කෝවිඩ් නව ප්‍රභේදය අපේ රටේ නැහැ

ජුනි 9, 2025

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ගෝලීයව 2025 වසරේ පෙබරවාරි මාසයේ සිට කෝවිඩ් - 19 රෝගය ඇතිකරන SARS-CoV- 2 වයිරසයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යෑමක් වාර්තා විය.

ජාත්‍යන්තරව සිදුකරන ස්වසන රෝග සඳහා වන ආවේෂණ පද්ධතියට අනුව පසුගිය මාස කිහිපය තුළදී විශේෂයෙන්ම ආසියාතික රටවල් කිහිපයක් ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක කෝවිඩ් 19 රෝගීන්ගේ ඉහළ යෑමක් වාර්තා වී ඇත.

2023 මැයි මාසයේ සිට කෝවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වය අවසන් වූ බව බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර එතැන් සිට කෝවිඩ් 19 රෝගය සාමාන්‍යයෙන් පැතිර යන ස්වසන රෝග තත්ත්වයක් ලෙස සලකනු ලැබීය. SARS-CoV-19 වයිරසය පැතිර යන විට යම් යම් ජාන විපර්යාසවලට භාජනය වීම සාමාන්‍ය තත්ත්වයකි. දැනට ලෝකයේ රටවල් ගණනාවක වාර්තා වන ප්‍රභේදය 2024 වසරේදී ද වාර්තා වූ ජාන ප්‍රභේදයේම අනුප්‍රභේදයක් වශයෙන් හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේද 2024 වර්ෂයේ දී ප්‍රභේදය නිරීක්ෂණය කර ඇත.

2025 වර්ෂයේ මැයි වාසයේදී වෛද්‍ය පර්යේෂණ ආයතනය මඟින් පරීක්ෂා කළ නියැදිය ද එම අනූ ප්‍රභේදවලටම අයත් බව හඳුනාගෙන ඇත. එම නිසා මේවා අලුත් ජාන ප්‍රභේද නොවන අතර එමඟින් වඩා උග්‍ර රෝගී තත්ත්වයන් හෝ සංකූලතා ඇතිවීමක් හෝ වාර්තා වී නොමැත.

ශ්‍රී ලංකාවේ ස්වසන රෝග ආවේෂණ පද්ධතියට අනුව 2024 වර්ෂය තුළදී ශ්‍රී ලංකාව තුළ SARS-CoV-2 වයිරසය වාර්තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය ස්වසන රෝග සහිත රෝගීන්ගේ නියැදිවලින් සියයට 3ක් විය. එම වසරේ මැයි මාසයේදී එය සියයට 9.6ක් දක්වා ඉහළ ගියේය. මෙම වසරේ මෙතෙක් දුරට වයිරසය වාර්තා වීමේ සාමාන්‍ය ප්‍රතිශතය සියයට 2ක් පමණ වන අතර, සුළු වැඩි වීමක් මේ වන විට පෙන්නුම් කරයි.

ඒ අනුව 2024 මැයි මාසයේදී මෙන්ම 2025 මැයි මාසයේදී කෝවිඩ් 19 රෝගීන් වාර්තා වීමේ ඉහළ යෑමක් දක්නට ලැබේ. කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම වයිරසය අනාගතයේ දී හැසිරීම පිළිබඳ පූර්ව නිගමනයකට එළැඹී නැති අතර ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීම් තවමත් පර්යේෂණ මට්ටමක පවතී. නව කෝවිඩ් ප්‍රභේදය අපරට තුළට ඇතුළු වී ඇත්දැයි අතැමුන් බියෙන් පසුවේ. තවමත් අප රට තුළට එය ඇතුළු වී නැහැ.

 

පසුගිය වසර කිහිපය හා සැසඳීමේදී පවතින කාලගුණ තත්ත්ව යටතේ වැනි රෝගවල වැඩිවීමක් මෙම කාලයේදී සාමාන්‍යයෙන් දක්නට ලැබේ. රෝගය පැතිර යාම පිළිබඳ සෞඛ්‍ය අංශය නිරන්තර අවධානයෙන් පසුවේ. මේ නිසා මහජනතාව අනියත බියක් ඇතිකර ගත යුතු නැත.

උණ, සෙම්ප්‍රතිශ්‍යාව තත්ත්වයක් පවතී නම් අනවශ්‍ය ලෙස බිය වී රෝහල් රෝහල්ගතවීමේ අවශ්‍යතාවක් මෙම අවස්ථාවේ පැන නොනඟී. නමුත් යම් පුද්ගලයකුට ස්වසන රෝගයක් සමඟ හුස්ම ගැනීමේ අපහසුතාවක් මතුවේ නම් රෝහලක් වෙත යොමු වීම අවශ්‍ය වේ.

මෙම සියලුම ස්වසන රෝගවලින් ආරක්ෂා වීම සඳහා පිළිපැදිය යුතු ස්වසන ස්වස්ථානව යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම වැදගත් වේ.

කිවිසුම් යන විට හෝ කහිනවිට තමාගේ වැලමිටින් හෝ ටිෂූ කඩදාසියක් වැනි යමකින් ආවරණය කර ගැනීම, අනවශ්‍ය ලෙස තමාගේ මුහුණ අතපත ගෑමෙන් වැළකීම, නිතර දෑත් සේදීම හෝ විෂබීජ නාශක ද්‍රාවණයකින් දෑත් පිරිසුදු කර ගැනීම, අපිරිසුදු දෑත්වලින් මුහුණ ඇල්ලීමෙන් වැළකීම වැනි දේ මේ අතර වේ.

එමෙන්ම යම් අයෙක් ස්වසන රෝගයකින් පෙළේ නම් එම පුද්ගලයාගෙන් අන් අයට රෝගය ආසාදනය වීම වැළැක්වීම සඳහා රෝගී පුද්ගලයා මුව ආවරණයක් පැලඳීම, අනවශ්‍ය ලෙස සෙනඟ ගැවසෙන ස්ථානවලට නොයෑම වැනි දේ යෝග්‍ය වේ.

රෝගය නිසා සංකූලතා ඇතිවිය හැකි අවදානම් කණ්ඩායම් රෝගයෙන් වැළකීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මෙම කණ්ඩායම් වන්නේ වයස්ගත පිරිස්, ගර්භිණි කාන්තාවන්, ළදරුවන්, හෘද රෝග, දිගුකාලීනව ස්වසන රෝග, දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් සහ යම් රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිශක්තිය පහළ දමන ආකාරයේ ඖෂධ ලබාගන්නා පුද්ගලයන්ය.

 

විශේෂ ස්තූතිය : විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ