නයි මිරිස් විජලනය

අවුරුද්දකින් ජීවිතේම ගොඩ
මැයි 5, 2025

 

නයි මිරිස් කියන්නේ අපට සල්ලි උපයන්න පුළුවන් හොඳම වගාවක්. මෙලෙසින් නයි මිරිස් වගා කිරීමෙන් මුදල් ඉපයීම ගැන මීට පෙර ලිපි ගණනාවක් අප පළ කළා. හැබැයි නයි මිරිස් වගාවට අගය එකතු කිරීමෙන් අපට සිතන්න බැරි තරම් මුදල් උපයන්න පුළුවන් බව දන්නේ බොහොම සුළු පිරිසක්.

 

අප මෙවර ඔබට මග පෙන්වීම ලබා දෙන්නේ නයි මිරිස් වගාවට අගය එකතු කිරීමෙන් මුදල් උපයා ගැනීම ගැනයි. සාමාන්‍යයෙන් පුංචි ඉඩක් ඇති නාගරික පරිසරයක උනත් නයි මිරිස් ගස් 10-15ක් ඔබට වගා කළ හැකිනම් මේ ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්.

 

මේ වගා කළ මිරිස් විජලනය කරන්න පුළුවන් නම් ලොකු මුදලක් උපයන්න පුළුවන්. ඒ සඳහා ඔබට කුඩා ප්‍රමාණයේ විජලන යන්ත්‍රයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මෙසේ විජලනය කරන මිරිස් පැකට් කිරීමට සීලරයක් තිබුණොත් මේ කටයුත්ත වඩාත්ම පහසුයි.

ඔබ මුලින්ම කළ යුත්තේ නයි මිරිස් තවානක් සාදාගෙන පැළ ලබා ගැනීමයි. මේ සඳහා ‘ස්කොඩ් බෝනට්‘ කියන නයි මිරිස් වර්ගය සඳහා හොඳ ඉල්ලුමක් පවතිනවා. මෙසේ තවාන් කළ පැළ පාත්තියක හෝ වගා මළුවල සිටුවීම දෙවැනි පියවරයි. මෙලෙසින් වගා කළ නයි මිරිස් වගාවට හොඳින් සාත්තු කළොත් මාස දෙක තුනකින් හොඳ ඵලදාවක් ලබා ගැනීම අසීරු නැහැ.

මෙලෙසින් වගා කළ නයි මිරිස් විජලනය කිරීම තමයි තුන්වෙනි පියවර. ඒ සඳහා යම් මූලික මුදලක් වැය කළ යුතුයි. හැබැයි මෙලෙසින් ඔබ මිලදී ගන්නා විජලන යන්ත්‍රයෙන් නයි මිරිස් විතරක් නෙවෙයි පලතුරු, කුළුබඩු වැනි දේ පවා වියළා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා ඔබ මූලිකව වැය කරන මේ පිරිවැය කිසිම ආකාරයකින් අපතේ යන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. මෙසේ නයි මිරිස් විජලනය කිරීමට අමතරව තවත් ව්‍යාපාරයක් සඳහා ප්‍රවේශ වීමටත් මෙය හොඳ අවස්ථාවක්.

හැබැයි මෙලෙස ඔබ විජලන යන්ත්‍රයක නයි මිරිස් විජලනය කළොත් එය වෙනත් දෙයක් විජලනය කිරීමේදී එහි ඇතුළත පිරිසුදු කර ගැනීම කළ යුතුමයි. එසේ නොවුණොත් ඔබට විශාල ගැටලු රැසකට මුහුණ දෙන්න සිදුවෙයි. සාමාන්‍යයෙන් නයි මිරිස් ගස් පනහකින් කිලෝ ග්‍රෑම් 2-3ක් ප්‍රමාණයක් ඵලදාව ලබාගත හැකි අතර ඵලදාව ලැබෙන කාලය ආරම්භ වූ පසුව අඛණ්ඩව ඵල නෙළා ගැනීමට හැකිවනු ඇත.

 

ඔබ මෙසේ මිරිස් විජලනය කළ පසු ක්‍රම දෙකකට මෙය ඇසුරුම් කළ හැකි වෙයි. ඉන් එක් ක්‍රමයක් වන්නේ කරල් පිටින්ම පැකට් කර විකිණීමයි. නැතිනම් මෙසේ විජලනය කළ මිරිස් පවුඩර් ලෙස කුඩු කර ගැනීමයි. මෙලෙසින් පැකට් කළ නයි මිරිස් සඳහා වෙළඳපොලක් සොයා ගැනීම ඊළඟ පියවරයි. ඒ සඳහා ඔබට එතරම් අසීරු කටයුත්තක් නොවෙයි. හොඳ නයි මිරිස් සඳහා දේශීයව ද හොඳ මිලක් පවතී. විශේෂයෙන් හෝටල් ක්ෂේත්‍රයේ ස්කොඩ් බෝනට් සඳහා හොඳ මිලක් පවතී.

විදේශ වෙළදපොළක් ඔබට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ ඔබගේ නිෂ්පාදන ඇතුළත් වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමයි. එය එක්වරම සිදු කිරීමට අපහසු නම් ඔබ මෙලෙසින් නයි මිරිස් වගා කර අලෙවි කරන සමාජ මාධ්‍ය ජාලයකට එකතු වන්න. එවිට ඔබට ක්ෂේත්‍රයේ පවතින ගැටලු හා මිල ගැන ඉතාම පහසුවෙන් දැන ගැනීමට හැකිවනු ඇත. තවද නවීන තාක්ෂණික මෙවලම් හා උපකරණ ගැනද ඔබට දැන ගැනීමට අවස්ථාව ලැබෙයි. තවද මෙලෙස ව්‍යාපාරික ජාලයක් සමඟ කටයුතු කිරීමේ දී මේ අයුරින් අගය එකතු කළ නිෂ්පාදනය කරන පුද්ගලයන්ගේ සාර්ථකත්වය ගැනද ඔබට අවබෝධයක් ලැබෙනු ඇත.