වවා ගත්තොත් ඉඟුරු පවුලේ ලෙඩවලින් අඩක් සුවයි

සැප්තැම්බර් 5, 2022

 

ලෙඩක් දුකක් හැදුණා ම කවුරුත් දුවගෙන එන්නේ අම්මගේ තුරුලට. දරුවෝ විතරක් නෙමෙයි, සැමියාත් ලෙඩක් වුණාම ඔබ ළඟට එන විත්තිය අත්දැකීමෙන් ම දන්නවා නේද? ඒ හින්දා අම්මා කෙනෙක් විදිහට දරුවන්ට වගේම පවුලේ අනෙක් සාමාජිකයන්ට හැදෙන පුංචි පුංචි අසනීපවලට දෙන බෙහෙත් හේත් ගැන දැනගෙන ඉන්න එක හොඳයි. ඒ කියන්නේ ඔබ තමයි පවුලේ පළමුවැනි වෛද්‍යවරයා. ඉතිං පවුලේ පළමුවැනි වෛද්‍යවරයා වෙච්චි ඔබට ගෙවත්තේ ඉන්න අපූරු වෙදැදුරෙක් ගැන කියන්නයි අද අපේ උත්සාහය.

 

රෝග රැසකට සුවය...

 

ගෙවත්තේ වෙදැදුරාට ආයුර්වේදයේ දී නම් කියන්නේ, මහෞෂධය කියලා. විශ්ව ඖෂධය කියලාත් කියනවා. ඉතිං මේ වෙදැදුරා කවුරු කියලාද ඔබ හිතන්නේ. නම කිව්වාම නම් දන්නවා ඉඟුරු කියලා. ඇයි ඉඟුරුවලට මෙච්චර වටිනාකමක්? අත් බෙහෙතක් විදිහටත් ඖෂධයක් විදිහටත් ඉඟුරු හැම පැත්තෙන්ම වටිනවා. ඉඟුරු ඉස්ම බඩේ අමාරුවට ප්‍රත්‍යක්ෂයි කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. කාන්තාවන්ගේ මාසික ඔසප් වේදනාවන්ටත් ඉඟුරු හොඳ සහනයක්. අනික ඉඟුරුවල තිබෙන ප්‍රතිඔක්සිකාරක ගුණය හෘදයාබාධ හා පිළිකා සෑදීම අවම කරනවා කියලාත් දැන් හොයාගෙන තිබෙනවා. ඒ වගේම ඇදුම, හතිය, හමේ රෝග සෙම්ප්‍රතිශ්‍යාව, පීනස යනාදී සෙම් රෝග සඳහාත් ඉඟුරු මහෞෂධයක්. ඉතිං මේ පුංචි වෙද මහත්තයා වත්තේ වවා ගත්තොත් පාඩුවක් නෑ නේද? මොකද ලෙඩ දුක් හැදෙන්නේ කලින් දැනුම් දීලා නෙමෙයිෙන්.

ඒ වෙලාවට ඉඟුරු කෑල්ලක් හොය හොයා ගෙවල් ගානේ, කඩවල් ගානේ යනවාට වඩා ගෙවත්තේ ඉඟුරු පඳුරක් හරි වවාගෙන තිබුණොත් මොහොතකින් ඔබට ඉඟුරු අලයක් ගලවා ගන්න පුළුවන්. ඒ විතරක්ද? මහන්සි දැනුණු වෙලාවට ඉඟුරු දාලා බොන තේ එකක දැනෙන සුවදායී බව මතක් කරන්න ඕනෙ නෑනේ.

 

අවාරේ ඉඟුරු

මේ දවස්වල ඉඟුරු ඇස්වැන්න නෑ. මොකද යල කන්නයට ඉඟුරු වවන්නේ ජනවාරි මාසයේ. එතකොට අප්‍රේල් කාලය වෙනකොට අපිට අස්වැන්න ලබා ගන්න පුළුවන්. මේ කාලය ඉඟුරුවල නියං සමය කියලා හඳුන්වන්නත් පුළුවන්. හැබැයි ඔබ ගෙවත්තේ වගා කරනවා නම්, ඕනෙම කාලයක ඔබට ඉඟුරු වගා කර ගන්න පුළුවන්. එතකොට ඕනෙ වෙලාවක ඉඟුරු අලයක් ගලවා ගන්න එක මහ කජ්ජක් නෙවෙයි.

 

ඉඟුරු වර්ග

ශ්‍රී ලංකාවේ ඉඟුරු ජාති 3ක් තිබෙනවා. එකක් අපි දේශීය ඉඟුරු කියලා හඳුන්වන ඇඟිලි ටිකක් කුඩාවට තියෙන සැර, කෙඳි හා සුවඳ ගතිය වැඩි ප්‍රභේදයයි.

අනික පාටින්, සැර හා සුවඳින් ටිකක් අඩු, විශාල අල තිබෙන චීන ඉඟුරු යි. අච්චාරු හදන්නත් බොහෝ වෙලාවට මේ ඉඟුරු පාවිච්චි කරනවා.

මේ දෙක අතර මැදි එකකුත් තියෙනවා. ඒකට අපි කියන්නේ රැංගුන් ඉඟුරු කියලා. හැබැයි එයාගේ නම් හොඳට ඇඟිලි වෙන්වෙලා තිබෙනවා.

 

සිටුවා ගනිමු...

මේ කොයි ඉඟුරු ජාතිය ගත්තත් ඉතිං හිටවන්නේ එකම ක්‍රමයට. ගුණ අගුණ නම් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. අඩි 3,000ක් දක්වා අපේ රටේ ඕනෑ ම පළාතක ඉඟුරු වවන්න පුළුවන්. වතුර දානවා නම්, පැත්ත ප්‍රශ්නයක් නෑ. ආර්ථික ලාභයක් එක්ක වැඩේ කරනවා නම්, කරන්නේ මෙහෙමයි, වත්තේ ගොඩක් හිරු එළිය තිබෙන තැනක් මේ සඳහා අවශ්‍ය වෙන්නේ නෑ. හැබැයි හොඳට වතුර බැහැලා යන තැනක් තිබ්බොත් හොඳයි. මඩ සහිත තැනක් නම් කොහෙත්ම ගැළපෙන්නේ නෑ. අඩියක් පමණ ගැඹුරට පොළොව හොඳට සී සා ගන්න. පොළොවේ පස් කැට එහෙම තිබෙනවා නම්, අතින් පොඩි කර ගන්න. ඊට පස්සේ අඩි 3ක් පමණ පළල උස් පාත්ති, ඒ කියන්නේ අඟල් 10 ක් පමණ උසට පාත්ති හදා ගන්න. මේ පාත්තිවලට කොම්පෝස්ට් පොහොර කලවම් කරන්න. පාත්තියේ අඟල් 1 ½ක් ගැඹුරට සෙන්ටිමීටර් 25ක පමණ පරතරයක් එන විදිහට වළවල් හදාගන්න. ඒ වළවල්වල ග්‍රෑම් 35ක් විතර බර අංකුරයක්, දෙකක් තිබෙන ඉඟුරු අල ඉන්ද ගන්න. ඊට පස්සේ වසුනක් දමන්න. ඒකට පිදුරු, දහයියා, කොළ රොඩු, පොල්අතු යනාදී ඕනෙම දෙයක් ගැළපෙනවා. මේක තමයි, ඉඟුරු වගාවක් කරන සාමාන්‍ය ක්‍රමවේදය.

 

බඳුනක ඉඟුරු වවමු

ඔබේ ගෙදරටත් හාල් ගේන බෑග් තිබෙනවා නේද? එහෙනම් ඔන්න හාල් ගේන බෑග් එකක් හොයා ගන්න. ඒකට විශේෂ පස් මිශ්‍රණයක් නම් හැබැයි හදාගන්න ඕනි. මේ සඳහා මතුපිට පස් කොටස් දෙකකට, වැලි කොටස් එකයි, කොම්පෝස්ට් කොටස් එකයි දමා කර දහයියාත් යම් ප්‍රමාණයක් දමන්න. කර දහයියා කියන්නේ බාගෙට පුලුස්සා ගත් දහයියා. රොක්පොස්පේට් තිබෙනවා නම් ඒකත් ටිකක් දාන්න. නමුත් අත්‍යවශ්‍ය නම් නෑ. ඩොලමයිට් ටිකකුත් දැම්මොත් හොඳයි. ඊට පස්සේ මේ ටික හොඳින් මිශ්‍රකර ගෙන හාල් බෑග් එකේ ¾ක් පමණ පුරවා ගන්න. මේ පුරවා ගැනීමේ දී අතින් තද කරන්න එපා. ඊට පස්සේ පෙර පරිදිම ග්‍රෑම් 35ක් වත් බර තිබෙන අංකුර දෙකක්වත් තිබෙන ඉඟුරු අල දෙකක් පුංචි වළවල් දෙකක් හාරලා මේ බඳුනේ තැන්පත් කරන්න. ඉන් පස්සේ හීන් පස් තට්ටුවකින් වසන්න. වසුනක් යොදන්න. ජල සම්පාදනය කරන්න.

 

වසර පුරාවටම...

ඔන්න, ඉතිං මේ වගේ බඳුන් 5ක් විතර හදාගත්තොත් මුළු අවුරුද්දට ම උවමනා ඉඟුරු ප්‍රමාණය ඔබට බොහොම පහසුවෙන් හදාගන්න පුළුවන්. මුළු වසර පුරාම අස්වැන්න ලැබෙන විදිහට විවිධ අවස්ථාවල දී මේක සකස් කර ගත්තොත් ඕනෙම වෙලාවක ඔබේ අතට ඉඟුරු ලැබෙන ක්‍රමයක් තිබෙනවා. හැකියාවක් තියෙනවා නම් දියර පොහොර යොදන්න. දියර පොහොර හදා ගන්න හැටිත් අපි ඉදිරි කලාපයකින් කියලා දෙන්නම්. රසායනික පොහොර නම් කොහෙත්ම අත්‍යවශ්‍ය නෑ. නමුත් විටින් විට ගොම පොහොර, කාබනික පොහොර යොදන එක වටිනවා.

 

වැඩි විස්තර දැන ගන්න 0112877841 අංකයට කතා කරන්න. නැත්නම්,[email protected]යන විද්‍යුත් ලිපිනයට ලියන්න.

 

 

ඉදිරිපත් කිරීම

රන්සිලු වටවල

අධ්‍යක්ෂ සංවර්ධන,

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය