වර්ෂ 2025 ක්වූ May 26 වැනිදා Monday
එළවළු විජලනය සල්ලි උල්පතක්

ආහාර කල් තබාගැනීමේ තාක්ෂණය කියන්නෙ අපේ දේශීය එළවළු සහ පලතුරුවලට අලුත් අගයක් එකතු කරන විෂයයක්. මේ තාක්ෂණ විෂය අපට ගැළපෙන අයුරින් ප්‍රයෝජනයට ගත්තොත් හොඳ අාදායමක් ලබන ස්වයං රැකියාවක් ආරම්භ කරන්න පුළුවන්. මේ එළවළු සහ පලතුරු විජලන තාක්ෂණය අපේ ගෘහිණියන්ට අමුතුවෙන් කියාදිය යුතු තාක්ෂණයක් නොවෙයි. ඈත අතීතයේ සිටම අපේ අම්මලාට වසරකට වරක් හට ගන්නා එළවළු හා පලතුරු ගැන හොඳ අවබෝධයක් තිබුණා.
කොස් පලදාව හටගන්නා කාලයට කොස් ඇට, අමු කොස් වියළා ගැනීම කළේ එදා පැවැති තාක්ෂණයට අනුවයි. ඒ විතරක් නොවෙයි අඹ වාරයට, දෙහි වාරයට, රඹුටන් සෑදෙන කාලයට ඒවා කල් තබා ගන්නා ක්‍රම රැසක්ම තිබුණා.
මේ තාක්ෂණය වර්තමානයේ හුඟාක් දියුණුයි. වැලි යට දමා වේළීම, අව්වේ වේළා ගැනීම, දුම් මැස්සේ දමා වියළා ගැනීම කියන ක්‍රම සියල්ල දැන් විජලන තාක්ෂණය දක්වා දියුණු වී තිබෙන්නේ කාලානුරූපීයවයි. Dehydration නැතිනම් විජලන තාක්ෂණය ගැන දැන් වෙනදාට වඩා වැඩි උනන්දුවක් තිබෙනවා. මේ උනන්දුව වැඩිවීමට හේතු කිහිපයක්ම තිබෙනවා. එක් හේතුවක් තමයි අපේ දේශීය පලතුරු හා එළවළුවලට ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලුම. ඒ වගේම දේශීයවත් නාගරික ප්‍රදේශවල කොස්, දෙල්, අඹ වැනි දේ අඩුවීම නිසා ඇසුරුම් කළ ආහාර ප්‍රයෝජනයට ගැනීමයි.
මේ පලතුරු සහ එළවළු තාක්ෂණයට ප්‍රවේශ වෙලා ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට අපේ රටේ ගෘහිණියන්ගේ ලොකු උනන්දුවක් තිබුණත් ඒ සඳහා නිසි මඟ පෙන්වීමක් ලබාදෙන ආයතන ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා අප මෙවර එළවළු පලතුරු තාක්ෂණය ගැන නිවැරැදි මඟ පෙන්වීමක් ලබාදෙන රජයේ ආයතන කිහිපයක් ඔබට හඳුන්වා දෙන්නේ එය ඉතාමත් ප්‍රයෝජනවත් නිසයි.
විජලන තාක්ෂණය ගැන නිවැරැදිව මඟ පෙන්වීමක් ලබාදෙන ප්‍රධානම ආයතනයක් තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකය. මේ දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකය මඟින් ඉතාම වටිනා ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබෙනවා. ඒ තමයි අපතේ යන එළවළු විජලනය කිරීම. මේ ගැන අපට වඩාත් හොඳින් පැහැදිලි කළේ ගන්නෝරුව ආහාර පර්යේෂණ ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා (පර්යේෂණ) දීපිකා හෙට්ටිආරච්චි මහත්මියයි.
අපතේ යන එළවළු විජලනය කිරීමේ ක්‍රියාවලිය ක්‍රමවත්ව සිදු කරන අයුරු ඇය අපට පැහැදිලි කළේ මෙලෙසිනි.
“විජලිත නිෂ්පාදනයක් කියන්නේ අගය එකතු කළ නිෂ්පාදනයකටයි. එය තවත් හොඳින් පැහැදිලි කරනවා නම් උදාහරණයක් ලෙස සමහර කාලවලදී අැතැම් එළවළු වර්ග පලදාව ඉතාම වැඩියි. එළවළුවල ජලය 80%ක් පමණ අඩංගු වෙනවා. ඒ නිසා මේ එළවළු දින 2 -3 කින් වියළීම සිදු වෙනවා. නැතිනම් පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් වෙනවා. මෙසේ ඉතාම ඉක්මනින් නරක් වන එළවළු කල්තබා ගැනීමට හැකිනම් හොඳ ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපට පුළුවන්. මේ සඳහා අපේ රටේ වැවෙන ඕනෑම එළවළු වර්ගයක් විජලනය කිරීමෙන් කල්තබා ගැනීමේ හැකියාව තිබෙනවා. කැරට්, ලීක්ස්, බීට්, කරවිල, කොස්, කොහිල, බටු, අමුමිරිස්, සුදුලූනු, රතුලූනූ පවා විජලනය කර කල්තබා ගන්න පුළුවන්. සාමාන්‍යෙයන් විජලනය කිරීමේ සරල ක්‍රියාවලිය තමයි එම එළවළුවල ඇති ජලය ඉවත් කර ගැනීම. අප මෙලෙස විජලනය කළ එළවළු පාවිච්චියට පෙර නැවත ජලය එක්කර ගනිමින් සජලනය කර ගත යුතුයි. මෙලෙස විජලනය කිරිමේ ක්‍රියාවලිය සඳහා යොදා ගත්තේ සෙල්සියස් අංශක 50- 60ත් අතර උෂ්ණත්වය නිසා එහි ඇති පෝෂ්‍ය ගුණය කිසි අයුරකින් අඩු වෙන්නේ නැහැ. විජලනය ක්‍රියාවලියේදී අප කරන්නේ යන්ත්‍රයක් මාර්ගයෙන් 80%ක් පමණ වූ ජලය 7% දක්වා ප්‍රමාණයකට අඩු කිරිමයි.
විජලනය කළ එළවළු ඇසුරුම් කිරීම දෙවැනි පියවරයි.
මේ සඳහා ජලය උරා ගැනීමේ ප්‍රතිරෝධී ඇසුරුමක් තෝරා ගත යුතුයි. මේ සඳහා පොලි පොපිලීන් ඇසුරුම වඩාත් සුදුසුයි. මෙවැනි ඇසුරුමක එළවළු ඇසුරුම් කළ පසු මාස 06ක් වැනි කාලයක් ජලය ඇතුළු නොවී කල් තබා ගන්න පුළුවන්. ඊට අමතරව ට්‍රිපල් ලැම්නේට් ඇලුමේටට් පොලිතින් යොදා ගන්නත් හැකියාව තිබෙනවා. නමුත් මේ පොලිතින් විනිවිද පෙනීම අඩුයි. මේ ක්‍රම දෙකටම වඩා ටින් කිරීමේ ඇසුරුම් ක්‍රමයක් යොදාගන්නත් ඔබට පුළුවන්. මෙලෙස අැසුරුම් කළ එළවළු පැකැට්ටුවක නිෂ්පාදිත නම, ලිපිනය, අඩංගු ද්‍රව්‍ය, පෝෂ්‍ය පදාර්ථ හා කාණ්ඩ අංකයට අමතරව එය සකස් කර ගන්නා ආකාරය ඇතුළත් පත්‍රිකාවක් අලවා ගැනීම කළ යුතුයි. එසේම මෙය කී දෙනෙකුට ප්‍රමාණවත්දැයි සඳහන් කළ යුතුයි.
විජලන යන්ත්‍රය
ඔබ නැවුම් එළවළු නිෂ්පාදනය කිරීමේ කටයුත්ත ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට මුලින්ම ඒ සඳහා විජලන යන්ත්‍රයක් මිලදී ගත යුතු වෙයි. මෙසේ විජලන යන්ත්‍රයක් මිලදී ගැනීමට උපදෙස් ලබාදෙන රජයේ හොඳම ආයතනයක් වන්නේ රාජ්‍ය ඉංජිනේරු පර්යේෂණ ආයතනයයිි. (NERD) ජා - ඇළ, ඒකල පිහිටි මේ ආයතනය මඟින් විජලනය කිරීමේ යන්ත්‍ර කිහිපයක්ම හඳුන්වාදී තිබෙනවා. මේ තාක්ෂණය හා දැනුම ලබාගැනීම සඳහා ඕනෑම අයෙකුට අවස්ථාව තිබෙනවා. ඒ වගේම මෙලෙසින් සකස් කළ විජලන යන්ත්‍ර මිලදී ගැනීමටත් ඔබට පුළුවන්.
ඔබත් නිවෙසේ අපතේ යන එළවළු හා පලතුරු වියළීමෙන් පුංචි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලබාදෙන රජයේ ආයතනවල තොරතුරු ලබාදීමට අප සූදානම්. අපගේ දුරකතන අංක 0112 429592 අංකයට අමතා විස්තර ලබා ගන්න. මෙවන් ව්‍යාපාරයකින් ඔබගේ ජීවිතය ගොඩනඟා ගන්න.