වර්ෂ 2024 ක්වූ October 14 වැනිදා Monday
බුදුන් වහන්සේගේ ධර්මය බෞද්ධයන්ට පමණයි ද?
මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වහන්සේ වන්නේ බුදුන් වහන්සේ ය. ඒ බව ඇල්බට් අයින්ස්ටයින්ගේ “නූතන විද්‍යාත්මක අවශ්‍යතාවන්ට සාර්ථකව මුහුණ දෙන ආගමක් වේ නම් එය බුදු දහමයි” යන ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ. එමෙන්ම “විද්‍යාවේ කෙළවර බුදු දහමේ ආරම්භයයි.”යනුවෙන් එගර්ටන් සී. බැප්ට්ස්ට්ගේ ප්‍රකාශයෙන් ද මනාව පැහැදිලි වේ.
සෙසු ආගම්හි ශාස්තෘවරයා වන්නේ අදෘශ්‍යමාන දෙවියෙකි. දෙවියන්ගේ පණිවිඩය රැගෙන පණිවිඩකරුවෙක් ලෙස මනුලොවට පැමිණ ඇත්තේ දේවදූතයෙකි. තමා කරනු ලබන ක්‍රියාවන්ට දෙවියන් වහන්සේ විනිශ්චය ලබා දෙන පවසන ඔවුහු මරණින් මතු දෙවියන් සමීපයට යන බව උගන්වයි. නමුත් බුදු දහමේ ශාස්තෘවරයා මනුෂ්‍යයෙකි. සය අවුරුද්දක් දුෂ්කරක්‍රියා කොට තමා විසින්ම ධර්මය අවබෝධ කරගෙන ඇත. තමා කරනු ලබන ක්‍රියාවන්ට තමාම වගකිව යුතු බව පවසන බුදුන් වහන්සේ මෙලොවදීම සත්ත්වයාට නිර්වාණය අවබෝධ කරගත හැකි බව පෙන්වා දෙයි.
බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අකාලික ය. මෙලොවදීම ප්‍රතිඵල ලබා ගත හැකි ය. සෑම දෙයකටම සිත මුල්වන බව, ශ්‍රේෂ්ඨවන බව, සියල්ල සිතින්ම හටගන්නා බව බුද්ධ දේශනාවයි. එබැවින් කරන, කියන සෑම දෙයක්ම ප්‍රසන්න වූ මනසින් සිදු කළ යුතු බවත් ඉන් යහපත් වූ ප්‍රතිඵල ළඟා කරගත හැකි බවත් අප්‍රසන්න සිතින් කරන, කියන දෙයින් අයහපත් වූ ප්‍රතිඵල ලැබෙන බවත් බුදුන් වහන්සේ ධම්මපද පාළියේ දී දේශනා කළහ. යම් කර්මයක් කළ පසු ඒ කළ දේ ගැන සිතන විට පසුතැවීමක් ඇති වේ නම් එහි විපාකය කඳුළු වැගිරෙන මුහුණුන් යුතුව විඳීමට සිදුවේ නම් එවැනි කර්මයන් කිසි විටෙක නොකළ යුතු බවත් යම් කර්මයක් කළ පසු ඒ කළ දේ ගැන සිතන විට පසුතැවීමක් ඇති නොවේ නම් එහි විපාකය ප්‍රීතියෙන් හා සතුටු සිතින් යුතුව විඳීමට සිදුවේ නම් එවැනි කර්මයන් කිරීම යහපත් බවත් බුද්ධ දේශනාවයි. මේ අනුව බුදු දහම යනු, ක්‍රියාව පිළිබඳ පමණක් අවධානය යොමු නොකොට ඒ ඒ අවස්ථාවේ දී ඒ ඒ ක්‍රියාව කිරීමට මුල්වන සිත අනුව එය යහපත් ද අයහපත් ද පින් ද පව් ද කුසල ද අකුසල ද යන්න තීරණය කරනු ලබන දහමකි.
චන්ද්‍රයා හා සූර්යයා උදා වී තිබෙන විට බබළන්නාක් මෙන් ධර්මය ද විවෘතව ඇති විට බබළයි. බුදු දහම පැතිරවීම සඳහා කිසි කෙලක යුද නොකළ අතර බුදුන් වහන්සේ බ්‍රහ්මජාල සුත්‍රයේ දී දේශනා කරනුයේ මහණෙනි, අනුන් මාගේ නුගුණ කියයි ද, ධර්මය ගැන නුගුණ කියයි ද,සංඝයාගේ නුගුණ කියයි ද, ඒ නුගුණ කියනා විට නුඹලා කෝප නොවිය යුතු ය. අමනාප නොවිය යුතු ය. අසතුටු නොවිය යුතු ය. එවැනි අවස්ථාවක දී ඔබ කිපෙන්නේ නම් අමනාප වන්නේ නම් නොසතුටු වන්නේ නම් එය නුඹටම අන්තරාය වන්නේ ය. එම නිසා එවැනි බොරු, බොරුව මෙන් එළිදරව් කළ යුතු බව ද අනුන් මාගේ ගුණ කියයි ද, ධර්මය ගැන ගුණ කියයි ද,සංඝයාගේ ගුණ කියයි ද, ඒ ගුණ කියනා විට නුඹලා ප්‍රීති නොවිය යුතු ය. සිත සතුටු කර නොගත යුතු ය. උඩඟු බව ඇතිකර නොගත යුතු ය. එවැනි අවස්ථාවක දීත් ඔබ ප්‍රීති වන්නේ නම්, සිත සතුටුකර ගන්නේ නම්, උඩඟු වන්නේ නම් එයත් නුඹටම අන්තරායවන බවයි. එබැවින් අටලෝ දහමින් කම්පා නොවී සෑම අවස්ථාවකදීම මැදහත් සිතින් මෛත්‍රියෙන් හා උපේක්ෂාවෙන් ක්‍රියා කළ යුතු බව මෙමඟින් පැහැදිලි වේ.
“බෞද්ධ හා අබෞද්ධ ලොව සියලුම ආගම් හා දෘෂ්ටීන් පිළිබඳව, මම හදාරා, කරුණු පිරික්සා බලා ඇත්තෙමි. බුදුන් වහන්සේ විසින් දෙසා වදාළ චතුරාර්ය සත්‍යයේ හා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තර්ගත, අලංකාරවත්, සාරගර්භ දහම් කරුණු අබිබවා යන වෙනත් කිසිදු ආගමික ඉගැන්වීමත් මට හමු නොවූ බැව් ප්‍රත්‍යක්ෂ විය. මෙම දැහැමි මඟ අනුගමනය කිරීමෙන් මගේ ජීවිතය හැඩගසා ගැනීමට හැකි වීම ගැන මම සතුටු වෙමි” යැයි මහාචාර්ය රයිස් ඩේවිඩ්ස් මැතිතුමාගේ ප්‍රකාශයෙන් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය එක් ජාතියකට, එක් ආගමකට, එක් මනුෂ්‍ය කණ්ඩායමකට පමණක් අදාළ දහමක් නොවන බවත් බුදු දහම විශ්වීය වශයෙන් යථාර්ථවත් දහමක් බවත් පැහැදිලි ය.
එබැවින් 2568 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සැමරූ මේ අවස්ථාවේ දී අර්ථාන්විතව සියලු පාපී ධර්මයන්ගෙන් වෙන්ව කුසල් දහම් වඩමින් සිත දමනයකර ගනිමින් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ප්‍රායෝගිකව අනුගමනය කිරීමට අදිටන්කර ගනිමු.
අනුශාසනාව
තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී
යක්කලමුල්ල ආදිච්චවංස පිරිවනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශන ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජොති හිමි.