බඳුන්ගත මිරිස් පැළයකින් සරු අස්වැන්නක්

අප්‍රේල් 21, 2025

 

එදිනෙදා පරිභෝජනයට ගන්නා මිරිස්, කරපිංචා, රම්පේ, සේර, තක්කාලි වාගේම පලා වර්ගයක්, එළවළුවක් දෙකක් තමන්ගෙ ගෙමිදුලේ වගා කරගන්න කවුරුත් උනන්දුයි. ඒත් සීමිත ඉඩකඩ, තට්ටු නිවාසයක් නම් ගෙමිදුලක් නොමැතිකම වැනි හේතු නිසා වැඩි දෙනෙකුට ඒක හීනයක්. ඒත් ඉවත දමන පොලිතින් බෑග්, ප්ලාස්ටික් බඳුන්, සිමෙන්ති පෝච්චි ආදියෙත් හරි අපූරුවට වගා කළ හැකි බව පසුගිය සතියක අපි ඔබව දැනුවත් කළෙමු.

 

එහෙමනම් අද අපි බඳුනක මිරිස් පැළයක් සිටුවා නඩත්තු කරන අාකාරය සොයා බලමු.

 

මෙලෙස බඳුනෙහි සිටුවා ගැනීම සඳහා ඔබට බඳුනක සිදු කළ තවානකින් හෝ වෙනත් ක්ෂේත්‍ර තවානකින් ලබාගන්නා මිරිස් පැළ යොදාගත හැකිය. එමෙන්ම වගා මාධ්‍යය පිර වූ පසුව අඟල් 10- 12ක් පමණ විෂ්කම්භයකින් හා අඟල් 15ක් පමණ උසක් සහිත බඳුනක් හෝ වගා මලු මේ සඳහා භාවිත කරන්න.

 

වගා මාධ්‍යය

 

මතුපිට පස් කොටස් එකකට දිරාගිය ගොම/එළු/ කුකුළු පොහොර හෝ කොම්පෝස්ට් කොටස් දෙකක් දමා හොඳින් මිශ්‍ර කරන්න. ඔබට සපයාගත හැකි නම් දහයියා අඟුරු කොටස් එකක් ද මේ මිශ්‍රණයට එකතු කිරීමෙන් එහි ගුණාත්මක බව වැඩි කර ගත හැකියි.

 

මෙලෙස සකසා ගත් වගා මාධ්‍යය වගා මලු හෝ බඳුන් තුළට පුරවා පැළ සිටුවිය හැකිය. එහිදී බඳුනක පැළ 02ක් සිටුවිය හැකි අතර බඳුන් අතර පරතරය සෙන්ටිමීටර් 60 x 60 ප්‍රමාණයක් තබන්නට වගබලා ගන්න.

 

ජලය

 

බඳුන්ගත වගාවකදී මිරිස් පැළවල මූල පද්ධතිය බඳුන තුළ පමණක් වූ වගා මාධ්‍යයට සීමා වේ. එබැවින් දිනපතා ජලය සැපයීම අනිවාර්යෙන් සිදු කළ යුතුය. වැසි නොමැති අවස්ථාවලදී මේ වගා බඳුන තුළ මනා තෙතමනයක් පවත්වා ගන්න.

 

පොහොර

 

සීමාසහිත වගා මාධ්‍යයක් පවතින බැවින් පොහොර සැපයීමේදී ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. දැනට වෙළෙඳපොළේ පවතින මිරිස් වගාවට උචිත පොහොරක් නියමිත මාත්‍රාව අනුව යොදන්න. ඊට අමතරව මිරිස් ශාකයේ මල්, කරල් හටගන්නා කාලයේ ක්ෂුද්‍ර පෝෂක අඩංගු සමබර පෝෂක සහිත දියර පොහොරක් සති දෙකකට වරක් යොදන්න.

මේ සියල්ලටම අමතරව වගාවට යොදන ජලය සහ පස සංරක්ෂණය සඳහා පැළය වටා පිදුරු, වියළි තණකොළ, ග්ලිරිසීඩියා කොළ වැනි ආස්තරණයක් යෙදීම වඩාත් සුදුසුය.

 

පළිබෝධ පාලනය

 

වගා බඳුන තුළ මෙන්ම බඳුන් අවට පරිසරය වල් පෑළෑටි ආදියෙන් තොරව තබා ගන්නට වගබලා ගන්න. පළිබෝධකයින්ට වාසස්ථාන සැපයෙන ධාරක ශාක ඉවත් කරන්න. මිනිසාට අහිතකර නොවන ශාකසාර සහිත දියර මෙන්ම කෘමි විකර්ශක භාවිතයෙන් ඔබේ මිරිස් වගාව නීරෝගිව වර්ධනය කර ගත හැකියි.

 

අස්වැන්න නෙළීම

 

මිරිස් පැළ සිටුවා මාස 1 1 /2කට පසුව ඔබට අස්වැන්න නෙළාගත හැකියි. හොඳින් නඩත්තු කරන එක් වගා බඳුනකින් මාස 3 - 4ක් තුළ කරල් 150 - 200ත් අතර ප්‍රමාණයක් ලබා ගත හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන නිර්මාණ ශිල්පී

විසිතුරු මල් වගා උපදේශක

දේශබන්ධු, කෘෂිවිද්‍යා සූරී

මාබොදලේ

රංජිත් කළුආරච්චි