ජපානයේ වේගයෙන් පැතිරෙන අලුත් ම කෝවිඩ් මාරයා

R.1
සැප්තැම්බර් 29, 2021

 

මුහුණු ආවරණ නිසා ප්‍රතිශක්තිය අඩුවන බවට ඇති මතය බොරු

ඉමක් කොනක් නැති සංසාරය වගේ කෝවිඩ් - 19 න් ද ගැලවීමක් නැති පාටය. එක් ප්‍රභේදයකින් ලෝකවාසීන් බැටකද්දී නව ප්‍රභේද එකක් ගැන නොව දෙක තුනක් ගැනම ආරංචි ලැබෙයි. මියු ප්‍රභේදයේ ස්වභාවය අධ්‍යයනය කරමින් පවතිද්දී අලුතින්ම තවත් ප්‍රභේදයක් ගැන වාර්තා වී තිබෙයි. ඒ R.1 ප්‍රභේදයයි. මේ ප්‍රභේදය මුලින්ම හමුවී තිබෙන්නේ ජපානයෙනි. දැන් එය අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ සාත්තු නිවාසයකිනි. සාත්තු නිවාසයේ පදිංචිකරුවන්ට හා සෞඛ්‍ය සේවකයන් හතළිස් පස් දෙනකුට නව ප්‍රභේදය ආසාදනය වී ඇත. මේ ප්‍රභේදයට ද එන්නතින් ඇතිවන ප්‍රතිදේහ පරාජය කිරීමේ හැකියාව තිබෙයි. දැනට ලොව 10,000 කට වැඩි පිරිසකට නව වෛරසය ආසාදිත වී තිබෙයි. මෙය ඩෙල්ටා, ඇල්ෆා, බීටා, හා ගැමාවලට වඩා වේගයෙන් පැතිරෙන සුලුය. අමෙරිකාවටත් වඩා වේගයෙන් අලුත් ප්‍රභේදය ජපානයේ පැතිරෙමින් පවතියි.

මේ අතර මියු ප්‍රභේදය ආසාදිත වූවන් ද ජපානයෙන් හමුවී තිබෙයි. ජපානයට මියු නව වෛරස් ප්‍රභේදය පැමිණ තිබෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පැමිණි රෝග ලකුණු පෙන්නුම් නො කරන කාන්තාවකගෙනි.

--------------------

මුහුණු ආවරණ පලඳිද්දී මේ ගැනත් සිතිය යුතුයි.

මුහුණු ආවරණ පැලඳීම කෝවිඩ් වසංගතයෙන් බේරීමට ගත හැකි හොඳම ආරක්ෂක පියවරකි. එහෙත් සමහරු බියෙන් මුහුණු ආවරණ පලඳින්නේ එයින් කාබන්ඩයොක්සයිඩ් විස වීමක් ඇති වේදැයි බියෙනි. ඒ වාගේම සිරුරට අවශ්‍ය තරම් ඔක්සිජන් නො ලැබේවියි යන බිය ද බොහෝ දෙනකුට පවතියි. පර්යේෂකයන් පවසන අන්දමට පෙණහලු රෝගවලින් පීඩා විඳින්නන්ට පවා මෙයින් ගැටලුවක් ඇති වන්නේ නැත. මුහුණු ආවරණ දිගින් දිගටම පලඳා ගෙන සිටින විට හුස්ම ගැනීම යම් ආයාසයකින් කිරීමට සිදුව තිබෙයි. එහෙත් එසේ සිදු වන්නේ වායු විස වීමකින් නො වෙයි. නාසයට ඇතුළු වන වාතයට මුහුණු ආවරණය නිසා බාධා සිදු වීමෙනි. මීට කළ යුත්තේ දුරස්ථ භාවය ඇති ආරක්ෂක ස්ථානයකදී මුහුණු ආවරණය ඉවත් කර මඳ අස්වැසිල්ලක් ලැබීමය.

මුහුණු ආවරණ සාදා ඇත්තේ හුස්ම එහා මෙහා යන ආකාරයේ රෙදිවලිනි. ඒ නිසා ඔක්සිජන් සීමා වීමක් සිදු නො වෙයි. සමාජ ජාලා අතර හුවමාරු වන පුවතක් වන්නේ මුහුණු ආවරණ නිසා ප්‍රතිශක්තිය අඩුවන බවට ඇති මතයයි. එහි ද කිසිදු සත්‍යයක් නො මැත. එමෙන්ම මුහුණු ආවරණවල ඇති රසායන පෙණහලු පිළිකා සෑදීමේ අවදානම වැඩ කරන බවට ඇති මතයේ ද කිසිදු සත්‍යතාවක් නො මැත.

-------------------

වෛරස් ප්‍රතිරෝධී ඔසු රෝහල්ගත වීමේ අවදානම අඩු කරයි.

 

කල් ඇතිවම වෛරස් ප්‍රතිරෝධී ඔසුවක් වන remdesivir ලබා දීමෙන් රෝගීන්ට රෝහල්ගත වීමේ අවදානම අඩු බව සොයා ගෙන තිබෙයි. සියයට අසූ හතකින්ම රෝහල්ගතවීමේ අවදානම අඩුකරන බව පර්යේෂකයෝ පවසති.

 

----------------

ෆයිසර්, ඇස්ට්‍රසෙනිකා එන්නත් මාත්‍රා මිශ්‍ර කිරීමෙන් වැඩි ප්‍රතිශක්තියක් ලැබෙන බවද දැන් සොයාගෙන තිබෙනවා.

 

ඇස්ට්‍රසෙනිකා මාත්‍රා දෙකක් ගැනීමට වඩා ෆයිසර් මාත්‍රාවක් හා ඇස්ට්‍රසෙනිකා මාත්‍රාවක් ලෙස මිශ්‍ර කරගැනීමෙන් වඩා වැඩි ප්‍රතිශක්තියක් ලබා ගත හැකි බව හෙළිවී තිබෙයි. මෙය නව ප්‍රභේදවලින් අනාගතයේදී දැනට වඩා අපට රැකවරණයක් ලැබිය හැකි බවට ඉඟියක් වන්නේ නම් කෙතරම් අපූරුද? එහෙත් තවමත් එවැනි සවිමත් රැකවරණයක් ලබා ගත හැකි බව නම් සහතික කර නැත.

 

 

-------------------

අනාගතයේදී කෑමට ගන්නා කෝවිඩ් එන්නතක්

කෝවිඩ් එන්නත් ගත් බොහෝ දෙනකු ගේ මැසිවිල්ලක් වූයේ එන්නත් කළ තැන ඇති වන වේදනාවයි. මේ කරදරෙන් බේරෙන්නත් එන්නත් ගැනීම‍ට ඇති බිය ඇති අයට බිය නැතිව ප්‍රතිශක්තිය ඇති කරගැනිමටත් අනාගතයේදී ඉඩ සැලසෙනු ඇත. ෆයිසර් , මොඩර්නා එන්නත් නිපදවූ තාක්ෂණය ම යොදා ගෙන අමෙරිකාවේ කැලිෆෝනියානු සරසවියේ පර්යේෂකයන් කෑමට ගත හැකි ආකාරයේ ශාකමය එන්නතක් නිපදවමින් සිටියි.

මේ එන්නත අඩු ආදායම් ලාභීන්ට ප්‍රතිශක්තිය ඇතිකර ගතහැකි කදිම මඟක් වනු ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි. එන්නතකට වඩා මෙය පහසුවෙන් ජීර්ණය වන බව විද්‍යාඥයන් පවසයි. එමෙන්ම මෙවැනි ආහාරයට ගත හැකි එන්නතක් ප්‍රවාහනය කිරීම ද ගබඩා කිරීම ද පහසුය. නිවිති හා සලාද කොළවල අඩංගු ක්ලෝරොප්ලාට්ස් සෛලවලට ශාකයේ කොටසක් නො වන ජාන රැගෙන යාමේ හැකියාවක් ඇති අතර මෙවැනි ශාක විද්‍යාඥයන් පර්යේෂණයට යොදා ගෙන තිබෙයි.

 

අන්තර්ජාලයෙනි