අපේ මනසේ ම සිරකරුවකු නොවී ගැටලුවලට විසඳුම් සොයමු

ජුනි 10, 2020

ජීවිත කාලය තුළ දී නා නා විධ වූ ගැටලුවලට අපට මුහුණ දෙන්නට සිදු වේ. එම ගැටලු හදුනාගන්නා ආකාරය හා ඒවාට ලබාදෙන පිළිතුරු අනුව යම් පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකත්වය කරා ගමන් කරන්නේද නැද්ද යන්න තීරණය වේ.

එකිනෙකාගේ ජීවිත වෙනස් වන්නේද මේ අනුව යි. අපේ ජීවිත ද සාර්ථකත්වය කරා මෙහෙයවිය යුතු නම් සිදු කළ යුත්තේ මුහුණ දීමට සිදු වන ගැටලුවලට සාර්ථක ලෙස පිළිතුරු සොයා ගැනීමයි.

අපේ අතේ ඇත්තේ මිටියක් නම් තමා ඉදිරියට එන හැම ප්‍රශ්නයක් ම ඇණයක් කරගන්න යැයි කතාවක් ඔබ අසා ඇති. ඉන් කියවෙන්නේ ද ගැටලුවකට සාර්ථකව මුහුණ දෙන ආකාරයයි. මේ ලිපි පෙළ අප ඔබට ඉදිරිපත් කරන්නේ ද ගැටලුවකට සාර්ථකව මුහුණ දෙමින් ජීවිතය ජයගන්නා ආකාරය පිළිබඳ දැනුම්වත් කිරීම සදහා ය.

අපට යම් කිසි ගැටලුවක් ඇති වූ විට ඒ සදහා පිළිතුරු සෙවීමට නම් මුලින් ම අප එම ගැටලුව තුළ කිමිදීම නතරකොට ඉන් පිටතට පැමිණිය යුතුයි. එහෙත් පසුගිය සතියේ අප විස්තර කළ ආකාරයට බොහෝ දෙනා කරන්නේ ප්‍රශ්නය තුළම ඇළී ගැළී ජීවත් වීමයි.

අප මෙලෙසින් පැවසූ විට 'කියන කෙනාට කොහොම කියන්න බැරිද? මමනෙ දන්නෙ මට තියෙන ප්‍රශ්න.. මම එපායැ ඒවට මූණ දෙන්න..' ලෙසින් සිතිය හැකි ය. නමුත් අප කළ යුත්තේ එයයි. යමක් සිතන්නට හැකි නම් එය මැවීමට ද හැකියාව ඇත. මැවීමට හැකි නම් එය යථාර්ථයක් කළ හැකිය. මෙය ලෝකය පුරා වසංගතයක් පැතිරුණු පළමු වතාව නොවේ. මෙයට පෙර ද විවිධ කාල වකවානු වලදී වසංගත තත්ත්වයන්ට මුහුණ දීමට ලෝකයටම සිදු වී ඇත. සෞඛ්‍යය සඳහා ඇති බිය වන්නේ රෝගය වැලඳේදැයි ඇති වන බිය පමණි. රෝගයෙන් වැළකීම සඳහා සිදු කරන පියවර හා පුරුදු නිසියාකාරව සිදු කරන්නේ නම් ඉන් වැළකිය හැකිය. නිසි ලෙස නිතර අත් සෝදනවා නම් නිවැරැදි ලෙස මුඛ ආවරණ පලදිනවා නම් නම් ඉන් බේරීමට හැකියාව ඇත.

එහෙත් බොහෝ අයට තිබෙන්නේ මෙය තමාට වැලදේ යැයි ඇති බිය ම නොවේ. එය ඉන් ඔබ්බට ගිය බියකි. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ වැනි කෝවිඩ් 19 ආසාදිත පුද්ගලයන් සමග ඍජුව ම කටයුතු කිරීමට සිදුවන අයගේ පවුල්වලට තම පවුලේ සාමාජිකයාට වැලදේ යැයි බියක් පවතී. මෙහි යම් සාධාරණයක් ද පවතී. අප මේ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගත්විට එම බිය ද යම් දුරකට තුරන් කළ හැකිය. මෙහිදී අප තේරුම් ගත යුත්තේ බිය වීමකින් අපට අලුත් ශක්තියක් හෝ අලුත් යමක් නොලැබෙන බව යි. බිහිසුණු ඛේදවාචකයන්ගෙන් යුත් චිත්‍රපට මවන අපට, වඩා සුබදායී චිත්‍රපට මැවීමට ද හැකිවිය යුතුයි.

අනෙක් බය වන්නේ තමාගේ මේ පවතින ජීවන මට්ටම දිගටම පවත්වාගෙන යාමට හැකියාව ලැබේවිද යන බියයි. තමාට දැනට පවතින දේවල් අහිමිව යා දැයි බොහෝ දෙනා බියට පත්වී සිටිති.

 

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි

 

2020/06/08 තරුණි බලන්න.