වර්ෂ 2025 ක්වූ May 26 වැනිදා Monday
ECO & BOTANICAL PRINTING

තරුණී නුග සෙවණ සුසංයෝගයෙන් මෙවර අපි ඔබට සුවිශේෂී ඇඳුම් නිර්මාණයක් ඉදිරිපත් කරන්නෙමු. ඒ පරිසර හිතකාමී ඇඳුමක් නිර්මාණය කරගන්නා ආකාරයයි. යුගයේ අවශ්‍යතාවක් ලෙසින් ඔබට ස්වයං රැකියාවකට මඟ පාදා ගැනීමේ වරප්‍රසාදය ද හිමි කර දෙයි.
වර්තමානයේ රෙදිපිළි නිෂ්පාදන බොහෝවිට සිදු කරනුයේ කෘත්‍රිම වර්ණ සහ රසායනික ද්රාවයන් බොහෝ සෙයින් භාවිත කිරීමෙනි. අවිධිමත් ලෙස බැහැර කරනු ලබන ඇඟලුම් කර්මාන්තයන්ගේ අපද්‍රව්‍ය හේතුවෙන් මේ වන විට ලංකාව මෙන්ම ලෝකයද විවිධ පාරිසරික ගැටලු සහ පරිසර දූෂණයන්ට මුහුණ දෙමින් සිටින යුගයක තිරසර විලාසිතා කෙරෙහි ලෝක අවධානය යොමු වෙමින් පවතී.
ඒ අතරින් ස්වාභාවික වර්ණ සහ එකෝ මුද්‍රණ, විලාසිතා පමණක් නොව, මානව සෞඛ්‍ය හා පරිසර හිතකාමී විසඳුමක් වශයෙන් ජනප්‍රිය වෙමින් පවතී.
මෙම ස්වාභාවික ක්‍රමවේද තුළින් රසායන ද්‍රව්‍යවලින් තොරව මල්, පත්‍ර ,මුල්, ශාක පොතු, කෘෂිකර්ම ස්වාභාවික අපද්‍රව්‍ය වැනි පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතයෙන් අලංකාර වර්ණ, රටා රෙදි මත ලබා ගැනීම සිදු කරයි. එමෙන්ම මෙය විදේශ විනිමය ඉපැයිය හැකි ස්වයං රැකියාවක් ද වේ.
මෙහි වැදගත්කම,
* පරිසර හිතකාමී වේ.
* ශරීරයට හිතකාමී වේ.
* දේශීය අමු ද්‍රව්‍ය භාවිතය.
* ස්වයං රැකියා අවස්ථාවකි.
* ඉහළ විදේශීය ඉල්ලුම.
* නිර්මාණත්මකතාව.
අවශ්‍ය ද්‍රව්‍ය:-
1. ශාක හෝ සත්ත්ව කෙඳි භාවිතයෙන් නිමවන ලද රෙදි
උදා - කපු , ලිනන්, ජූට්, වොයිල්, වූල්
2. බැදුම්කාරක (mordants )
(මින් එක වර්ගයක් ප්‍රමාණවත් )
ඇලම්
සෝයා කිරි
දෙළුම් පොතු යුෂ
3. වර්ණය වැඩි දියුණු කරන ද්‍රව්‍ය (modifiers)
විනාකිරි
මේස ලුණු
4. වර්ණ සඳහා අවශ්‍ය ස්වාභාවික අමුද්‍රව්‍ය
මල්, පත්‍ර, මුල්, පොතු
(තද පාට මල්, Tanin වැඩිපුර ඇති තද පැහැ කොළ වර්ග, ලූනු පොතු)
5. ඇලුමිනියම් ස්ටීමරයක්
6. ටුවයින් නූල්
7. ලී පතුරක්
පියවර
1. රෙදිපිළි සකසා ගැනීම.
* පළමුව තෝරාගත් රෙදිපිළි සියල්ල නටන ජලයෙන් පැයක් පමණ තම්බා ගත යුතුය.(දූවිලි, කැඳ ආදිය සම්පූර්ණයෙන් ඉවත් වන තෙක්)
* මඳ පවනේ හෝ මඳ අවුවේ හොඳින් වේෙළන තුරු වියළා ගන්න.
* පසුව තෝරාගත් mordant
උදා- ඇලම් යොදා ගන්නේ නම් (ඇලම් ග්‍රෑම් 10 - රෙදිපිළි ග්‍රෑම් 100)ලෙස මැන ගන්න.
* මැනගත් ඇලම් හා රෙදිපිළි උණුවතුර ලීටර් 4ක් එක් කර පැයක් පමණ තම්බා ගන්න.
* මඳ පවනේ පැයක් පමණ වියළා ගන්න. (තෙතමනය තිබිය යුතුය.)
2. සකසා ගත් රෙදි පිළි මත ස්වාභාවික මුද්‍රණ සිදු කිරීම.
* තෝර ගත් මල් හෝ කොළ රටාවකට රෙදි පිළි මත අතුරා ගන්න.
* පසුව තාප ප්‍රතිරෝධී ඉටි රෙදි කැබැල්ලක් ගෙන, උඩින් අතුරා ගන්න.
* රෙදිපිළි, මල්, පත්‍ර හොඳින් ස්පර්ශ විය යුතුය.
* එම ඇටවුම ලී කැබැල්ල හා ටුවයින් නූල් යොදාගෙන bundle එකක් සේ තදින් රෝල් කරගන්න.
3. වාෂ්පයෙන් තැම්බීම.
* පසුව ස්ටීමරය සකස් කොට, සකසා ගත් බණ්ඩල ජලය ස්පර්ශ නොවන සේ තබා පැය 1-2ක් පමණ තම්බා ගන්න.
4. දැන් රෙදි බණ්ඩල වාෂ්පයෙන් ඉවත් කොට දින බාගයක් පමණ නිවෙන්නට හරින්න.
අවසානයේ ඔබට අද්විතීය මුද්‍රණ රටා දැකගත හැකියි.
මෙහිදී තම්බා ගන්නා ලද කාලය අනුව වර්ණය වෙනස් විය හැකි බව මතක තබා ගන්න.
කිසිවිටෙක සේදුම්කාරක යොදා රෙදිපිළි සැකසීම සිදු නොකරන්න.
Eco prints සඳහා භාවිත කරන ස්වාභාවික අමුද්‍රව්‍ය සහ ප්‍රදේශය මත වර්ණය, තීව්‍රතාව වෙනස් විය හැකියි.
උපදෙස්
අමානි සෙනෙවිරත්න
(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම උපාධිධාරිණි)
PIX BY-ශාන් රඹුක්වැල්ල
MODEL-උත්පලා