ඔබ දන්න දේ මාර්කට් කරන්න

ජුනි 16, 2025

නිර්මාණාත්මක සංකල්ප හා කුසලතා සංකලනයෙන් ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීම කලාවකි. යුවතියකට මෙවැනි නිර්මාණාත්මක හැකියාවන් හා කුසලතාවයන් බොහෝ තිබේ. තම දෑතේ හැකියාවෙන් ඉවුම්, පිහුම් කටයුතු කිරීමට සෑම යුවතියක්ම දක්ෂය.එය නිර්මාණාත්මක ලෙසින් යොදාගත් විට මුදල් උපයා ගැනීමට හොඳම මාර්ගයකි.වර්තමානයේ බොහෝ දෙනෙක් කාර්යබහුල නිසාම තම දෛනික කටයුතු පහසු කරගැනීම සඳහා සකස් කරන ලද කෑම පිටතින් ගැනීමට හුරුවී සිටිති. ඔබ ජීවත්වන ප්‍රදේශය අනුව මෙම අවශ්‍යතාවය ඇති ව්‍යාපාරික ජාලය හඳුනාගත් විට එය හොඳ ආදායම් මාර්ගයක් කර ගැනීම එතරම් අපහසු නොවන කටයුත්තකි. මෙලෙසින් ඔබට ව්‍යාපාරයක් ලෙසින් මුදල් උපයාගත හැකි කෑම වර්ග කීපයක් ගැන අපි හඳුන්වා දෙන්නෙමු.

 

විශේෂ ආහාර වර්ග

 

ඔබ සකසන යම් විශේෂ ආහාර වර්ගයක් අන් අයගේ නිරන්තර පැසසීමට ලක්වනවා නම් එය ම ආදායම් මාර්ගයක් බවට පත්කර ගැනීමේ හැකියාව ඔබ සතු වෙනවා. එය ජෑම් වර්ගයක්, ඇඹුල් තියල් හෝ බැදුම් වර්ගයක්, නිවසේදීම සකස් කරගන්නා සුවදැති කුළුබඩු කුඩු වර්ග, cereal වර්ග, cup cakes, බීම වර්ගයක් වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තන් ඔබේ ගෙවත්තේ බහුලව ඇති ආහාර ද්‍රව්‍යයක් වෙන්නත් පුළුවන්.  සෞඛ්‍යාරක්ෂිත සහ ලාභදායි ලෙස සපයන ආහාර වර්ගවලට ඇති ඉල්ලුම වර්තමානය වෙනකොට වැඩි වෙනවා මිසක් අඩු වන්නේ නැති නිසා මේ හරහා ඔබට ස්ථීර ආදායම් මාර්ගයක් සදා ගැනීමේ හැකියාව ලැබෙනවා.

 

බේකරි ආහා​ර

 

පාන්, බනිස්, muffins, cookies, cup cakes, pastries වගේ බේකරි ආහාරවලට විශේෂ ප්‍රියතාවයක් දක්වන, එදිනෙදා ආහාර වේලට මේවා එකතු කරගන්න පිරිස් ඔබ අවටම ජීවත් වනවා ඇති. මේ නිසා මේ විශේෂ පාරිභෝගික කාණ්ඩය ඉලක්ක කර රසවත්, පිරිසිදු සහ පෝෂ්‍යදායී ව්දියට bakery food items සකසා විකිණීම ඔබට ලාභදායි ස්වයං රැකියාවක් වේවි. ඒ වගේම ඔබ සපයන ආහාරවලට යම් යම් සුවිශේෂීතා එකතු කරනවා නම් පාරිභෝගිකයින් වඩාත් සතුටට පත් කිරීමටත් හැකිවේවි. උදාහරණ විදියට sugar free ආහාර, gluten free ආහාර, වර්ණක භාවිතය අවම කේක් නිර්මාණ, ආහාර පාලනය කරන්නන්ට සුදුසු පාන් වර්ග වගේ දේවල් පෙන්වන්න පුළුවන්. 

 

 

කෝකිවරියක් වශයෙන් සේවය කිරීම

 

අතිශය කාර්‍යබහුල වුවත් කඩ කෑම ගැනීමට අකමැති අය වෙනුවෙන් ඒ නිවෙස්වලට ගොස් ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි ආහාර පිස දීම ස්වයං රැකියාවක් වශයෙන් සිදු කරනවා නම් ඔබට වැය වන කාලය, ශ්‍රමය සහ හැකියාව වෙනුවෙන් සාධාරණ අය කිරීමක් සිදු කළ හැකි වෙනවා. රසවත්ව ආහාර පිසීමට කැමති වුවත් Catering service වැනි විශාල කටයුත්තකට අත ගැසීමට අකමැති කෙනෙක්ට මෙය ඉතා හොඳින් ගැළපෙන බව කියන්න පුළුවන්. බොහෝ විට සතියකට හෝ දින 3-4ට ප්‍රමාණවත් තරම් ආහාර පිසදීම හෝ වැඩිම වුවහොත් පිසගත් ආහාර පිළිවෙළකට freeze කරදීම ඔබට අයත් රාජකාරිය වන්නට ඉඩ තියෙනවා.

 

ආහාර සැකසීම පිළිබඳව ඉගැන්වීම

 

මුදල් ගෙවා ආහාර පිසීම පිළිබඳව ඉගෙනීමට කැමති පිරිස් සඳහා ඉගැන්වීමේ හැකියාව ඔබට ඇත්නම් මෙය ඉතා හොඳ ආදායම් මාර්ගයක් විදියට පෙන්වන්න පුළුවන්. මෙය සිදු කළ හැකි ආකාර කිහිපයක් තියෙනවා. youTube නාළිකාවක් ආරම්භ කිරීම, තම නිවසේම tution class එකක් ආකාරයට සිදු කිරීම හෝ zoom වැනි මාධ්‍යයක් හරහා පන්ති පැවැත්වීම සිදු කරන්න පුළුවන්. එහෙමත් නැතිනම් food blog එකක් ආරම්භ කිරීමත් ආදායම් ගෙනදෙන විනෝදාංශයක් විදියට පෙන්වන්න පුළුවන්. 

 

Catering service

 

මෙය ඔබට කිහිපදෙනෙකුගේ සහයෝගය සහ මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වන ආකාරයේ ව්‍යාපාරයකි. ආහාර සැකසීමේ භාජන සහ අනෙකුත් උපකරණ, beverage vending machines, tents, පුටු මේස සහ light bulb strings වැනි දේ පාරිභෝගිකයින්ගේ ඉල්ලීම පරිදි සැපයීමට ඔබට සිදු වෙනවා. මේ නිසා ආරම්භයක් වශයෙන් කුඩා උත්සව අවස්ථාවන්ට ආහාර පාන පමණක් සම්පාදනයෙන් ඔබට ව්‍යාපාරය ආරම්භ කිරීමටත්, පසුකාලීනව එයට විවිධ අංග එක් කරගැනීමත් සිදු කළ හැකි වෙනවා.

 

කැඳ සහ වෙනත් බීම වර්ග/ උදෑසන ආහාර

 

උදෑසනට පෝෂ්‍යදායී කැඳ වර්ගයක්, පළතුරු බීමක් හෝ smoothie වර්ගයක් ගැනීමට කැමති අසල්වැසියන් වෙනුවෙන් ඒවා සැපයීම ලාභදායි ස්වයං රැකියාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව කිරිබත්, කඩල, ඉඳිආප්ප, ආප්ප, හැලප හෝ පිට්ටු වගේ සරල උදෑසන ආහාර වේලක් සැපයීමත් ඔබේ ව්‍යාපාරයට එක් කරගන්න පුළුවන්.

කපා සකස් කරන ලද එළවළු සහ පලා වර්ග

ආහාර සැකසීම වෙනත් අයෙක්ට භාර දීමට අකමැති නමුත් ඒ වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට අපහසු අය සඳහා මේ සේවාව සපයනවා නම් එය හොඳ ආදායම් මාර්ගයක් බවට පත්කර ගත් හැකි වෙනවා. එළවළු පලා ආදිය සපයා ගැනීම ඔබ සිදුකළ යුතු අතර, පෝෂණය රැකෙන ආකාරයට කැපීම සහ ඇසිරීම ගැන වැඩි අවධානයක් මෙහිදී යොමු කළ යුතු වෙනවා. 

 

ඔබ සපයන කුමන ආකාරයක ආහාරයක් වුණත් ඒවා ආහාර පාන සම්බන්ධ සෞඛ්‍ය නීති රීතිවලට අනුගත සහ අතිශය පිරිසිදු ආහාර පාන බවට වගබලා ගන්න. අන්තර්ජාලය හරහා විකිණීම, නිවසට පැමිණ මිලට ගැනීමේ පහසුව සැපයීම, කාර්‍යාලයීය සහ පාසල් ආපණශාලාවලට සැපයීම, යම් යම් විශේෂ අවස්ථා සඳහා පමණක් සැපයීම, විශ්වවිද්‍යාල හෝ වෙනත් නේවාසිකාගාරවලට සැපයීම, උත්සව අවස්ථාවන්ට සැපයීම, දෛනිකව වෙළඳසල්වලට සැපයීම වගේ ක්‍රමවලින් මේවා අලෙවි කරගැනීමේ හැකියාව ඔබ සතු වෙනවා.