කුඩා කල සිට දරුවන්ට පින හා කුසලයත් දානයේ වටිනාකමත් අවබෝධකර දෙන්න

අප්‍රේල් 1, 2024

ඔබත් දිනපතාම අඩුම තරමේ තිරිසන් සතෙකුට, කුරුල්ලෙකුට හෝ බත් පිඬක් දන් දෙන්න උත්සාහ කරන්න

බුදුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන කල්හි එක්තරා සිටු පුත්‍රයෙක් අරභයා මෙම කතා පුවත දේශනා කළහ. මෙය ෙප්‍ර්තවත්ථූ අට්ඨ කතාවේ සඳහන් ඛෙත්තූපම ෙප්‍ර්ත වස්තුවයි.

රජගහනුවර ධනයෙන් ආඪ්‍ය , මහත් ධනසම්පත් ඇති එක්තරා සිටුවරයෙක් සිටියේය. ඔහුට තිබූ මහා ධන සම්භාරය නිසා මිනිස්සු ඔහුට මහා ධන සිටාණෝ යැයි කීහ.මහාධන සිටුපුත්‍රයාට එක් පුතෙක් ද විය.අපගේ පුතාට ශිල්ප ශාස්ත්‍රය උගන්වන්නට උත්සාහ කළොත්, එය ඔහුට කායික හා මානසික කරදරයක් වීමට පුළුවනි යැයි සිතු මහාධන සිටුපුත්‍රයා හා බිරිය , තම පුතුට කිසිඳු ශිල්ප ශාස්ත්‍රයක් ‌ලබා නොදුන්නේ ය. අපේ පුතා අපට අයත් ධනයෙන් දිනපතා දහස බැගින් වියදම් කළත් අවුරුදු සියයකින්වත් මේ ධනය අවසන් නොවේ. එම නිසා මේ ධන සම්පත්වලින් සැප විඳීවායි කීවේ ය.

තරුණ වයසට පැමිණි කල තම පුතුට කුලයෙන් ද රූපයෙන් ද ධනයෙන් ද ආඪ්‍ය විනෝදයටම සිත නැමුණු ධර්මය පිළිබඳ නොසිතන තරුණියක් විවාහ කර දුන්නේ ය. යමක් පිළිබඳ සිතා බලා තීන්දු, තීරණ ගැනීමට නුවණක් නොමැති මෙම යුවළ ධනයෙන් මත්ව සුරා සොඬුන්, නළු නිළියන් ආදීන් ඇසුරු කරමින් විනෝදකාමී ජීවිතයක් ගත කළහ.

මාපියන් මිය ගිය පසු ද නළු නිළි ගායක ගායිකාවන්ට කැමැති පරිදි ධනය දෙමින් ඔවුන් සමඟ මෙම යුවළ විනෝද වූහ. නො‌බෝ දිනකින්ම සියලුම ධනය වියදම්ව ණයට මුදල් ගෙන විනෝදකාමීව ජීවත් වූහ. පසුව ණය ගෙවා ගැනීමට නොහැකිව තමන් සතු ඉඩකඩම් ගෙවල් දොරවල් ණය හිමියන්ට දී හිඟාකමින්, එම නුවරම අනාථ ශාලාවක ජීවත් වූහ.

අනාථ ශාලාවේ ජීවත් වන මෙම සිටුපුත්‍රයා ළඟට එක් දවසක් සොරුන් පිරිසක් පැමිණ මොහුට මෙසේ කීය. අත් පාවල ශක්තිය හොඳට තිබෙන තරුණ නුඹ, අත් පා විකල වුවෙකු මෙන් මේ අන්දමට දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ ඇයි? අපත් සමග එකතු වී අනුන්ගේ ධන සම්පත් සොරකම් කොට සුවසේ ජීවත් වෙමුයි කීහ. මොහු, මම සොරකම් කරන්න නොදනිමි යැයි කීයේය. අපි ඔබට සොරකම් කරන ආකාරය උගන්වන්නෙමු යි සොරු කණ්ඩායම කීහ. පසුව ඔහු සොරු කණ්ඩායම සමඟ ගියේය.

දිනක් සොරු ඔහුගේ අතට පොල්ලක් දී, ගෘහ සන්ධි බිඳිමින් ගෙට ඇතුළු වෙමින්, ඔහුව ගේ බිඳි කපොල්ල ළඟ සිටුවා යම් කෙනෙක් මෙහි ආයේ නම් ඔහුට මේ මුගුරෙන් ගසා එක පහරින්ම මරවයි උපදෙස් දුන්නේ ය. මෝඩ සිටුපුත්‍රයා කිසිවක් නොදන්නේ හෙයින් අනුන්ගේ පැමිණීමම බලමින් එහි සිටියේය. සොරු ගෙට පිවිස ගත යුතු දේ ගෙන, ගෙදර මිනිසුන් දැනගත් කල්හිම එහෙන් මෙහෙන් පලාගියහ.

ගෙදර මිනිස්සු නැගිට පරික්ෂා කර බැලීමේ දී ගේ බිඳි තැනම සිටින සිටුපුත්‍රයා දැක, ඔහු අල්ලා අත් පා ආදිය බැඳ, මුගුරු ආදියෙන් තළා රජතුමා‌ට භාර දුන්නේය. එවිට රජතුමා මේ සොරාගේ හිස කපා දමවයි නගරගුත්තිකට අණ කළේය. නගර ගුත්තිකයා ද මොහුගේ බෙල්ලට රත් පැහැ මල්දම් දමා, වධක බෙර ගසමින් වීදියෙන් වීදියට, මංසන්ධියෙන් මංසන්ධියට ගෙනයමින් කසවලින් ගසමින්, වධකස්ථානයට ගෙනගියේය.

එකල්හි එම නගරයෙහි ප්‍රසාදයක සිටි සුලසා නම් වූ නගරශෝභිනිය වධයට ගෙන යන ඒ පුද්ගලයා දැක, පෙර ඔහු සමග වාසය කර පුරුදු ඇත්තී, මේ පුරුෂයා මේ නගරයෙහිම මහත් සම්පත් විද දැන් මෙබඳු වූ අනතුරකට විපතකට පැමිණියේ යැයි ඔහු පිළිබඳව කරුණාව උපදවා අග්ගලා සතරක් හා බීමට අවශ්‍ය පැන් ද මෙහෙකරුවකු අත යැවීය.

මේ අතර මුගලන් මහරහතන් වහන්සේ මෙම සිදුවීම දිවැසින් දැක මොහු පිළිබඳ කරුණාව උපදවාගෙන මොහු පින් නොකොට පව් කළ පුද්ගලයෙකි. මේ අවස්ථාවේ දී මරණයට පත්වුවහොත් මොහු නරකයෙහි උපදින්නේය. මා එහි ගිය කල්හි අග්ගළා හා පැන් මට පූජා කොට භූමාටු දෙවියෙක් වී උපදින්නේය යැයි දැන මේ තැනැත්තාට පිහිට වන්නේ යැයි සිතා පැන් හා අග්ගළා ගෙනෙන මොහොතෙහි ඒ පුරුෂයා ඉදිරියේ පහළ විය.

වධකස්ථානයේ සිටින මොහු මුගලන් මහරහතන් වහන්සේ දැක පහන්සිත් ඇතිව, තව මොහොතකින් මේ වධකයෝ මා මරා දමති. අග්ගළා කෑමෙන් මට කවර ප්‍රයෝජන ද, මෙය පරලොව යන්නා වූ මට මග වියදම් වන්නේ යැයි සිතා අග්ගළා සහ පැන් තෙරුන් වහන්සේට පුජා කළේය. මුගලන් මහරහතන් වහන්සේ ද ඔහුගේ ප්‍රසාදය වර්ධනය කිරීම පිණිස ඔහු බලා සිටිය දී ම සුදුසු තැනෙක වැඩ හිඳ, අග්ගළා වළදා, පැන් බී, හුනස්නෙන් නැගිට වැඩියේය.

හිස කපා මරණයට පත්කරන අවස්ථාවේ දී සුලසා නම් නගරශෝභනිය පිළිබඳ ඇති කරගත් ස්නේහයක් මොහුගේ සිතෙහි ඇති විය. මුගලන් හිමියන් කෙරෙහි කරන ලද පින්කම හේතුවෙන් මහත් සම්පත් ඇති දිව්‍ය ලෝකයෙහි ඉපදීමට සුදුසුකම් පැවැතියත්, සුලසාව පිළිබඳ ඇති කරගත් ස්නේහය නිසා, පර්වතයෙන් ගැවසීගත් පෙදෙසක ඝන සෙවණ ඇති මහා නුග රුකක රුක් දෙවියකු වී උපන්නේය.

මහත් වූ ධනයක් තිබූ සිටුපුත්‍රයාට සුදුසු අධ්‍යාපනයක් නොලැබීම, පාප මිත්‍ර ආශ්‍රය හා ධර්මානුකූල නොවීම නිසා ධනය නිසි පරිදි පරිහරණය නොකළ නිසා මෙලොව ජීවිතයේ දීම හිඟන්නෙක් බවට පත් වූ ආකාරය මෙම කතා පුවතින් පැහැදිලි වේ. එබැවින් කුඩා කල සිටම දරුවන්‌ට පින පව පිළිබද අවබෝධයක් ඇති කිරීම,නිසි අධ්‍යාපනයක් ලබා දීම මෙන්ම කලණ මිතුරන්ගේ ඇසුර ද ලබා දීමට කටයුතු කරන්න. එමෙන්ම කිසිඳු පිනක් නොකළ මෙම සිටුපුත්‍රයා අවසාන අවස්ථාවේ දී දුන් දානය නිසා භුමාටු දෙවියෙක්ව උපත ලැබී ය. දානය, මිනිසුන්ගේ මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතයත් සුඛිත මුදිත කිරීමට ඉවහල් වන නිසා ඔබත් දිනපතාම අඩුම තරමේ තිරිසන් සතෙකුට, කුරුල්ලෙකුට හෝ බත් පිඬක් දන් දෙන්න උත්සාහ කරන්න. දානපතියෙක් වීමේ පටන් ගැන්ම මෙය විය හැකි නිසා ඔබේ දරුවන්ටත් මෙම ක්‍රියාව පුරුදු කරන්න.

 

 

සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ

අනුශාසනාව

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

යක්කලමුල්ල ආදිච්චවංස පිරිවෙනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජෝති හිමි.