ගැබිනි මවුවරුන්ට අනතුරු ඇඟවීමක්

ජුනි 23, 2025

 

මෑතකදී ලංකාව තුළ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමත් සමඟින් ඒ පිළිබඳව වැඩි වැඩියෙන් කතාබහ කරන්නට සිදුව ඇත. වර්ෂා කාලයෙන් පසුව මදුරු ගහනය වැඩිවීමත් සමඟම මෙම රෝගය පැතිරීම සිදුවේ.

 

කෙසේ වෙතත් වර්තමානයේ චිකුන්ගුන්යා රෝගය නිසා අනිසි බියක් ඇතිකර ගත යුතු තත්ත්වයක් ලංකාව තුළ නොමැත.

චිකුන්ගුන්යා රෝගය වයිරසයක් මඟින් ඇතිවන අතර ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරුවන් මඟින් පැතිරීම සිදුවෙයි. ඩෙංගු වයිරසය පැතිරෙන්නේද මෙම මදුරුවන් මඟිනි. නමුත් ඩෙංගු රෝගය මෙන් චිකුන්ගුන්යා රෝගය මාරාන්තික නොවේ.

*මදුරුවන් දෂ්ට කිරීම මඟින් - ඉහත කී විශේෂවලට අයත් මදුරුවෙක් රෝගියකුට දෂ්ට කර නැවත නීරෝගි පුද්ගලයකුට දෂ්ට කිරීම මඟින්

*ගර්භිණි මවකගෙන් තම දරුවාට බෝවීම - වයිරසය ශරීරගත වී ඇති මවකගෙන් වැදෑමහ හරහා මෙම රෝගය දරුවාට සම්ප්‍රේෂණය විය හැකියි.

*රුධිරය හා රුධිර සංඝටක පාරවිලයනය මඟින් - චිකුන්ගුන්යා රෝගය ආසාදිත පුද්ගලයකුගෙන් ලබාගත් රුධිරය හෝ රුධිර සංඝටක නීරෝගි පුද්ගලයකුට ලබාදීම මඟින්

කලාතුරකින් චිකුන්ගුන්යා රෝගය ඩෙංගු රෝගය සමඟ එකවර පැවතිය හැකියි. මුලදී මෙම රෝග දෙකේම රෝග ලක්ෂණ සමාන වේ. එසේම සායනිකව මුල් අවස්ථාවේදී ඩෙංගු කොවිඩ් 19, ඉන්ෆ්ලුවන්සා, ඇඩිනෝවයිරස් හා අනෙකුත් වයිරස මඟින් ඇතිවන රෝග වෙන් කර හඳුනා ගැනීම අපහසුය. තම දරුවාට දින දෙකකට වඩා පවතින උණ ගතිය ඇත්නම් සුදුසුකම් සහිත වෛද්‍යවරයකු වෙත රැගෙන යාම සුදුසුය.

 

රෝග ලක්ෂණ

ආසාදිත මදුරුවකු දෂ්ට කිරීමෙන් දින 3ත් 7ත් අතර කාලයකින් පසු රෝග ලක්ෂණ මතුවීම සිදුවේ. මෙම රෝග ලක්ෂණ දින 7 සිට 10 දක්වා කාලයක් පැවතිය හැකියි.

*අධික උණ තත්ත්වය

*හන්දිවල පවතින වේදනාව සහ ඉදිමීම - මෙම තත්ත්වය සති කිහිපයක් හෝ මාස කිහිපයක් වුවද පැවතිය හැකියි. කෙසේ වෙතත් මෙම රෝග ලක්ෂණ දරුවන් තුළ වැඩි වශයෙන් දක්නට නොලැබේ.

*සමෙහි ඇතිවන කුෂ්ඨ - මෙය ඩෙංගු සහ අනෙකුත් වයිරස් රෝගවලින් ඇති ඇතිවන කුෂ්ඨ වලින් වෙන් කර හඳුනා ගැනීම අපහසුය.

*හිසරදය, ඇස යට ඇතිවන කැක්කුම, මස් පිඬුවල වේදනාව, අධික තෙහෙට්ටුව, ආහාර අරුචිය, බඩෙහි කැක්කුම, කට තුළ ඇතිවන තුවාල, ඇස්වල රතු ගතිය අනෙකුත් රෝග ලක්ෂණ වේ.

 

රෝග විනිශ්චය

සම්පූර්ණ රුධිර පරීක්ෂණයකදී (FBC) රුධිර පට්ටිකා සහ සුදු රුධිරාණු අඩු බවක් පෙන්වයි. PCR පරීක්ෂණයක් මඟින් මෙන්ම රුධිර පරීක්ෂණ මඟින්ද රෝගය තහවුරු කළ හැකි වේ.

ප්‍රතිකාර

මේ සඳහා විශේෂ ඖෂධ නොමැත. රෝග ලක්ෂණ මත පදනම්ව ප්‍රතිකාර කරනු ලැබේ. චිකුන්ගුන්යා වැලඳුණු දරුවන්ට අවශ්‍ය පමණ දියර වර්ග පානය කිරීමට ලබාදීමත් අවශ්‍ය පෝෂණය ලබාදීමත් විවේකය ලබාදීමත් වැදගත් වේ.

උණට සහ හන්දි වේදනාවට පැරසිටමෝල් ඖෂධය පමණක් මුලදී භාවිත කළ යුතුය. හන්දි වේදනාවට අනෙකුත් ඖෂධ ලබා දිය යුත්තේ ඩෙංගු නොවන බවට සැකහැර ගැනීමෙන් පසුවයි.

මෙම රෝගයෙන් ආරක්‍ෂාව වන්නේ කෙසේද?

මදුරුවන් බෝවීම වැළැක්වීම, මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීම මේ සඳහා කළ හැකි එකම ප්‍රතිකාරයයි.

 

ගැබිනි මවුවරුන්ට අනතුරු ඇඟවීමක්

චිකුන්ගුන්යා සහ ඩෙංගු රෝග ද්විත්වයම එකවර පුද්ගලයකුට වැලඳිය හැකියි. එක් අයකුට ඉහත රෝග ද්විත්වයම තිබිය දී ඔහුට හෝ ඇයට දැඩි වේදනාවක් දැනිය හැකියි.

යම් හෙයකින් ප්‍රසූත අවස්ථාවක දී මවකට චිකුන්ගුන්යා වයිරසය වැලඳුණහොත් ගබ්සා වීමක් සිදු වීමටද පුළුවනි.

එමෙන්ම දරුවා බිහිවීමෙන් පසුව මවකට මෙම වයිරසය ආසාදිතව සිටීනම්, දින 03-07කට පසුව අලුත උපන් බිලිඳාට ද වයිරසය බෝ විය හැකි අතර, එහිදී දරුවා මවුකිරි නොබීම, කුෂ්ඨ සෑදීම, අධික උණ සමඟ මොළේ උණ වැනි සංකූලතා හටගැනීම සිදුවිය හැකියි.

 

උපදෙස් : ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහේෂක විජයවර්ධන