මුඛ සෞඛ්‍ය බලපාන්නේ මුඛයට පමණක්මද?

අප්‍රේල් 7, 2025

 

ඔබත් මුඛ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්නේ කැක්කුමක් වේදනාවක් ඇතිවූ විට පමණද?

යහපත් මුඛ සෞඛ්‍යයක් අපේ මනස කෙරෙහි බලපාන්නේ කෙසේද? මුඛ සෞඛ්‍ය අපේ පෞරුෂ වර්ධනය කෙරෙහි ඍජුවම බලපායි. වචන උච්චාරණයේ ගැටලුවක් නිසි ලෙස ආහාර ගැනීමට නොහැකි වීම මෙහි ප්‍රතිඵලයයි.

* අපේ ජනගහනයෙන් දිනකට දෙවරක් දත් මදින්නේ සියයට 50ක පිරිසකි.

* සෑම ⁣දෙදෙනකුගෙන් එක් අයෙක්ම රාත්‍රී කාලයේ දත් මදින්නේ නැත.

* දරුවන් මෙන්ම වැඩිහිටියන් නින්දට පෙර දත් මැදීම අත්‍යවශ්‍ය සෞඛ්‍ය පුරුද්දකි.

* ලෝකයේ ජනගහනයෙන් මිලියන 3.5 ක්ම මුඛ රෝග නිසා පීඩා විඳී.

* ලොව සුලබම රෝග ඇත්නම් ඒවා දන්ත රෝගයි.

* මුඛ රෝගවල ප්‍රධානම රෝගය දත් දිරායෑමයි. එසේ නම් ලොව බහුලවම ඇති රෝගය වන්නේ දත් දිරා යෑමයි.

* දත් දිරා යෑම සුළුවෙන් පටන් ගෙන කුහර ඇතිවීම, කැක්කුම්, ඉදිමීම් ඇතිවේ.

* වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් සියයට 63ගේම දත් දිරා යයි.

* දත් දිරා යෑම පටන් ගන්නේ සුදු ලප ඇතිවීමෙනි.

මෙය එතරම් ගණන් නොගත්තත් මේ අවස්ථාවේදීම දන්ත සායනයකට එක්වන්නේ නම් සායනවල සිදු කරන ෆ්ලෝරයිඩ් ප්‍රතිකාර මඟින් සුව කර ගැනීම පහසුවේ.

දත ප්‍රකෘති තත්ත්වයට පත් කරගත හැකි වේ. නමුත් මේ අවස්ථාව දෙමව්පියන්ට මඟහැරේ. කුහර ඇති වී වේදනාවන් ඇති වූ විට දන්ත සායන කරා යොමුවීමට  බොහෝ දෙනා පුරුදුව සිටී.

 

දත් දිරා යෑමට ප්‍රධානම හේතු

 

* දත් දිරා යෑමට ප්‍රධානම හේතුව අපේ ආහාරයේ ඇති සීනි සහ ඇලෙන සුළු පිටි සහිත ද්‍රව්‍යයි මේ ආහාර අපේ පරිභෝජනයේ වැඩි වශයෙන් පවතී.

* අපේ රටේ එක් පුද්ගලයෙක් වසරකට සීනි කිලෝග්‍රෑම් 34 ක් ආහාරයට ගනී. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ නීරෝගිව සිටීම සඳහා වසරකට ගත යුත්තේ සීනි කිලෝග්‍රෑම් 10ක් බවයි.

 

 

ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිත කිරීම

 

* ෆ්ලෝරයිඩ් දන්තාලේප පාවිච්චි නොකිරීම දත් දිරා යෑමට තවත් හේතුවකි. අපේ රටේ එය යම් සතුටුදායක තත්ත්වයක පවතී. ජනගහනයෙන් සියයට 75ක් පමණ ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප පාවිච්චි කරති. සියයට 25 ක පමණ ප්‍රමාණයක් තවමත් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප පාවිච්චි නොකරයි. ෆ්ලෝරයිඩ්වල රැකවරණය ලබා ගැනීම මූලික මිනිස් අයිතිවාසිකමකි.

* පසුගිය ශත වර්ෂය තුළ මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැදගත්ම සොයාගැනීම වන්නේ දත්වලට ෆ්ලෝරයිඩ්වල ඇති බලපෑමයි.

* එසේ නම් ඔබ පාවිච්චි කරන දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් අඩංගු වීම අත්‍යවශ්‍ය අංගයකි.

* දියුණු රටවල වතුරට ෆ්ලෝරයිඩ් එකතු කරයි.

* ඔවුන් පාවිච්චි කරන්නේ ෆ්ලෝරනීකෘත වතුර යි.

* අපේ රටේ ජනගහනයෙන් සියයට 50ක පමණ පිරිසක් පමණක් නළ ජලය භාවිත කරයි. මේ නිසා නළ ජලයට ෆ්ලෝරයිඩ් එකතු කළත් සමස්ත මහජනතාවටම එහි බලපෑමක් ඇති වන්නේ නැත. ජලයට ෆ්ලෝරයිඩ් එකතු කිරීම ප්‍රායෝගික නොවන්නේ මේ නිසයි. ජලයට ෆ්ලෝරයිඩ් එකතු කිරීම සඳහා විශාල තාක්ෂණයක්ද අවශ්‍ය වේ. එසේනම් අපේ රටේ ෆ්ලෝරයිඩ් ගතහැකි හොඳම මාධ්‍ය වන්නේ ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප පාවිච්චි කිරීමයි.

 

 

දත දියවී යෑම

 

බටහිර පන්නයේ ආහාර රටාවන් සමඟින් දත් දියවීම සිදුවේ. මෙය දත් දිරා යෑම නොව මුඛයට ඇතුළු වන රසායනික ද්‍රව්‍ය නිසා දතේ මතුපිට ඇති එනමලය දියවී යයි. පැණි බීම භාවිතය (Carbanated Bevareges - බෝතලය කැඩූ විට පෙන නඟින දෑ) මේ සඳහා ඍජුවම බලපායි. මේවා අතිශයින්ම ආම්ලිකයි. PH අගය අඩුවේ. ජලයෙහි PH අගය 7කි. PH අගය අඩුවන විට ආම්ලික බව වැඩිවේ. පැණි බීමවල PH අගය බොහෝ විට 3ක් පමණ වේ.

එකම වෙළෙඳ නාමයකින් යුත් පැණි බීම වර්ගයක් ගත්විට විදෙස් රටවල ඇති එම පැණිබීම බෝතලේට වඩා අපේ රටේ ඇති පැණි බීම බෝතලයෙහි PH අගය අඩුවේ. ආම්ලික බව වැඩිවේ. යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමට පැණිබීම භාවිතය කොහෙත්ම සුදුසු නොවේ.

පාසල්වල ආපණශාලාවන්හි පැණි බීම අලෙවි කළ නොහැකියි. එසේ අලෙවි කිරීම නීති විරෝධී වේ.

විදුරු මස් රෝග

 

 

මෙය වැඩිහිටි ජනගහනයේ මුඛ සෞඛ්‍ය ගැටලුවකි. වැඩිහිටියන් සහ වයෝවෘද්ධ පුද්ගලයින්ගෙන් සියයට 50ක් පමණ විදුරු මස් රෝග නිසා පීඩා විඳී.

දතේ සම්බන්ධය හෙවත් විදුරු මස රෝගී වීම නිසා හොඳ දත් මුඛයෙන් ඉවත් වී යයි. දත දිරාගොස් ගලවන්නට සිදුවීම සෑහීමට පත්විය හැකි කරුණක් වුවත් දත හොඳින් තිබියදී දත සම්බන්ධක පටලයේ ගැටලුවක් නිසා මුඛයට දත අහිමිවීම අපරාධයකි.

 

නීරෝගි විදුරු මසක් දොඩම් ලෙල්ලක ස්වරූපය ගතයුතුයි. විදුරු මස රෝගී වන්නේ නම් දොඩම් ලෙල්ලෙ මෙන් දිලිසි දිලිසි තිබීම දක්නට නොලැබේවි.

විදුරු මස රෝගී වීමේ මුල් අවස්ථාව විදුරු මස ඉදිමීමයි. දත් මදින විට රුධිරය පිටවීම සිදුවේවි. එහෙත් තවමත් මුල් අවස්ථාවේ පවතින නිසා පටක වලට හානි සිදුවී නොමැත.

දෙවැනි අවස්ථාවේදී පටක හානිය සිදුවීම අරඹයි.

විදුරු මස් රෝග වල මුල් අවස්ථාවම හඳුනාගතහොත් මේ තත්ත්වය වළකා ගත හැකි වනු ඇත. දත් මදිද්දී දත් මුල් වලින් එනම් විදුරු මසින් රුධිරය ගලායන්නේ නම් එය සුව කළ හැකි මුල්ම අවස්ථාවේ පවතින්නකි. ඒත් බොහෝ දෙනා මෙම අවස්ථාව මඟහැර ගනී.

 

දන්තාලේපවලින් මුඛය වැසුණු පසු විදුරුමසින් සිදුවන සුළු රුධිරය ගලායෑම් හඳුනාගත නොහැකි වේවි. මේ නිසා මසකට වරක්වත් දත් බෙහෙත් නොමැතිව දත් මැද බලන්න. රුධිරය ගලන්නේ නම් අනිවාර්යයෙන්ම විදුරුමස සම්බන්ධව ගැටලුවක් ඇත.

දත් අතර බැඳෙන දන්තපත නිසි ලෙස ඉවත් නොකිරීම විදුරුමස් රෝගවලට හේතුවකි. ඒවා සුදු පැහැයෙන් ඇති නිසා බැලූ බැල්මට නොපෙනේවී. දන්ත සායන වලදී දන්තපත වර්ණ ගන්වා බලයි. දන්තපත ඉවත් නොවුණී නම් කෙළවල ඇති කැල්සියම් සහ වෙනත් රසායනික සංඝටක සමඟ එකතු වී දන්ත අශ්මිය(Calculas) සාදයි. දන්ත අශ්මිය ඉතාම ඝනව පිහිටයි. එය ඉවත් කිරීමට නම් දන්ත සායනවලට ගොස් අදාළ උපකරණ භාවිත කළ යුතුවේ. මේවා දත් බුරුසුවෙන් දත් මැද්දාට ඉවත් වන්නේ නැත. දරුණු විදුරුමස් රෝග ඇති නොවන්නට නම් යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම අතිශය වැදගත් වේ.

දුම් පානය සහ දියවැඩියාවද විදුරුමස් රෝග සඳහා බලපායි.

 

උපදෙස් :

ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය

නිලන්ත රත්නායක

 

 

 

[email protected]