බෞද්ධයන් සතු වූ වටිනා දිව්‍ය මන්ත්‍රයක් වන උතුම් කඳ පිරිත

නොවැම්බර් 20, 2023

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගත් කල එය හුදෙක් නිර්වාණ මාර්ගය සොයා යන්නවුන් සඳහා පමනක් ප්‍රකාශ කරන ලද්දක් නොවේ. බොහෝ බුද්ධ දේශනා ගත්කල එදිනෙදා ජීවිතයේදී මුහුණ දීමට සිදුවන ප්‍රායෝගික ගැටලු සඳහාද බොහෝ විසඳුම් බුදුරජාණන් වහන්සේ විසින් අප හට දායාදකර ඇත. එකල බොහෝ භික්ෂූන් වහන්සේලා වැඩ සිටියේ ආරණ්‍යවල, කැලෑවල නැත්නම් සංචාරය කරමින්ය. එවන් භික්ෂූන් වහන්සේලාත්, සාමාන්‍ය ජනතාවටත් මුහුණ දීමට සිදුවන්නාවූ අකරතැබ්බයන්ගෙන් ඔවුන්ව ගලවා ගැනීමට පිරිත් දේශනා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත. එසේ සර්පයන්ගෙන් හා අනෙකුත් හානිකර සත්වයන්ගෙන් වන්නා වූ පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බෞද්ධයන් සතු වූ වටිනා දිව්‍ය මන්ත්‍රයක් වන උතුම් කඳ පිරිත ගැන අප දැනගමු.

දෙව්රම් වෙහෙරේදී භික්ෂූන් වහන්සේ නමක් දර පළන විට දිරූ දර කැබැල්ලක් තුළින් ආ සර්පයෙක් පයේ ඇඟිල්ලකට දෂ්ට කළේය. ඒ භික්ෂූව සර්ප විෂ වැදී එහිම අපවත් විය. මේ පිළිබදව භික්ෂූන් වහන්සේලා දම්සභා මණ්ඩපයේදී කතා කරමින් සිටියදී එතනට වැඩි අපගේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව සතර සර්පරාජ කුලවලට මෙත්සිත වැඩුවේ නම් ඔහුට සර්පයා දෂ්ඨ නොකරන්නේය යන්න කියා මෙම කඳ පිරි‍ෙත් එහි අතීත කතාවත් මෙසේ වදළෙ සේක.

බෝසතාණන් වහන්සේ පෙර ආත්මයක කසී රටේ බ්‍රාහ්මණ පවුලක ඉපදී වයසින් මුහුකුරා ගොස් කාමයන් අත්හැර හිමාලයට ගොහින් ගංගා නම් ගඟ අසබඩ කුටියක් කරගෙන ඍෂි පැවිද්දෙන් පැවිදි වී ධ්‍යාන සමාපත්ති අභිඥා ආදිය උපදවා ගත්හ. එකල බෝසත් තාපසතුමාගෙන් කමටහන් ආදී උපකාර ලබාගැනීමට බොහෝ ඍෂිවරු පිරිසක් ඒ අසබඩම කුටි තනාගෙන වාසය කළහ. ඔය කාලේ ගංගා ඉවුරේ නා නා ප්‍රකාර සර්පයෝ සිටියා. ඔවුන්ගෙන් තපස්වීන් වහන්සේලාට සෑහෙන්ට කරදර වුණා. බොහෝ සෙයින්ම ඍෂිවරු මිය ගියේ සර්පයන් දෂ්ට කිරීමෙනුයි.

තාපසවරු මේ කාරණාව බෝධිසත්වයන්ට සැල කළා. බෝධිසත්වයෝ ඒ පළාතේ සිටිය සියලුම

තාපසවරුන්ව රැස් කෙරෙව්වා. “ඉදින් ඔබ සර්පරාජ කුල සතරට මෙත් සිත පතුරා තිබුණා නම් ඔය සර්පයන්ගේ දෂ්ට කිරීමට ලක්වෙන්නේ නෑ. ඒ නිසා මෙතැන් පටන් මෙන්න මේ ආකාරයෙන් සර්පරාජ කුලයන් සතරට මෙත්සිත වඩන්ට ඕනෑ” කියලා මේ ගාථාවන් පැවසුවා.

 

විරූපක්ඛේහි මේ මෙත්තං

මෙත්තං ඒරාපථේහි මේ

ඡබ්‍යාපුත්තේහි මේ මෙත්තං – මෙත්තං කණ්හාගෝතමකේහි ච

 

විරූපාක්ෂ සර්ප රාජ කුලය වෙත

මාගේ මෙත් සිත වේවා

ඒරාපථ සර්පරාජ කුලය වෙත

මාගේ මෙත් සිත වේවා

ඡබ්‍යාපුත්ත සර්පරාජ කුලය වෙත

මාගේ මෙත් සිත වේවා

කණ්හාගෝතමක සර්පරාජ කුලය වෙත

මාගේ මෙත් සිත වේවා

 

අපාදකේහි මේ මෙත්තං

මෙත්තං දිපාදකේහි මේ

චතුප්පදේහි මේ මෙත්තං

මෙත්තං බහුප්පදේහි මේ

 

පා කිසිවක් නැති සියලු සතුන් වෙත

මාගේ මෙත් සිත වේවා

දෙපයින් යුතු වූ සියලු සතුන් වෙත

මාගේ මෙත් සිත වේවා

පා සතරක් ඇති සියලු සතුන් වෙත

මාගේ මෙත් සිත වේවා

බොහෝ පාද ඇති සියලු සතුන් වෙත

මාගේ මෙත්සිත වේවා

 

මා මං අපාදකෝ හිංසි

මා මං හිංසි දිපාදකෝ

මං මං චතුප්පදෝ හිංසි

මා මං හිංසි බහුප්පදෝ

 

පාද රහිත වූ කිසිම සතෙක් මා හට

හිංසා නොකෙරේවා

දෙපයින් යුතු වූ කිසිම සතෙක් මා හට

හිංසා නොකෙරේවා

පා සතරක් ඇති කිසිම සතෙක් මා හට

හිංසා නොකෙරේවා

බොහෝ පාද ඇති කිසිම සතෙක් මා හට

හිංසා නොකෙරේවා

 

සබ්බේ සත්තා සබ්බේ පාණා

සබ්බේ භූතා ච කේවලා

සබ්බේ භද්‍රානි පස්සන්තු

මා කඤ්චි පාපමාගමා

 

ලොවේ සියලු ම සත්වයෝ,

ලොවේ පණ ඇති සියල්ලෝ ලොවේ ඉපදී සිටින්නා වූ යම්තාක් වූ සත්වයෝ සියල්ලෝ යහපත දකිත්වා!

කිසිම දුකකට පත් නොවෙත්වා!

 

අප්පමාණෝ බුද්ධෝ,

අප්පමාණෝ ධම්මෝ,

අප්පමාණෝ සංඝෝ

 

බුදුරජාණන්වහන්සේ අපමණ ගුණ ඇති සේක් ම ය

නවලොව්තුරා සදහම් අපමණ ගුණයෙන් යුතු ම ය

උතුම් බුදු සව්වෝ අපමණ ගුණෙන් යුතු වූවෝ

 

පමාණවන්තානි සිරිංසපානි අහිවිච්ඡිකා

සතපදි උණ්ණානාභි සරබූ මූසිකා

 

සියලු ම සර්පයෝ ද ගෝනුසුවෝ ද පත්තෑයෝ ද මකුළුවෝ ද සිකනැල්ලෝ ද මීයෝ ද කෙලෙසුන්ගෙන් සීමා වී ඇති හෙයින් ප්‍රමාණ සහිතයෝ ය.

 

කතා මේ රක්ඛා, කතා මේ පරිත්තා

පටික්කමන්තු භූතානි. සෝහං නමෝ භගවතෝ

නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානං’ති.

 

මා විසින් ත්‍රිවිධ රත්නයේ අප්‍රමාණ වූ ගුණය සිහි කිරීමෙන් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලද්දේ ය. මා හට රැකවරණ සලසා ගන්නා ලද්දේ ය. මා කෙරෙහි අහිතවත් වූ භූතයෝ බැහැරට යත්වා!

ඒ මම් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි.

(ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප) සත්බුදුවරයන් වහන්සේලාට නමස්කාර කරමි.

 

මෙසේ නමස්කාර කරමින් අතීතයේ වැඩ සිටි සත්බුදුවරයන් වහන්සේලාගේ ගුණ සිහි කරව්” කියා මහා බෝධිසත්වයෝ එදා රැස්වූ තාපස පිරිසට අවවාද කොට මේ කඳ පිරිත කියා දුන්නා. බෝධිසත්වයන්ගේ අවවාදය පිළිගත් තාපසවරු මේ විදිහට මෙත් පතුරා බුදුගුණ සිහි කරන්ට පටන් ගත්තා. බුදුගුණ සිහි කරද්දී සිහි කරද්දී සර්පාදීන් ඒ ප්‍රදේශය අත්හැර වෙනත් ප්‍රදේශ බලා ගියා.

 

මේ උතුම් ඛන්ධ පිරිත සිංහලෙන් අර්ථ විමසා සජ්ජායනා කරන විට සිත පහන් වේ. සිත මෛත්‍රී සහගත වේ. සුව සේ නිදාගෙන සුවසේ අවදි වෙන්න පුළුවන්. කඳ පිරිත නිතර සිහි කරන කෙනාට වස විස ගිනි උවදුරු නොඒ. සර්පයෝ දෂ්ට නොකරයි. සර්ප විෂ ශරීරගත වූවත් නොමැරෙයි. විෂ නො නඟියි. සර්ප විෂ වැදුණු විට කඳ පිරිතෙන් විෂ බැස්සවිය හැකියි. තමා ම සිහි කොට බලවත් විශ්වාසයෙන් විෂ භංග වීම සිදු වෙයි. දෙහි පිරිත්කර විෂ බැස්සවිය හැකිය. නටන උණුවතුර වීදුරු බෝතලයකට දමා ඒ වතුර ඉවත් කොට බෝතලය රස්නේ පිට සර්පයා කෑ මුඛයේ තබා ඉවත් කොට කඳ පිරිත කියමින් බෝතලයට විෂ ඇද්දවිය හැකිය. ඛන්ධ පිරිතෙන් බොහෝ වාර පිරිත් කොට තැඹිලි ආදිය බීම ශරීරගත විෂ නැති වීමට උපකාරයි. ලේ විෂ වීම, බඩේ විෂ ඇති වීම ආදියේදී කඳ පිරිතෙන් පිරිත් කොට දින කීපයක් තැඹිලි බීම හොඳය.

 

මෙයින් පිරිත් කළ පිරිත් පැන් ඉසීම, දුම් ඇල්ලීම උවදුරු දුරු කරයි. එම පිරිතේ ම ඇති පරිදි අපා, දෙපා, සිවුපා, බහුපා සියලු සතුන්ගෙන් ආරක්ෂාවයි. සර්පයෝ, ගෝනුස්සෝ, පත්තෑයෝ, මකුළුවෝ, සිකනලෝ, මීයෝ ආදී සියලු සතුන්ගෙන්වන උවදුරු දුරු කරයි. බල්ලන් කෑවිට, වසංගත රෝග බෝවනවාට මෙය භාවිත කළ හැකිය. ගොවිතැනේ එන සියලු බෝග උවදුරු කඳ පිරිතෙන් දුරු කරයි. වස විස නැති ගොවිතැනේ අතීත මහා ඖෂධය වුණෝ කඳ පිරිතයි.

 

ඔබ මෙය විශ්වාස කළත් නොකරත් කර්මයෙන් වැසී නැත්නම්, සිත ද පහන් වී ඇත්නම්, ඒ කියන්නේ නීවරණයන්ගෙන් සිත කිලිටි නොකරගෙන පිරිත් කියනවා නම්, විශ්වාසය බලවත් නම් කඳ පිරිතෙන් පිරිත් කළ තෙල් බෝතලයකට වෙඩි තැබුවත් වෙඩි නොවැදුණු බව ඇසින් දුටු තෙරනමක් පවසා ඇත. බෝධීන් වහන්සේලා ගිලන් වෙද්දී, කෘමි උවදුරු එද්දී කඳ පිරිතෙන් පැන් ඉසීම, පිරිත් කළ දුම් ඇල්ලීම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයි.

 

කඳ පිරිතේ මාතෘකා විස්තර ගාථාවක් වෙයි.

 

සබ්බාසිවිස ජාතීනං – දිබ්බ මන්තාගදං විය

යං නාසේසි විසං ඝෝරං – යේසං චාපි පරිස්සයං

ආණක්ඛෙත්තම්හි සබ්බත්ථ – සබ්බදා සබ්බපාණිනං

සබ්බසෝපි විනාසේති – පරිත්තං තං භණාමහේ

 

මේ ගාථා විස්තරයට අනුව කඳ පිරිත සියලු විෂවලට දිව්‍ය ඖෂධයක් බඳු යැයි විස්තර වෙයි. සියලු විසත් දුක් පීඩාත් දුරු කිරීමට සැමදා මෙය සැම තැනකදී ම බලපවත්වන බුද්ධ ආඥාවක් ලෙස අතීතයේ සිට පැවතගෙන එනවා.

 

මෙහි ඇති එක් විශේෂ සිද්ධියක් නම් බුදුරජාණන්වහන්සේලා හට ලොව ඕනෑම දැනුමක් රහසක් නොවේ. බොහෝ ලොඩ රෝග සඳහා ඖෂධ වර්ග බොහෝමයක් බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇත්තේද එසේය. එය උන්වහන්සේට බුද්ධත්වයෙන් උරුම වූ හැකියාවකි. ලොව සර්පයන්ගෙන් බේරීමට කොතරම් මන්ත්‍ර ඇතත් ඒ සියලු මන්ත්‍රයන්ට වඩා බලගතුම ආරක්ශාව ලෙස උන්වහන්සේ දුටුවේ මෙම කඳ පිරිතයි. එමනිසා මෙම පිරිත බොහෝම ගෞරවයෙන් ඔබ සැම පරිහරණය කරත්වා.

 

 

අනුශාසනාව

පූජ්‍ය , තෙලඟපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ