රෝග රැසකට සුවය සදන අනෝදා

ජුනි 23, 2025

අනෝදා යනු ඖෂධයකි. අප දන්නා පරිදි අනෝදා ගෙඩිය පමණක් ආහාරයට ගත්ත ද අනෝදා ශාකයේ පත්‍රය ද තේ වැනි බීම නිෂ්පාදනය සඳහා යොදා ගනී. අනෝදා ශාක පත්‍රයෙන් නිපදවන තේ පානය දියවැඩියාව, පිළිකාව, ආතරයිටිස් හා උෂ්ණාධික රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිත කරයි.


ගැමි පරිසරයන්හි බහුලව දක්නට ලැබෙන මෙම පලතුර දේශීය වෛද්‍ය විද්‍යාවේදී (ආයුර්වේද) ඖෂධයක් හැටියටත් භාවිත කරනවා. අනෝදා රෝග නාශක ගුණයෙන් ද යුතුයි.

ආයුර්වේදයට අනුව අනෝදා වර්ග තුනක් තිබෙනවා. ඒ කටු අනෝදා, සීනි අනෝදා සහ වැලි අනෝදා යන්නයි. අනෝදා ඵලයක ‍පෝෂණ ගුණය ගත්තම සීනි, ‍පොටෑසියම්, සෝඩියම්, යකඩ, මැග්නීසියම්, විටමින් ඒ, විටමින් බි, වගේම විටමින් සී වැනි ‍පෝෂණ ගුණාංග ද එහි සමන්විතයි. ඒ වගේම අනෝදාවලටම ආවේණික වූ රසායන විශේෂයක් ද පවතිනවා.

ඖෂධීය ගුණ රාශියකින් සමන්විත වුවත්, ශ්‍රී ලංකාව තුළ මෙය තවමත් ඌන පරිභෝජනයට ලක්ව ඇති පලතුරක් ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ අතරමැදි හා වියළි කලාපයන්හි කටු අනෝදා ව්‍යාප්තිය බහුලව දැකිය හැකිය. කටු අනෝදා ඵලයෙහි ආහාරයට ගතහැකි කොටසින් 100g ක් තුළ කාබෝහයිඩ්‍රේට් 17g ක්, ප්‍රෝටීන 1g ක්, ලිපිඩ 0.7gක්, තන්තු 6gක් අඩංගු වේ.

මෙය විටමින් C බහුලව අඩංගු පළතුරකි. මීට අමතරව පොටෑසියම්, පොස්පරස්, කැල්සියම්, සින්ක්, සෝඩියම් , මැග්නීසියම්, යකඩ වැනි ඛනිජ ලවණවලින් ද අනුන වේ.
කටු අනෝදා පිළිකා නාශක, බැක්ටීරියා සහ වයිරස් නාශක, දියවැඩියාව දුරලීමේ, පාචනය සමනය කිරීමේ සහ ආහාර මාර්ගයේ තුවාල ඇති වීම වැළැක්වීමේ (antiulcer) හැකියාව දරනවා.
කටු අනෝදා නිතරම ආහාරයට ගත්තොත් පිළිකා සෛල වර්ධනය වීමේ හැකියාව අඩු කිරීමට පුළුවන් බැව් දැන් අනාවරණය වී තිබෙනවා. මෙක්සිකෝවේ කටු අනෝදා හැදෙන ප්‍රදේශවල ජනතාවට පිළිකා රෝගය පැතිරීම වගේම වැලඳීමත් අඩු බැව් බටහිර පර්යේෂණ මඟින් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් මේ බව කියන්නේ නිකම්ම නොවෙයි.

acetogenins, quinolones වැනි ස්වාභාවික පිළිකා සෛල නාශක හැකියාවක් කටු අනෝදා පලතුරට තිබෙනවා. ඒ නිසාම පිළිකාව වැලඳෙන මුල් කාලයේදී වුණත්, කටු අනෝදා ආහාරයට ගත්තොත් ප්‍රතිඵලදායකයි.

අද බටහිර ජාතිකයන් කටු අනෝදා ආශ්‍රිතව පර්යේෂණ ගණනාවක් සිදු කර තිබෙනවා. මේ කොළ වියළා ගෙන පාප්පයක් වගේ සකස් කරගෙන පාවිච්චි කිරීමට තරම්ම ඔවුන් මෙහි ගුණ හඳුනාගෙන අවසානයි. එක්සිමා (ECZEMA) වැනි අසාත්මිකතාවන්හිදී කටු අනෝදා පත්‍ර ඇල්දියෙන් අඹරාගෙන ආලේප කරනවා.

කටු අනෝදා විටමින් C බහුල පලතුරක් නිසා සිරුරේ විෂහරණයට, ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමේ හැකියාවෙන් යුක්තයි. ලවණ ගතියෙන් යුක්ත නිසා වමනය, පාචනය වැනි අවස්ථාවලදී ඇති වෙන විජලනයට ගුණයි. එවැනි අවස්ථාවන්හිදී සිරුරේ (Electrolyte Balance) සමතුලිතාව ඇති කරනවා.

අද හැම තැනම ඇහෙන ගැස්ට්‍රයිටිස් රෝගයට බොහොම ගුණයි. ඒ වගේම බඩවැල් පිරිසුදු කිරීමේ ගුණයෙන් යුක්තයි. ඒ නිසාම මලබද්ධය වළක්වනවා. වකුගඩු ගල් ඇතිවීම වගේම මුත්‍රා ගල් ඉවත් කිරීමේ හැකියාව කටු අනෝදාවලට තිබෙන බැව් බොහෝ රෝගීන් ඔවුන්ගේ අත්දැකීම්වලින් කියනවා. මූත්‍රා ගල් කුඩු කිරීමට දින නියම වුණ බොහෝ රෝගීන් කටු අනෝදා ආහාරයට ගැනීමෙන් පසුව ඔවුන්ගේ මූත්‍රා ගල් පිටවූ බැව් චිකිත්සාගාරයේදී පවසා සිටිනවා.

ඒ විතරක් නොවෙයි, රුධිරගත සීනි සහ අධිරුධිර පීඩන තත්ත්වයත් පාලනය කර ගැනීමටත් පුළුවනි.

කටු අනෝදා බීමක් විදිහටත් පිළියෙල කරගන්න පුළුවනි. මේ වෙනුවෙන් ඉතින් “ජූස් බාර්” වෙතට යන්න කලබල වෙන්න එපා. ඔබට නි‍ෙවසේදීම මේ පානය ඉතා පහසුවෙන් සකස් කර ගන්න පුළුවනි. ඇට ඉවත් කර ගත් කටු අනෝදා ගෙඩියකින් කොටසක් සීනි සමඟ මිශ්‍ර කර වතුර කෝප්ප කාලක් පමණ එකතු කරලා බ්ලෙන්ඩර් කරන්න. සීනි නැතුවත්
පුළුවනි. කටු අනෝදා ගෙඩිය ඉදෙන්න පෙරාතුව පොතු ඉවත් කර ලුණු, මිරිස් ආදිය පදමට දමා ව්‍යංජනයක් විදිහට හදාගන්නත් පුළුවනි.

වයස් භේදයකින් තොරව කටු අනෝදාවලට සෑමදෙනාම පාහේ ප්‍රිය කරනවා. වසරකට දෙවතාවක් ඵල හටගන්නා කටු අනෝදා ශාකය සෑම පළාතකම පාහේ දැකිය හැකියි. මෙහි ඇති ගුණය පිළිබඳ අවාසනාවකට අද බොහෝ දෙනා දන්නේ නැත. අනෝදා ශාකයේ ගෙඩි, මල්, ඇට, පොතු සහ කොළ යන පංචාංගයම ඖෂධ සෑදීම සඳහා යොදාගන්නවා. කෙටියෙන්ම කිවහොත් ඔබ අනෝදා ශාකයක් නි‍ෙවසේ රෝපණය කරගන්නවා යනු නි‍ෙවසේ වෛද්‍යවරයෙක් සිටිනවා වැනියි. විස රසායනික යෙදීමක් සිදු නොවන නිසා උපරිම ගුණයක් සිරුරට මෙමඟින් ලබාදෙනවා. පලතුරක් ලෙස ද, කටු සහ ලෙල්ල ඉවත් කර කිරි සහ ජලය යොදා බ්ලෙන්ඩර් කරගෙන මිහිරි පානයක් ලෙස ද එමෙන්ම වෑංජනයක් ලෙස ද කටු අනෝදා ආහාරයට එක් කර ගත හැකියි.

අනෝදා සතු විස්මිත ගුණය වන්නේ එහි ඇති ඇට භාවිතයෙන් ශරීරයේ බාහිර හා අභ්‍යන්තර වශයෙන් සිටින පරපෝෂිතයන් විනාශ කිරීමේ හැකියාවයි. කටු අනෝදා රෝග ගණනාවකට ගුණදෙන ඖෂධීය ශාකයක් මුඛ ආශ්‍රිත රෝගයන් වන විදුරුමස් දියවීම, ලේ ගැලීම, මුඛයේ ඇතිවන තුවාල ආදියට කටු අනෝදා යහපත් ප්‍රතිඵල ලබාදෙනවා. එමෙන්ම මූත්‍රා දැවිල්ල, මූත්‍රා අඩස්සිය, මූත්‍රාගල් සුව කිරීමේ ගුණය අනෝදා සතුව තිබෙනවා. දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදී රෝගයන්ට ද කාන්තාවන්ට වැලඳෙන රෝග, නින්ද නොයන පුද්ගලයන්ට ද සාර්ථක ප්‍රතිඵල ලබා දෙන අනෝදාවල පිළිකා සෛල විනාශ කිරිමේ විස්මිත හැකියාවක්ද තිබෙනවා. තවද ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනයට, සම පැහැපත් කිරීමට කටු අනෝදා හි ඇති ගුණයන් උදවු වෙනවා.


රෝග සඳහා කටු අනෝදාවලින් පිළියම්

හොඳට පැසුණු අනෝදා ගෙඩියක් ගෙන කැබලිවලට කපා වියළා ගන්න. තදට වේළුණු පසු කුඩු කර සුළං නොවදින සේ බඳුනක අසුරගෙන අවශ්‍ය විටක කෝපි මෙන් පානය කරන්න. මෙය දිනකට දෙවරක් පමණ පානය කිරීමෙන් මුත්‍රාශය, ආමාශය ආදියේ හට ගන්නා රෝග සඳහා ද පණු රෝග, අර්ශස්, පිළිකා ආදියට ද ගුණ දේ.

හොඳින් මේරූ කොළ කිහිපයක් ගෙන සෝදා කැබලි කර, බඳුනක් ළිප තබා ජලය උතුරවාගෙන එම බඳුනට කැබලි කරගත් කොළ දමා විනාඩි 15- 20ක් තබන්න. ජලය ළා තේ පැහැයට හැරුණු පසු පෙරා නිවෙන්නට හැර පානය කරන්න. පිළිකා හා දියවැඩියා රෝගවලින් පීඩා විඳින්නන්ට මෙය පානය කිරීමෙන් ගුණ ලබාගත හැකියි.

අනෝදා කොළ දෙමිටක් ගෙන සෝදා පිරිසුදු කරගන්න. ඒවා කැබලි කර මැටි මුට්ටියකට දමා වතුර අඬු කෝප්ප 8, 1 කට සිඳගන්න. උදේ සවස එයින් භාගය බැගින් සතියක පමණ කාලයක් පානය කිරීමෙන් මූත්‍රා දැවිල්ල නැත්තටම නැති කරගන්න පුළුවන්.

මූත්‍රාගල් සඳහා හොඳින් පැසුණු අනෝදා ගෙඩියකින් අටෙන් එකක් ගෙන සිහින් පෙති කපා වෙනත් එළවළු සමඟ සුප් එකක් පිසගන්න. මෙය දිනක් හැර දිනක් මාසයක පමණ කාලයක් පානය කරන්න.
කොතරම් ගුණ දෙයක් වුවද පාලනයක් ඇතිව ගැනීමට අප පුරුදු විය යුතුයි.