වර්ෂ 2025 ක්වූ June 09 වැනිදා Monday
ටක් ගාලා සල්ලි හොයන ටික් ටොක් ටිප්ස්

ඒ කාලේ නිකං ටික් ටොක් කර කර හිටියට දැන් ටික් ටොක් කියන්නේ සල්ලි උපයන්න පුළුවන් හොඳ මාර්ගයක්. නිකං සිංදුවකට ඇඟ හොලෝනවට වඩා සමාජය දැනුම්වත් කරන විදිහේ දෙයක් කියලා දෙන්න, අලුත් දෙයක් එකතු කරන්න කන්ටෙන්ට් නිර්මාණය කරන අයත් ටික් ටොක් ප්ලැට්ෆෝම් එක ඇතුළේ වැඩි වැඩියෙන් දකින්න ලැබෙනවා. ඒ නිසා, හොඳ ටික් ටොක් ක්‍රියේටර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා ආධුනිකයෙක්ට කියලා දෙන්න අපි හිතුවා.
ඇල්ගොරිදම් අවබෝධ කරගමු
ටික් ටොක් එකක් පටන් ගනිද්දි ඇල්ගොරිදම් තේරුම් ගැනීම හරි වැදගත්. සාමාන්‍යයෙන් අපි වීඩියෝ එකක් දැම්මට පස්සේ ටික්ටොක් එකෙන් ඒක 100-500 ත් අතරේ ප්‍රමාණෙකට පෙන්නනවා. දැන් ඒකෙන් කී දෙනෙක් වීඩියෝ එක සම්පූර්ණයෙන්ම නරඹනව ද, ලයික් කරනව ද, කමෙන්ට් කරනව ද, ෂෙයාර් කරනව ද, ඩවුන්ලෝඩ් කරනව ද කියන එකත් මේ ඇල්ගොරිදම්වලින් බලනවා. දැන් මේ විදිහට හොඳ එන්ගේජ්මන්ට් රේට් එකක් ලබාගත්තොත්, එහෙම වීඩියෝ එකකට තව වැඩි පබ්ලිසිටියක් ටික්ටොක් එකෙන්ම ලැබෙනවා. වැඩි පිරිසකට මේ වීඩියෝ එක පෙන්නනවා. එහෙම නැතිනම් අපේ වීඩියෝ එකේ රීච් එක ස්වයංක්‍රියවම ටික් ටොක් ඇල්ගොරිදම්වලින් ලිමිට් කරනවා. දැන් මෙන්න මේ විදියට සරලව ටික් ටොක් ඇල්ගොරිදම් හැසිරෙන විදිය අල්ලගත්තහම, අපිට වඩාත් හොඳ එන්ගේජ්මන්ට් එකක් ලැබෙන විදියේ වීඩියෝ ප්ලෑන් කරන්න පුළුවන්.
පර්සනලයිස්ඩ් එකවුන්ට්
මෙතැනදී ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ ප්‍රොෆයිල් පින්තූරය, තමන්ගේ බයෝ එක, ටික් ටොක් හැන්ඩ්ල් එක සහ අනික් ප්ලැට්ෆෝම් ලින්ක් කිරීම. දැන් ටික් ටොක් එකේ තමන්ගේ මූණෙන්ම වීඩියෝ දාන කෙනෙක්ට අමුතුවෙන් ප්‍රොෆයිල් පික්චර් එක ගැන හිතන්න ඕනෙද? ඇත්තටම ඔව්. එතැනදී තමන් ටික් ටොක් එකවුන්ට් එකෙන් ඉදිරිපත් කරන දේ අනුව ප්‍රොෆයිල් පික්චර් එක කස්ටමයිස්ඩ් කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට යෝගා ටිප්ස් ලබාදෙන ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ට තමන්ගේ ඡායාරූපයක් දාන්න පුළුවන්. එතකොට මිනිස්සුන්ට අදහසක් එනවා යෝගා කරලා හොඳ ෂේප් එකක් හදාගන්න පුළුවන් කියලා. සම්පූර්ණයෙන්ම රෙස්ටුරන්ට්වල ආහාර පාන වීඩියෝස් දාන කෙනෙක්ට තමන්ගේ මූණ නැතත්, කෑම වලට සම්බන්ධ දෙයක් ප්‍රොෆයිල් ෆොටෝ එකට දාන්න පුළුවන්.
ඒ වගේම, තමන් ඉදිරිපත් කරන අන්තර්ගතයට ගැළපෙන විදිහේ ටික් ටොක් හැන්ඩ්ල් එකක්, ඒ කියන්නේ නමක් තිබීම වැදගත්. ඒ වගේම, තමන් කරන දේ සහ තමන් කවුද කියන එක හොඳට පැහැදිලි කරන බයෝ එකකුත් වටිනවා. ඒ වගේම තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් එකවුන්ට් එක සහ යූටියුබ් එකවුන්ට් එකත් ලින්ක් කරලා තියෙන එකත් වටිනවා. ඒ වගේම ඕන නම් ටික් ටොක් බයෝ එකට ක්ලික් කරන්න පුළුවන් ලින්ක් එකක් එහෙමත් දැම්මට පාඩු නෑ.
මොනවද දාන්නේ?
මෙය වෙන ඕනම සෝෂල් මීඩියා පේජ් එකකට වගේම, ටික් ටොක් එකටත් වැදගත්. ඒ තමයි, තමන් ඇත්තටම මොනවද පබ්ලිෂ් කරන්නේ කියන එක. මෙතැනදී අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක් තමයි, මිනිස්සුන්ට පැහැදිලිව පේන හොඳ තේමාවක් තියෙන එක වැදගත් කියලා කියන එක. තමන් වැඩි වශයෙන් කරන්නේ එන එන සිංදු කෑලිවලට ටික් ටොක් එකේ ඩාන්ස් කරන එක නම්, ඒ අතරින් පතර කුකරි ටිප්ස් වීඩියෝ දාලා වැඩක් නෑ. එහෙම කරන එකෙන් වෙන්නේ, කෙනෙක් අපේ ටික් ටොක් එකවුන්ට් එකෙන් ඉදිරිපත් කරන්නේ මොනවද කියලා කන්ෆියුස් වෙන එක. ඒකෙන් අපිට ෆලෝවර්ස්ලා හැලෙන්න පුළුවන්. ආන්න ඒ නිසා පැහැදිලි තීම් එකක් පවත්වාගන්න. අපි කාර් ගැන උපදෙස් දෙනවා නම් අපේ ටික් ටොක් එක කාර් උපදෙස් සම්බන්ධයෙන් වෙන්න ඕන. මැද්දේ ට්‍රිප් ගියපු ෆොටෝ දාන එකේ තේරුමක් නෑ!
මොනවද දාන්න පුළුවන්?
තමන්ගේ විශේෂඥතාවට අදාළව වීඩියෝස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෝටර් මිකැනික්ස් ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක්ට ටික් ටොක් එකෙන් මෝටර් මිකැනික්ස් ගැන කියලා දෙන්න පුළුවන්. කුකරි හොඳ දැනුමක් තියෙන කෙනෙක්ට කුකරි චැනල් එකක් කරන්න පුළුවන්.
එහෙම විශේෂ දැනුමකුත් නැතිනම්, මේ දවස්වල ටික් ටොක් එකේ ට්‍රෙන්ඩ් එක මොනවද කියලා බලලා, ඒකම ඊට වඩා ටිකක් වෙනස් විදියට හරි ඊට වඩා හොඳට හරි කරන්න පුළුවන්. එහෙම කරලත් වීව්ස් ගන්න පුළුවන්.
හැමදාමත් පෝස්ට් දාමු ද?
දිනපතාම යම් කිසි අන්තර්ගතයක් සහිතව ටික් ටොක් එකට එකතු කරන්න. ඒ කියන්නේ, යලට මහට වීඩියෝස් නොදා, අඩු තරමින් දවසකට එකක් වත් දාන එක. ඇත්තටම ඔය එක්ස්පර්ට්ලා කියන විදියට, ටික් ටොක් එකේ ඇල්ගොරිදම් වැඩ කරන විදිය තමයි ඒ. ඒ කියන්නේ වීඩියෝ දාන ෆ්‍රීක්වන්සි එක වැඩි වෙන තරමට රීච් එකත් වැඩි වෙනවා.
ඒ වගේම අපේ වීඩියෝස්වලට මිනිස්සු ආසයි නම්, ඒ අය අපේ වීඩියෝස් තව තවත් බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි ඒ බලාපොරොත්තු කඩ කරනවා නම්, ඒ කියන්නේ කොච්චර හොඳ වුණත් වීඩියෝ එකක් දාන්නේ කාලෙකට සැරයක් නම්, අපිට ෆලෝවර්ස්ලා අහිමි වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා.