Doctor door

අගෝස්තු 4, 2025

ඔබේ ගැටලුව අපට එවන්න

 

හැම කෙනෙකුටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවන ගමනේදී එක් එක් අවධීන් පසුකරමින් යන විටදී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම්දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.

අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.

එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

උපදෙස්,

මානසික රෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

අධික සතුට ඇති කරන මේනියාව

මගේ දුවගේ වයස අවු.23යි. ඇය වැඩිදුර අධ්‍යාපනය ලබනවා. දුව බොහෝ වෙලාවට පාලනය කරගත නොහැකි සතුටකින් සහ සමහර වෙලාවට තමන්ට අවධානය නොලැබුණොත් අධික ශරීර ශක්තියකින් යුතුව ක්‍රියා කරයි. මෙම තත්ත්වය කුමක්විය හැකිද?

 

මෙම තත්ත්වය බොහෝ විට මේනියාව නොහොත් බයිපෝල අක්‍රමිකතාවය යන රෝගී තත්ත්වය වේ. මෙම රෝගී තත්ත්වය මානසික පීඩන තත්ත්වයකදී ද ඇති විය හැකිය. මෙය අසාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කරයි. මෙහිදී නිතරම පුද්ගලයන් සමඟ වාදයට යාම, මුළු රැයක් වුවද කිසිම අරමුණක් නොමැතිව වැඩ කිරීම, අධික ක්‍රියාකාරීත්වය, ළඟින් ඇසුරු කරන පුද්ගලයන්ව ප්‍රතික්ෂේප කිරීම යන්න ලක්ෂණ ද පෙන්නුම් කිරීමට ඉඩ ඇත.

මෙහිදී මානසික වෛද්‍යවරයෙකු හමුවී මනෝ උපදේශන සහ ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය.

 

-----------------

නින්දෙන් ඇවිදීම රෝගයක් ද?

මගේ පුතාගේ වයස අවු. 18කි. ඔහු ටික කාලයක සිට නින්දෙන් ඇවිදියි. එය නවතා ගන්නේ කෙසේද?

 

නින්දෙන් ඇවිදීම සිදුවන්නේ බොහෝ විට මොළයේ ඇතිවෙන විවිධ වෙනස්කම් හේතුවෙනි. මෙහිදී නින්ද කොටස් කීපයකට බෙදෙනවා. මෙසේ බොහෝ විට සිදු වන්නේ ගැඹුරු නින්දක් නොලබන නිසා මෙලෙස සිදුවිය හැකියි.

 

මෙහිදී නින්දෙන් කතා කිරීම, ඇඳ උඩ ඉඳගෙන සිටීම, කෙටිදුරක් ඇවිද යාම වැනි ලක්ෂණ ද පෙන්නුම් කරයි. මෙයට ප්‍රධාන හේතුවක් ලෙස මානසික අවපීඩන තත්ත්වය, නි‍ෙවසේ හෝ නැතිනම් වෙනත්  ප්‍රශ්නයක සිටීද යන්න ද සොයා බැලීමක් සිදු කිරීම වැදගත්ය. මෙහිදී විශාල ගැටලුවක් ලෙස විවිධ අනතුරුවලට ලක්වීමටද ඉඩකඩ ඇත.

මානසික වෛද්‍යවරයෙකු හමුවී මනෝ උපදේශන සහ ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය.