ගෙදර ඉඳිමින් මුදල් උපයන්න

ජුනි 2, 2025

 

නිර්මාණශීලි කාන්තාවකට තම හැකියාව වෙනුවෙන් ඇති අවස්ථා අනන්තයි. හැබැයි ඒ අවස්ථාව ඉබේ ඔබේ අතට ළඟා වෙන්නේ නැහැ. ඔබ ඒ වෙනුවෙන් කැපවෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි කාලයක් ගත කරමින් මහන්සි විය යුතුයි. සෑම කාන්තාවක්ම උත්සාහ කරන්නේ තමුන්ගේ නි‍ෙවසේ වැඩකටයුතු කරමින් අමතර මුදලක් සොයා ගන්න. මෙලෙසින් සිතන පතන ඔබට නිදහස් ස්වයං රැකියාවක් තමයි event plan කිරීම. මෙය තවමත් අපේ රටට තරමක් නුහුරු ස්වයං රැකියාවක් වුණත් බොහෝ රටවල උත්සව සංවිධානය කිරීම සඳහා අවස්ථා රාශියක්ම තියෙනවා.

 

හැබැයි මේ event plan, නැතිනම් උත්සව සංවිධානය කිරීමේ ප්‍රවණතාවය අපේ රටේත් දක්නට ලැබෙනවා. රැකියා කරන ගෘහිණියන් කාර්යබහුලයි. ඒ නිසා නිවෙසක උත්සවයක් සැලසුම් කර ගැනීම තරමක් අසීරු කටයුත්තක්. ඒ විතරක් නෙවෙයි ඒ සඳහා අවශ්‍ය උපකරණ සොයා ගැනීමත් අපහසු නිසා දැන් නාගරික ප්‍රදේශවල පමණක් නොවෙයි අර්ධ නාගරික, ග්‍රාමීය ප්‍රදේශවල පවා පවත්වන උත්සව සංවිධානය කිරීම හා කෑම සැපයීම catering services කටයුත්ත වෙනත් කෙනෙකුට භාර දෙනවා.

 

මෙවැනි උත්සව සංවිධානය කිරීමේ හෝ කෑම සැපයීමේ ආයතනයක් ආරම්භ කිරීම එක්වරම ඔබට ආරම්භ කළ නොහැකියි. ඒ සඳහා යම් පසුබිමක් හා ව්‍යාපාර ජාලයක් මුලින්ම නිර්මාණය කර ගැනීම කළ යුතුයි.

 

උදාහරණයක් ලෙස ඔබ ග්‍රාමීය ප්‍රදේශයක පදිංචි නම් ඒ ප්‍රදේශයේ වැඩි වශයෙන් පවත්වන උත්සව හා වැඩසටහන් ගැන පුංචි සමීක්ෂණයක් කළ යුතුයි. එම උත්සව සංවිධානය කිරීමේදී ඒ සඳහා අවශ්‍ය වන්නේ මොනවාද ඒ උපකරණ සපයා ගැනීම සඳහා සේවාදායකයාට අවශ්‍ය වෙන බඩු භාණ්ඩ හා සේවය කුමක්දැයි ඔබ මුලින්ම අධ්‍යයනය කළ යුතුයි.

බොහෝවිට සෑම ගමකම අවමංගල උත්සවයට පසුව දානය පිරිනැමීම හා බණ දේශනා කිරීමේ වැඩසටහනක් පවත්වනු ලබයි. එවැනි අවස්ථාවක එම උත්සවය සඳහා සහභාගි වන ආරාධිතයින්ට කෑම වේලක් පිරිනැමීම සාමාන්‍ය සිරිතකි. මේ කටයුත්ත ඉතාම හොඳින් සාධාරණ මුදලකට ඉටුකර දීමේ කටයුත්ත ඔබට සිදු කළ හැකිනම් ඒ සඳහා අවස්ථා බොහෝ පවතී. මේ ආකාරයෙන් සෑම ප්‍රදේශයක්ම විවිධ ආයතනවල සහ නිවාසවල උපන්දින උත්සව, මංගල උත්සව, සැමරුම් උත්සව, අවමංගල උත්සව හා දානමය වැඩසටහන් නිරතුරුවම පවත්වයි.

 

මේ සඳහා මුලින්ම ප්‍රවේශ වීම සඳහා ඔබ මූලිකවම භාණ්ඩ කීපයක් මිලදී ගත යුතු වෙයි. ආහාර බෙදීමේ බුෆේ කට්ටලයක්, පිඟන්, හැඳි, මේස ඇතිරිලි ආදිය ඔබට මුලින්ම මිලදී ගැනීමට සිදු වෙයි.

 

ඔබට මෙවැනි උපකරණ කට්ටල කිහිපයක් මිලදී ගැනීමට යම් ප්‍රාග්ධනයක් වැය වෙයි නම් එම උපකරණ කුලියට ලබාගන්නා ස්ථානයකින් මුලින්ම ඔබට කුලියට ගැනීමට සිදුවෙයි. ඔබට මුලින්ම මෙවැනි උපකරණ කට්ටල මිලදී ගැනීමක් කිරීමට වඩා ඔබගේ ව්‍යාපාරය යම් ස්ථාවරත්වයක් ලබා ඔබට උත්සව සඳහා ඇණවුම් කිහිපයක් ලැබෙන තුරු මෙසේ කුලියට ගැනීමද නුවණක්කාර ක්‍රියාවකි. මෙසේ මුලින් වෙනත් ස්ථානයකින් උපකරණ ලබාගෙන උත්සව කිහිපයක් සංවිධානය කිරීමේදී ඔබට ප්‍රාෙයා්ගිකව මතුවන ගැටලු ගැන අවබෝධයක් ලැබෙයි. එසේම ඔබගේ සේවාදායකයාට ගැළපෙන අයුරින් සේවය සැපයීමට අවශ්‍ය වන උපකරණ හා සේවාවන් ගැන ද අවබෝධයක් ලැබෙයි.

 

ඇතැම් විට මෙවැනි උත්සවයක් සංවිධානය කිරීමේදී සේවාදායකයාට ශබ්දවාහනී යන්ත්‍ර ද අවශ්‍ය වෙයි. එවැනි උපකරණද ඔබට ටික කාලයක් මේ ව්‍යාපාරය කරගෙන යෑමේදී කුලියට ලබාදීමට හැකියාව තිබේ. තවද උත්සව සඳහා අවශ්‍ය කැනපි, පුටු හා පුටු ආවරණ ද ඔබට සැපයීමට හැකියාව තිබේ නම්, මෙවැනි උත්සව වැඩසටහන් සංවිධානය කිරීමේ ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට කදිම අවස්ථාවකි.

 

මෙවැනි වැඩසටහන්, උත්සව සංවිධානය කිරීමේ ව්‍යාපාරයක් සැලසුම් කිරීමට ඔබට තවත් අයගේ සහයෝගය ලබා ගැනීමට ඇතැම් විට සිදු වෙයි. උදාහරණයක් ලෙස ඔබට මංගල උත්සවයක් සංවිධානය කිරීමේ කටයුත්තක් පැවරුණේ නම් ඒ සඳහා හෝටලය, සැරසිලි, මංගල අෂ්ටක, පෝරු, සෙටි බැක්, මල් සැරසිලි ආදිය සඳහා තවත් ආයතන කිහිපයක සහයෝගය ගැනීමට සිදුවනු ඇත. ඒ සඳහා ඔබ මේ සෑම කටයුත්තක් සඳහාම දක්ෂ පළපුරුදු පිරිසකගේ ජාලයක් සකස් කර ගන්න.

 

එම පිරිසේ අයකිරීම, මිල ගැන හොඳ අවබෝධයක් ඇතිව මේ කටයුතු සංවිධානය කිරීමේ හැකියාව මත ඔබගේ ව්‍යාපාරයේ දියුණුව පවතී. එසේ ඔබ ව්‍යාපාර ජාලයක් නිර්මාණය කර ගත් පසුව සේවාදායකයා හට හොඳ පැකේජයක් ලබාදීමට ඔබට හැකිවෙයි. මෙසේ ඔබගේ සේවාදායකයාට පැකේජයක් ලබාදීමේදී මෙවැනි කටයුතු සංවිධානය කරන තරගකාරී ආයතනයක් හෝ පුද්ගලයෙක් ද ඔබට වඩා අඩු මිල ගණන් යටතේ ඇස්තමේන්තුවක් ලබාදීමට ඉඩ ඇත. එසේ තරගකාරී මිල ගණන් යටතේ ඔබගේ සේවාදායකයා මිල සැසදීමේදී ඔබ වඩාත් හොඳ සේවයක් සැපයීම සඳහා වගබලා ගත යුතුයි. අඩු මිලකට ගුණාත්මක බව අඩු සේවයක් සැපයීමට වඩා ඔබට උපරිම සේවයක් ලබාදිය හැකි සාධාරණ මිලක් සේවාදායකයාට සැපයීම මෙම කටයුත්ත සාර්ථකත්වයට හේතුවන ප්‍රධාන සාධකයකි.

 

එසේම තරගකාරී ලෙස සේවය සැපයීමේදී තම ව්‍යාපාර ජාලය දියුණු කර ගැනීම සඳහා ආකර්ෂණීය වෙළඳ උපක්‍රමද අනුගමනය කිරීම වැදගත් වෙයි. ඔබ උත්සවයක් සංවිධානය කිරීමේදී එහි කෑමබීම සැපයීමද භාර ගත්තා නම් එය ඉතා හොඳින් රසවත් ලෙසින් සිදු කරන්න. කිසියම් ආයතනයක වැඩසටහනක් සංවිධානය කිරීමට භාරගත්තා නම් එය මුල සිටම ඉතාම හොඳින් සැලසුම් කරන්න. එසේම උත්සවයේ සෑම කටයුත්තක්ම ඉතාම හොඳින් අධීක්ෂණය කරන්න. ඇතිවන අඩුපාඩු හා අතපසු වීම් සෑමවිටම එම අවස්ථාවේම විසඳා ගැනීමට පියවර ගන්න. එසේම උත්සවයේ කටයුතු ආරම්භ කිරීමට පෙර මූලික පිරිවැය සඳහා අත්තිකාරම් මුදලක් ලබාගන්න.

 

මෙම කටයුත්ත විශ්වාසය මත පදනම් වූ ව්‍යාපාරයක් නිසා සෑම විටම ඔබගේ විශ්වාසය පළුදු වීමට ඉඩ නොතබන්න. කිසිදි‍ෙනක ඔබ අතින් අඩුපාඩුවක් සිදු නොවීමට වග බලාගන්න. තවද අවදානමක් සහිත කටයුතු සඳහා ඔබ ඉදිරිපත් නොවන්න. උදාහරණයක් ලෙස උත්සවයේ ආරාධිතයින් සඳහා ආරාධනය කිරීම හා සෙනඟ රැස්කිරීමේ කටයුතු ඔබ භාර ගැනීම අවදානමකි. මෙවැනි කටයුත්තක් භාර ගත් විට එය සාර්ථක වීම හෝ අසාර්ථක වීම පිළිබඳ අවිනිශ්චිතය. එවැනි අවිනිශ්චිත කටයුතු සඳහා ඔබගේ දායකත්වය ලබාදීම මෙවැනි ව්‍යාපාරයක අවදානමකි.