටහා ගන්නට තරම් යස කුමරුගේ නුවණ මුහුකුරා ගොස් තිබිණි. ඔහු කලකිරීමෙන් මාලිගාවෙන් පිටතට පැමිණ ඔහේ ඇවිද ගෙන ගියේය.

 

නොයෙක් සම්බුද්ධ ශාසනවල කල්ප ගණන් උතුම් ලොව්තුරු සත්‍යාවබෝධය වෙනුවෙන් පාරමිතා ගුණදම් පිරූ පුණ්‍යවන්ත යස කුමරු තමන් වහන්සේ වෙත එනතෙක් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වෘක්ෂ මූලයකට වී බලාගෙන සිටි සේක. ඒ ඔහුගේ සාංසාරික පැතුම ඉටුකොට විමුක්ති ධර්මය දෙසා වදාරන්නටය.

එදා ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ යස කුමරු සෝවාන් සකෘදාගාමී අනාගාමී යන තුන් මාර්ගඵලයන් පසක් කර ගන්නා ලදී.

 

සුන්දර හිරු මඬළ පූර්ව දිසාවෙන් නැගී එන්නට වෙර දරන මොහොතේදී , යස කුමරුගේ පියාණන් ද යස කුමරු ගිය මං සලකුණු බලමින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙතම පිය මැන්නේය. රන් පහන් ගසක් සේ බබළන සවර්ණ සෝභාවෙන් යුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි සිටුතුමා බුදුරජාණන් වහන්සේගෙන් තමන්ගේ පුතු දුටුවේදැයි විමසීය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සෘධි බලයෙන් යස කුමරුව නොපෙනෙන්නට සලස්වා තිබුණේ මහ සිටුතුමාගේ ධර්මාවබෝධයට පුතු දැකීම බාධාවක් වන හෙයිනි.

 

"මහ සිටුතුමනි, ඔබ මෙහිම සිටියහොත්, ඔබේ පුතණුවන් තව ටිකකින් මෙතැනදීම දැක ගන්නට පුළුවනි" යනුවෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සිටුතුමාට ප්‍රකාශ කළ සේක. එයින් සතුටට පත් සිටුතුමා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සමඟ කතාබස් කරමින් එහිම නැවතුඟ. එහිදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ සිටුතුමා සෝවාන් මාර්ග ඵලයට පත්විය. තම පියාණන්ට දෙසූ ධර්මය ද නුවණින් විමසමින් ශ්‍රවණය කළ යස කුමරු ඒ මොහොතේ දී නිකෙලෙස් මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත්වූයේ අර්හත් ඵලයේ පිහිටමිනි.

 

ඉන්පසු ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සෘධි බලය අත්හැර යස කුමරුව පියාණන්ට පෙනෙන්නට සැලැස් වූ සේක.

යස කුමරුගේ පියතුමා මේ වනවිට සෝවාන් ආර්ය ශ්‍රාවකයෙකුව සිටි බැවින්, යස කුමරු තවදුරටත් ගිහිගෙයි වාසයට නුසුදුසු බව පැහැදිලි කර දීමට ලොව්තුරා බුදුරජාණන් වහන්සේට අපහසු වූයේ නැත.

 

මහ සිටුතුමා ලොව්තුරා බුදුරජාණන් වහන්සේට එදින දානය පිණිස සිටුමැදුරට වඩින්න යැයි ආරාධනා කළේය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ එය නිහඬවම පිළිගත් සේක.

යස කුමරුට ඒහි භික්ඛු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණි. යස තෙරුන් වහන්සේත් කැටුව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සිටු මැදුර වෙත වැඩම කළ සේක.

 

මහා කල්ප ලක්ෂයක් පුරා සම්බුදු සසුනක ශ්‍රේෂ්ඨ තනතුරක් දරන්නට පෙරුම්දම් පිරූ සුජාතා දේවියට එම පින් මුහුකුරා යන මොහොත උදාපත් විය.

ඉතාමත් ශ්‍රද්ධාවෙන් මාලිගාවේ දානය සකස් කොට තිබිණි. මහා සිටුතුමාත්, සුජාතා සිටු දේවියත්, ලේලියත් ඉතාමත් සතුටින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේටත් යස තෙරුන් වහන්සේටත් දානය පූජා කළහ.

 

දන් වළඳා අවසන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් සිදුකළ උතුම් චතුරාර්ය සත්‍ය දේශනාව ශ්‍රවණය කළ සුජාතා සිටු දේවියත්, යස තෙරුන්ගේ ගිහිකල බිරිඳත් සෝවාන් මාර්ග ඵලයට පත්විය.

ධර්මාවබෝධයට පත්වූ සුජාතා සිටු දේවියත් ඇගේ ලේලියත්, අවබෝධයෙන් යුතුවම ත්‍රිවිධ රත්නය සරණ කොට ගන්නේ යැයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දී ප්‍රතිඥා දෙමින් තිසරණයෙහි පිහිටියෝය.

 

මීට මහා කල්ප ලක්ෂයකට පෙර පියමතුරා හෙවත් පදුමුත්තර ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුළ සුජාතා සිටු දේවිය ඉපිද සිටියාය. පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි උපාසිකාවකට ප්‍රථමයෙන්ම 'තෙරුවන් සරණ ගිය උපාසිකාව' යැයි තනතුරු දෙනු දැක එම උතුම් තනතුර ප්‍රාර්ථනා කරමින් ඈ පෙරුම් දම් පිරුවා ය. එම උතුම් පාරමිතා බලයෙන් මේ ගෞතම බුද්ධ ශාසනය තුළ එම තනතුර ඈ හට ලබා ගන්නට හැකි විය.

මේ ගෞතම ලොව්තුරා සම්මා සම්බුද්ධ ශාසනය තුළ පහළ වූ ශ්‍රේෂ්ඨතම උපාසිකාවක් වන සුජාතා සිටු දේවිය තිසරණයෙහි ප්‍රථමයෙන්ම පිහිටි උතුම් ගිහි ශ්‍රාවිකාවයි.

 

 

අනුශාසනාව

(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .

සිරි උපාලි ධර්මාශ්‍රමය ,කුඩා කිවුල, කොට්ටුකච්චිය .)සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ