හැදෙන, හදන තැන පන්ති කාමරයෙන් පටන් ගනිමු

සැප්තැම්බර් 19, 2022

මවුපියන්ට කීකරු නැති දරුවන් සමහර අවස්ථාවල ගුරුවරු සමඟ අමුතු ආකාරයට ගනුදෙනු කරනවා

තරුණියක් නැතිනම් ගැහැනු ළමයෙක් කියන්නේ දැන් පිපිච්ච නැවුම් මලක් වගේ.‍ ස්වභාවධර්මයේ අපූර්වතම නිර්මාණයක් තමයි ඇය.‍ ඒ නිසාම පාසල් පන්ති කාමරයේ දී දියණියක්, තරුණියක් ලෙස ඔබගේ ගෞරවය රැක ගන්නේ කෙසේද යන්න පිළිබඳ අපි කතාබහ කරමු.‍

 

පොදු තැනක්

පාසල කියන්නේ ඕනෑම දරුවකුට අලුත් ජීවිතයක් නිර්මාණය කරන තැනක්.‍ පාසල, එහි පන්ති කාමරය ඒ ජීවිතයට අත්දැකීම් සමුදායක් ගොඩනඟයි.‍ පන්ති කාමර කියන්නේ ඔබට නිදහසේ හැසිරෙන්න පුළුවන් තැනක් වුණාට තව ගොඩක් අය එතැන ඉන්නවා.‍ එවිට ඔබ ගෙදර දී අරගෙන එන චර්යා පුරුදු ඒ විදිහටම එතැන මුදාහරින්න බැහැ.‍ හිතන්න, නිවෙසේ දී නම් ඔබ කන කෑම පිඟාන ගෙනියන්න ඔබේ මව හෝ එන්නට පුළුවන්.‍ රූපවාහිනිය නරඹමින් ඉන්න විට කන ටොෆියෙහි කොළය පවා එතැන දමනවා ඇති.‍ හැබැයි පන්ති කාමරයේ දී ඔබට මේ විදියට හැසිරෙන්න පුළුවන් ද? මේ පන්ති කාමරේ කියන්නේ හැමෝටම පොදු තැනක්.‍ පොදු ස්ථානයක හැසිරීමට අවශ්‍ය සම්මතයක්, විදිහක් තියෙනවා.‍ ඒවා නීති නෙමෙයි. රීති.‍ ඔබ වගේම අනිත් දරුවන් ද මේ තැන පාවිච්චි කරනවා කියලා පොදු සාමාන්‍ය දැනුමක් ඔබට තියෙන්න ඕ‍නෙ.‍

 

ආවේග මුදාහැරීම

ඇතැම් වේලාවට නිවෙසින් එන විට ඇති වී තිබෙන පීඩනය මේ පන්ති කාමරේ ඇතුළෙ මුදාහරිනවා වෙන්න පුළුවන්.‍ පන්ති කාමරය ඔබට, මට සැහැල්ලු තැනක් වුණාට එය අනිත් කෙනාට බාධාවක් වෙන්නට බැහැ.‍ ඔබ තවත් අයකුට බාධාවක් වීම පුරුද්දක් වුණාම ඒක ඔබේ ජීවිතයේත් පුරුද්දක් වෙනවා.‍ පුංචි කාලේ ඉඳලා හුරු වෙන්න අනිත් අයට කරදරයක් නොවී ඉන්න.‍ විශේෂයෙන් තරුණ ගැහැනු ළමයෙක්ගෙන් සමාජය අපේක්ෂා කරන හැසිරීම් රටාවක් තියෙනවා.‍ ඒ හැසිරීම ඇති වෙන්නේ පන්ති කාමරයෙන්.‍ මේ දෙයින් අදහස් කරන්නෑ ඔබ නිශ්ශබ්දව ම පමණක් සිටිය යුතුයි කියලා.‍ හිනා වෙන්න,‍ කතා කරන්න,‍ තමන්ගේ සහෝදර යහළු යෙහෙළියන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න.‍ ඒ තමන්ගේ නිදහස අනෙකාට බාධාවක් නොවන අයුරින් භුකිති විඳින්න.

 

ගුණධර්ම

ඒ වගේම මේ පන්ති කාමරේ තියෙන දේවල් හැමෝටම පොදුයි. මේ දේවල් ගොඩනඟන්න ඔයාගේ මවුපියන් පුදුම විදියට කැපකිරීම් කරලා තියෙනවා.‍ ඒක සැඟවුණු කතාවක්.‍ එනිසා හැම දෙයක්ම පරිස්සමෙන් කරන්න ඔබ දැනගන්න ඕ‍නෙ. තමන්ගේ පන්ති කාමරය තමන්ට පිරිසුදු කර ගන්න පුළුවන් නම් අඩුම මාසෙකට වතාවක් හෝ ඔබේ මවුපියන් කැඳවන්න අවශ්‍ය නැහැ එයට.‍ තමන් ඉන්නා වටපිටාව ලස්සනට තියාගන්න එක තරුණියක් ඉගෙන ගත යුතුම ගුණධර්මයක්.‍

 

ගුරුවරයාගේ වගකීම

ඔබේ හැසිරීම් ගැන කතා කරද්දි තවත් වැදගත් දෙයක් තමයි ගුරුගෝල සබඳතාවය.‍ වෛද්‍යවරයකුට වැරැදුෙණාත් ඒ ලෙඩා මිය යන්න පුළුවන්.‍ පෙරකදෝරු මහතකුට වැරැදුෙණාත් ඒ පුද්ගලයා සිරගත වෙන්න පුළුවන්.‍ ගුරුවරයකුට වැරැදුෙණාත් ඒ වරද සමාජගත වෙනවා.‍ ඒක හරිම භයානකයි.‍ ගුරුවරුන් ඉන්නේ ළමයින්ව හැඩගස්වන්න.‍ ගුරුවරයා, දරුවා දෙස බලන්න ඕ‍නෙ කාගෙවත් ඇසකින් නොවේ.‍ තමන්ගේම ඇසින්.‍ දරුවාව හඳුනා ගැනීමේ හැකියාව ගුරුවරයාට තියෙන්නට ඕනෙ.‍ ගුරුවරයා වූ ඔබේ පෞද්ගලික ප්‍රශ්න, මානසික පීඩන, ගුරුවරයාගේ ආර්ථික පීඩනය කිසිම වෙලාවක දරුවන් මත මුදාහරින්නට එපා.

 

ගෞරවය වැදගත්

මවුපියන්ට කීකරු නැති දරුවන් සමහර අවස්ථාවල ගුරුවරු සමඟ අමුතු ආකාරයට ගනුදෙනු කරනවා. ගුරුවරයා හෑල්ලුවට ලක් කිරීම, විවේචනය කිරීම වගේ දේවල් අපට දකින්න පුළුවන්. හැබැයි ඒ ඔබේ ගුරුවරයා. ගුරුවරු තරම් අනුන්ගේ දරුවන් තමන්ගේ කරගෙන කැපවෙන කෙනෙක් ලෝකෙ කොහෙවත් නැහැ. ඇයි මේ ගුරුවරු මෙච්චර මහන්සි වෙන්නේ, හෙට දවසේ අනාගතය හදන්නයි. එම නිසා ගුරුවරයා ඉදිරියේ ඒ ගෞරවය, හැසිරීම රැක ගැනීම ඔබේ වගකීමක්.

 

මිශ්‍ර පාසලක නම්...

ඔබ මිශ්‍ර පාසලක සිටිනවා නම් එතැන ද ඔබේ හැසිරීම් පරිස්සමට ගොඩනඟා ගැනීම වැදගත්. මිශ්‍ර පාසලකදී පිරිමි ළමුන්ගේ චර්යා නිරීක්ෂණය කරන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම ඔබ අමතක කරන්න එපා, ගැහැනු ළමුන්ගේ චර්යා නිරීක්ෂණය කරන්න පිරිමි ළමයින්ට අවස්ථාවක් ලැබෙනවා. ඔබ අනිත් ළමුන්ගේ ඉස්සරහ කැපී පෙන්නට සිතා අසංවර විදියට හැසිරෙන්න එපා. ඔබේ ඇඳුම් එහෙන් මෙහෙන් ෙප ෙනන්නට අඳින්න එපා. පිළිවෙළට පිරිසුදුවට ඇදුම් අඳින්න. කෑගහලා පිරිමි ළමයි වගේ හැසිරෙන ගැහැනු ළමයින්ට කවුරුත් කැමැති නැහැ. සමාජය ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. ගැහැනු ළමයි ඔක්කොම ලස්සන වෙන්න ඕනේ නෑ. රූප රැජිනියන් වෙන්න ඕනෙත් නැහැ. හැම ගැහැනු ළමයෙක්ම ලස්සනයි. සමාජයේ කැත ගැහැනු ළමයි නැහැ. ඉන්නෙ කම්මැළි ගැහැනු ළමයි. ඔබ තරබාරු නම් ඒක පාලනය කර ගැනීම ඔබේ කාර්යයක්.

 

 

 උපදෙස්

ප්‍රවීණ මනෝ උපදේශිකා

අමා දිසානායක