වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
Doctor Door

ඔබේ ගැටලුව අපට එවන්න
හැම කෙනෙක්ටම තියෙන ලොකුම සතුට, ලොකුම සැනසීම තමයි නීරෝගිකම. ඒත් මේ ජීවිත ගමනේදී එක් එක් අවධි පසු කරමින් යන විට දී විවිධාකාර වූ රෝගවලට මුහුණපාන්නට සිදුවීම අප කාටත් පොදු දෙයක්. මේ රෝග ඇති වෙන්නෙත් පෙර දැනුම් දීමකින් නොවේ. ඉතින් විවිධාකාර වූ රෝගවලින් පීඩා විඳිමින් නිසි විසඳුමක් සොයාගත නොහැකිව පීඩා විඳින්නෝ බොහෝ දෙනෙක් සිටිති. ඔබටත් එවැනි රෝගවලට විසඳුම් ලබා දෙන්න මඟපෙන්වන්නකු සිටියි නම් බාධාවකින් තොරව ඔබේ ජීවිතය සතුටින් ගෙන යෑමට පහසු වේවි. ඔබ පීඩා විඳින කායික රෝගවලට විසඳුම් ගෙන එන්නට තරුණී නිරතුරුවම සූදානම්. ලියන්න ඔබේ ගැටලුව.
අපේ ලිපිනය. Doctor door, තරුණී, ලේක්හවුස්, කොළඹ - 10.
එසේත් නැත්නම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.
මැණික් කටුව ළඟ රිදෙන්නේ ඇයි?
මෙම රෝගයට හේතු වන්නේ අතේ මැණික් කටුව සන්ධිය හරහා ඇගිලි වෙත ගමන් කරන median nerve නමැති ස්නායුවේ ඇති වන පීඩනයකි. මෙම ස්නායුව අත දිගේ පැමින මැණික් කටු සන්ධියේ ඇති ඉතා කුඩා ඉඩකින් (carpal tunnel) හරහා අතේ අැඟිලි වෙත ගමන් කරයි.
මහපට ඇඟිල්ල මැදැඟිල්ල සහ දබර ගිල්ල ක්‍රියාත්මක වන්නේ මෙම ස්නායුවෙන් ගමන් ගන්නා ආවේගවලිනි. මෙම carpal tunnel තුළ ඇති වන ඉදීමීමක් හෝ එම පටකය තදවීමක් නිසා median nerve එක පීඩනයට පත්වෙයි. එවිට එයින් ආවේග සපයන මූලික ඇඟිලි තුන හිරිවැටීම සහ හස්තයේ වේදනාව හට ගනී.
තයිරොයිඩ් ග්‍රන්තියේ අක්‍රමිකතා, ආතරයිටීස් සහ දියවැඩියාව ඇති අය තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන රෝගයකි. ගැබ් ගැනීම, නිරන්තරයෙන් කාලයක් පොල් මිරීකීම. නිතර රෙදි මිරිකීම සහ සේදීම, නිතර පරිගණක ආශ්‍රිත රාජකාරි කරන්නන් හට, පෙදරේරුවන් හට ද වැඩි වශයෙන් මේ තත්ත්වය පවතී.
මෙහි රෝග ලක්ෂණ කිහිපයකි ඒ අතර පළමු දෙවන සහ තුන්වන ඇඟිල්ලේ ඇතිවන හිරිවැටීම, යමක් එක දිගට ටික වේලාවක් අල්ලාගෙන සිටීමේ අපහසුව, වේදනාව අතේ උඩු පැත්තට ගමන් කරනවා මෙන් දැනීම සහ ඇඟිලි නැමූ පසු දිග හැරීමට ඇති අපහසුතාව ප්‍රධානය. විටමින් B12 ඌනතාව ද මේ තත්ත්වයට හේතුවකි. ඒ නිසා මස්, මාළු, කිරි නිෂ්පාදන ශරීරයට ලබා ගන්න.
මෙම රෝගයට නිවෙසේදී කළ හැකි සරල ප්‍රතිකාරයක් තිබේ. එනම් මඳ උණුසුම් ජලයට ලුණු කැට දමා අත මැණික් කටුවටත් මඳක් ඉහළින් පමණ ගිල්වා විනාඩි 15 පමණ සිට අත හොඳින් පිස දමා සම්බාහනය කිරීමයි. ඉන් සුවයක් නොමැති නම් වෛද්‍ය උපදෙස්වලට යා හැකිය.
බෙල්ලේ වේදනාවට සහනයක්
බෙල්ල එහාට මෙහාට හරවන්න බැහැ. දවස් ගාණක් තිස්සේ බෙල්ලේ කැක්කුමයි, උරහිස් රිදෙනවා, ඔළුව පිටිපස්ස, නළලට ටිකක් උඩින් වේදනාවක් දැනෙනවා, කොන්දත් රිදෙනවා. මේ කතාව හැමෝම වගේ උදේ නැගිට්ට ගමන් කියන කතාවක්. ඒ නිසා මේක නිදි උලුක්කුවක් කියලත් වැඩි දෙනෙක් හඳුන්වනවා.
සාමාන්‍යයෙන් බෙල්ලේ මාංස පේශිවල ඇදීමෙන් ඇතිවන තෙරපීමක් නිසයි උලුක්කුව ඇති වන්නේ. බොහෝ දෙනකුට බෙල්ලේ කැක්කුම ඇතිවීමට බලපාන්නේ දීර්ඝ වේලාවක් රූපවාහිනිය, ජංගම දුරකතන හෝ පරිගණක සමඟ ගත කිරීම නිසයි. ඒ වගේම අනතුරුවලින් පස්සේ කාලයක් ගතවීමත් සමඟ බෙල්ලේ අසාමාන්‍ය කැක්කුම් බලපාන්න පුළුවන්.
ස්නායු රෝග නිසාත් බෙල්ලේ කැක්කුම වගේම හිස, අත්, පපුව, කොන්ද ආදී ප්‍රදේශ වේදනාවට පත් වෙනවා. ඒ වගේ අවස්ථාවකදී උදෑසන අවදි වන විට බෙල්ලේ හෝ උරහිස් දෙපස තදබල ලෙස වේදනාව ඇති වෙනවා. කශේරුකාව ගෙවී යාමත් මෙවැනි තත්ත්වයන්ට හේතු වෙන්න පුළුවන්. ඊට අමතරව අත්වල ඇඟිලි හිරිවැටීම ද සිදු වෙනවා. බර ඔසවන්නන්, දවසම පරිගණකය සමඟ වැඩ කරන අය, දවසේ වැඩි කාලයක් රිය පදවන අය අතර මේ තත්ත්වය බහුලව දකින්න ලැබෙන දෙයක්.
බෙල්ලේ කැක්කුම් ඇති වූ මුල් දින දෙක තුන තුළ අයිස් කැට කිහිපයක් රෙදි කැබැල්ලක ඔතා ගෙල පෙදෙස හා උරහිස් තවන්න. 4 වන දින හා පස් වන දිනවලත් ගෙලෙහි කැක්කුම අඩු වෙන්නේ නැත්නම් රෙදි කැබලිවලින් සාදාගත් පොට්ටනියක් උණු ජලයේ පොඟවා තවන්න. එසේත් සුවයක් නැත්නම් වේදනා නාශයක් භාවිත කළ හැකිය. අසුනක වාඩි වී ගෙල ඉහළට පහළට හා දෙපසට හරවනසුලු ව්‍යායාම කරන්න. බර එසවීම, ක්‍රීඩා කිරීම, හිස පහතට දමාගෙන කරන කටයුතු ආදියෙන් දින කිහිපයකට වැළකී සිටින්න. කොඳුඇට පෙළ පමණට වඩා ක්‍රියාකරී වන දෛනික කටයුතුවලින් දින 10 ක පමණ කාලයක් ඉවත් වන්න. නිදා ගැනීමේදි හිස තැබීමට කොට්ටයක් භාවිත කරන්න එපා. යහනක නිදා ගන්නවා නම් තද මෙට්ටයක් භාවිත නොකර නිදාගන්න.
මෙය සාමාන්‍ය බෙල්ලේ කැක්කුමක් නොවන්නේ නම් ප්‍රතිකාරවලට යා යුතු වේ. එහිදී බෙල්ල අවට ප්‍රදේශයේ අසාමාන්‍ය ලෙස ගෙඩී වැනි ස්වභාවයක් තියෙනවා නම්, බෙල්ලේ කැක්කුම සමඟ ගිලීමේ අපහසුතා හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම්, බෙල්ලේ කැක්කුම සමඟ අත් පා හිරීවැටීම සිදු වෙනවා නම්, කිසියම් පහරදීමක් හෝ හදිසි අනතුරකට පසුව බෙල්ලේ කැක්කුම නම්, බෙල්ල නැවීම හැරවීම ඉතාම අපහසු නම්, උණත් සමඟ ඇතිවන හිසේ තද කැක්කුමක් ඇත්නම්, බෙල්ලේ කැක්කුම සමඟ වමනය යෑම , අත දිගේ ඇතිවන කැක්කුම , හුස්ම ගැනීමේ අපහසුව ඇති වෙනවා නම්, සාමාන්‍ය ප්‍රතිකර්ම හා සාමාන්‍ය වේදනා නාශකවලින් සුවයක් ලබා ගත නොහැකිය. එහිදී වඩාත් සුදුසු වන්නේ වෛද්‍ය උපදෙස් පැතීමයි.
එවිට වෛද්‍යවරයා විසින් එක්ස් කිරණ පරීක්ෂාවක් හා MRI පරීක්ෂණය සඳහා යොමු කරනු ලැබේ. ඒ වගේම මෙම බෙල්ලේ කැක්කුම් අවම කරගන්න නම් පරිගණක භාවිත කිරීමේදී , බර එසවීමේදී, ඉඳගැනීමේදී සහ වෙනත් කටයුතුවල නිරත වෙද්දී නිවැරදි ඉරියම් භාවිත කරන්න. එමෙන්ම නිදා ගැනීමේදී තද මෙට්ටයක් සහ සැහැල්ලු කොට්ටයක් යොදාගන්න. ඊට අමතරව මෙම වේදනාවන් සමනය කරගන්න වෛද්‍ය උපදෙස් මත බෙල්ලේ මාංසපේශී ශක්තිමත් කරන නිවැරදි ව්‍යායාමවල නිරත වන්න.
උපදෙස් -
කායික රෝග විශේෂඥ වෛද්‍ය
එච්. ඩී. විජේසිංහ