කොඳු ඇට පෙළ ශක්තිමත් කරන Plank jack

FITNESS
මැයි 12, 2025

 

අද තියෙන කාර්යබහුලත්වයත් එක්ක තමන්ගේ නිරෝගී බව ගැන හිතන්නවත් වෙලාවක් නැති තරම්. ලෙඩ වෙලා බෙහෙත් ගන්නවට වඩා ලෙඩක් ඇති වෙන්න කලින්ම එයින් බේරන්න ක්‍රමයක් තියෙනවනම් කෙතරම් දෙයක්ද. ව්‍යායාම කියන්නෙත් ඒ විදිහේ ක්‍රමයක්. හැබැයි ව්‍යායාම මඟින් නිරෝගී වෙනවා විතරක් නෙවෙයි හැඩැති රූ සපුවකටත් හිමිකම් කියන්න අවස්ථාව ලැබෙනවා.

 

ඉතින් තරුණී වෙතින් ඔබව සුවදායි ජීවන රටාවකට හුරුකරවන ව්‍යායාම පෙළක් දිගින් දිගටම ගෙන ආවා. ඒ අතර ඔබට මතක ඇති jumping jack ව්‍යායාමය. අද කියන්න යන්නේ ඒ ව්‍යායාමයට තරමක් සමාන Plank jack ව්‍යායාමය ගැනයි.

 

plank jack කියන්නේ ඕනෑම කාන්තාවකට පහසුවෙන්ම කළ හැකි ව්‍යායාමයක්. ඕනෑම තැනක කළ හැකි උපකරණ රහිත ව්‍යායාමයක් කියලත් කියන්න පුළුවන්. මෙම ව්‍යායාමය හරහා ශරීරයට හැඩයක් එක් කරනවා පමණක්ම නොවෙයි, ශරීරයේ නිරෝගීබවට ද හේතුවක් වෙනවා.

 

මේ හරහා උදරයේ සහ පිටුපස මාංසපේෂි ශක්තිමත් කරයි. එමෙන්ම ශක්තිය සහ විඳදරාගැනීමේ හැකියාව ද වැඩි දියුණු කරයි. එමෙනම හෘද වාහිනී යෝග්‍යතාව ඉහළ නංවයි.

එමෙන්ම ශරීරයේ අනවශ්‍ය කැලරි විනාශවන ව්‍යායාමයක් නිසා ශරීරයේ බර පාලනය කරගන්නත් හැකියාව ලැබෙනවා. ඉතින් අනවශ්‍ය මේදය දහනය කරගන්න කාන්තාවකට වඩාත් සුදුසු ව්‍යායාමයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙමගින් අත් කකුල් සහ පිටුපස ප්‍රදේශයට ද ව්‍යායාමක් ලැබෙන නිසා මාංසපේෂීවල ශක්තිමත් භාවයට ද හේතුවක් වනවා. මෙමඟින් කොඳු ඇටපෙළට ද ව්‍යායාමයක් ලැබෙන නිසා ශරීරයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට ද එය උපකාරී වේ. දැන් මෙය අරඹමු. පළමු රූපයේ පරිදි මුහුණ පොළොව දෙසට සිටින සේ බිම වැතිරී අත් දෙකට බර දී පිටුපස ප්‍රදේශයෙන් ඉස්සි ඉදිරිය බලන්න. එවිට පාදවල අඟිලි තුඩු පොළවට සම්බන්ධව තිබිය යුතුය. දැන් දෙවැනි රූපයේ ආකාරයට පැනීමක් සමඟ පාද දෙක මඳක් ඈත් කරන්න. නැවත ළං කරන්න. මේ අකාරයට විනාඩියක කාලයක් එම ව්‍යායාමයේ නිරත වෙන්න. ක්‍රම ක්‍රමයෙන් ව්‍යායාමයේ කාලය වැඩිකර ගන්න. එවිට වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වේ.

 

ඒ වගේම මේ ව්‍යායාමය දවසේ ඕනෑම වෙලාවක කළ හැකිය. නමුත් ආහාර ගත් විගස කිරීමෙන් වළකින්න.

හෘද රෝග, අධික ලෙස අස්ථි දුර්වලතා සහිත අය මේ ව්‍යායාම ප්‍රගුණ කරනවා නම් වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් සුදුසුයි. ඒ වගේම ගර්භිණී කාන්තාවන් සඳහා මෙය සුදුසු නොවේ.

 

උපදෙස් -

ශරීර යෝග්‍යතා උපදේශිකා

මෙත්මා බිසේකා නානායක්කාර