ලංකාවම ගිනි තියන මොනවද මේ අයිස්

දෙසැම්බර් 19, 2022

 

මේ වන විට ශ්‍රී ලංකාව තුළ අයිස් මත් ද්‍රව්‍ය පැතිරෙමින් පවතිනා බව දිනපත පුවත්පත්වලින් මෙන්ම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ද පල කරන ප්‍රවෘත්තීන් ඔස්සේ දැනගන්නට ලැබෙන්නේ රටේ අනාගතය පිළිබඳව අසූබවාදි සංඛේතයන් අප හමුවට ගෙන ඒමෙනි.

ඔබේ දරුවා ගැන මෙන්ම දරුවාගේ මිතුරා ගැනත් සැලකිලිමත් වන්න

 

ප්‍රධාන පෙලේ පාසල් අසල මත්ද්‍රව්‍ය ජාවාරම්

වර්තමානය වන විට ශ්‍රී ලංකාව පමණක් නොව ගෝලීය වශයෙන් ගත් කළ මුළු ලෝකයම මත් රකුසාගේ ග්‍රහණයට ලක්ව අවසන්ය. අද ලෝකයේ බහුතරයක් අඩු -වැඩි වශයෙන්, වක්‍රාකාරයෙන්, නොදැනුවත්කමින් මත්ද්‍රව්‍ය මඟින් පීඩා ලැබුව ද මෙහි විනාශය මුළු මහත් සමාජ ක්‍රමය පුරාම පැතිර යන බව හඳුනා ගත්තේ මත්ද්‍රව්‍ය පිළිබඳ පැවති ප්‍රථම සැසිවාරයේ දී ය. එම සමුළුව පැවතියේ 1909 දී චීනයේ ෂැංහයි නුවර වන අතර සමුළුව තුළදී ඉදිරිපත් කළ වාර්තාවන් අනුව ඔවුන් ගේ ඍජු නිගමනය වූයේ මෙම උවදුර ගෝලීය ගැටලුවක් වශයෙන් වැඩි කලක් නොගොස් මතුව එන බවය.

 

මේ මොහොතේ මුළු මහත් සමාජ ක්‍රමයටම හානිදායක වන අයුරින් මත්ද්‍රව්‍ය භාවිතය මිනිස් ප්‍රජාව හරහා ව්‍යාප්තව ගොස් අවසන්ය. එය දුප්පත් පොහොසත් මෙන්ම ගමද, නගරයද, යන කිසිත් තැකීමක් නොකර විනාශකාරී ලෙසින් අතුපතර ගසක් මෙන් විහිද ගොස් අවසන්ය.

මීට කලකට පෙර හෙරොයින් මිනිසුන් නොමරා ජීවිතය විනාශ කරන්නට තරම් සමත්කම් දක්වන භයානක මත් ද්‍රව්‍යයක් ලෙසින් පිළිගෙන තිබුණ ද මේ වන විට හෙරොයින්වලටත් වඩා භයානක මත් ද්‍රව්‍යයන් ලෝකය පුරා සංසරණය වෙමින් පවතී.

1874 වසරේදී සී.ආර්.ඇල්ඩර් රයිට් විසින් සොයාගනු ලැබූ හෙරොයින් මිනිස් ජීවිත හානි කරනු ලබන මත්ද්‍රව්‍යයක් ලෙසින් නම් කරනු ලැබුවේ 1971 වසරේදීය. එතෙක් එය වෛද්‍යවරුන් පවා විවිධ රෝග සඳහා ඖෂධයක් ලෙසින් නිර්දේශ කර තිබුණි. මීට අමතරව ස්කොපොලැමින්, ක්‍රිස්ටල් මෙත්, කීටමින්,පර්පල් ඩ්‍රෑන්ක් යන මත්ද්‍රව්‍ය ද ලෝකය පුරා මේ වන විට ව්‍යාප්තව පවතී. ක්‍රිස්ටල් මෙත් එසේත් නොමැති නම් අයිස් මත්ද්‍රව්‍ය ලංකාවේ මේ වන විට නාගරිකව පමණක් නොව ග්‍රාමීය වශයෙන් ද ව්‍යාප්තව ගොස් අවසන්ය. දුම මඟින් සහ එන්නත් කටු මඟින් ශරීරයට ඇතුළු කර ගන්නා මෙම මත්ද්‍රව්‍ය, භාවිතයට ගෙන වැඩි කලක් යාමට මත්තෙන් ශරීරය කෘෂව ගොස් ජීවිතයේ අවසානය කරා ළඟාවේ.

උත්තේජක මත්ද්‍රව්‍යක් ලෙසින් හඳුන්වනු ලබන අයිස් බහුතරයක් මාධ්‍යයන්හි නම් කරනු ලබන්නේ ‘ක්‍රිස්ටල්’ සහ ‘ක්‍රිස්ටල් මෙත්’ යනුවෙනි. මෙම මත්ද්‍රව්‍ය භාවිත කිරීම තුළින් සිදු වන සරල ක්‍රියාකාරිත්වය වන්නේ මොළය සහ ශරීරය අතර සිදු වන පණිවුඩ හුවමාරුව වේගවත් වීමයි. අන් මත්ද්‍රව්‍යයනට වඩා වැඩි වශයෙන් ඇබ්බැහි කරවන සුලු ස්වභාවයක් අයිස් මත්ද්‍රව්‍යයෙහි පෙන්නුම් කරන අතර, මේ හේතුව මූලික කරගෙන නොයෙක් ආකාරයේ අතුරු ආබාධ දක්නට ලැබීම සුලබ කාරණාවක් වී තිබේ. මෙය භාවිතය මඟින් සමස්තයක් ලෙස ගත් කල භාවිතා කරන්නන් සියලු දෙනාටම දැනෙන්නේ එක හා සමාන හැඟීම් හා ශාරීරික චලනයන්ය.

හෘද ස්පන්දනය ඉහළ යාම, ශරීරය සැහැල්ලු වන ආකාරයක් දැනීම, ලිංගික නැඹුරුතාව ඉහළ යාම, ආහාර අරුචිය හා දිව සහ දෙතොල් වියළීම, අධික ලෙස දහදිය දැමීම දැකිය හැකි වේ.

කටු භාවිතයෙන් සහ මුඛය හරහා ශරීරයට ඇතුළු කරගන්නා මින් ශරීරය සංවේදනය වීමට ගතවන්නේ විනාඩි 15-30ත් අතර කාලයකි. එහෙත් නාසය මඟින් මත්ද්‍රව්‍ය ශරීරයට ඇතුළු වූ පසු එහි ක්‍රියාකාරිත්වය සිදු වීමට වැය වන්නේ මිනිත්තු 5ක වැනි කෙටි කාලයකි. මෙය භාවිතයට ගත් පසු සාමාන්‍ය අයුරින් මෙමඟින් සිදු වන බලපෑම පැය කීපයක් පුරා රැඳී තිබෙන අතර එය දිගු වේලාවක් රඳවා ගැනීමට නම් නොකඩවා මත්ද්‍රව්‍යය ශරීරයට ඇතුළු කරගත යුතුය. මේ කටයුත්තට යොමු වීමත් සමඟ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීමේ කාලය ඇරඹීම ශෝචනීය තත්ත්වයකි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් කතා කරනු ලබන මාතෘකාව වන්නේ අතොරක් නොමැතිව විහිද පැතිර යන අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙනි. මෙය වඩාත් කනගාටුදායක තත්ත්වය වන්නේ රටේ අනාගතය බාර ගැනීමට සිටින පාසල් දරුවන් පවා මේ සඳහා ශීඝ්‍රයෙන් ඇබ්බැහි වීමය. විශේෂයෙන් පාසල් සිසුන් මේ සඳහා යොමු කර ගැනීමේ අරමුණින් සංවිධානාත්මක ජාලයක් ක්‍රියාත්මක වන බව ද මේ වන විට බුද්ධි අංශ විසින් සොයාගැනීම තුළම එහි භයානකත්වය කවරේද යන්න අවබෝධ කර ගැනීම සුළුපටු කාරණාවක් නොවේ.

මේ වන විට සිදුකර ඇති පර්යේෂණවලට අනුව මානසික රෝගයන් ඉහළ යෑම කෙරෙහි ද වඩාත් බලපා ඇති කාරණාව වන්නේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයයි. එය අයිස් භාවිතය නිසා සිදු වන එක් විපාකයක් වන අතර අංශභාගය මෙන්ම හෘදයාබාධ වැනි රෝගවලට ගොදුරු වීමටද ඉතාමත් කෙටි කාලයක් තුළ මියයෑමේ බලපෑම ද සිදු වන්නකි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ අයිස් මත් ද්‍රව්‍ය පැතිරෙමින් පවතිනා බව දිනපත පුවත්පත්වලින් මෙන්ම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ද පල කරන ප්‍රවෘත්තීන් ඔස්සේ දැනගන්නට ලැබෙන්නේ රටේ අනාගතය පිළිබඳව අසූබවාදි සංඛේතයන් අප හමුවට ගෙන ඒමෙනි. විශේෂයෙන් පාසල් සිසුන් අයිස් මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහි කරවීමේ අරමුණින් බොහෝ සංවිධාන ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ මඩිය තරකර ගැනීමේ අරමුණෙනි. එහි එක් පියවරක් වන්නේ දරුවන් හරහා ඔවුන්ගේ අවශ්‍යතා තුළින් මාපියන්ගේ මුදල් ගරා ගැනීමේ චේතනාවයි. එය මේ වන විටත්, එම සංවිධාන ජාල ඉතාමත් පහසුවෙන් ඉටුකර ගනිමින් සිටිති.

මාපියන් වශයෙන් හයක් හතරක් නොතෙරෙන තම දරුවන් එයට ඇබ්බැහි වීමට පෙර ඉන් මුදවා ගැනීම සූක්ෂමව කළයුතු කාර්යයකි. නිවසේ සිටින දරුවා මීට පෙර දැක්වූ ක්‍රියාකාරකම්වලට පරිබාහිරව වෙනත් වූ කාර්යයන් කෙරෙහි උනන්දුවක් දක්වන්නේ නම් හෝ අනිසි දෑ වලට පෙ‍ළඹෙන්නේ නම් ඒ පිළිබඳව සොයා බැලීම මාපියන්ගේ වගකීමකි. එපමණක් නොව ඔහු හෝ ඇය ආශ්‍රය කරනු ලබන මිතුරු මිතුරියන් කවුරුන්ද ඔවුන්ගේ සමාජ වටපිටාව කවරේ ද යන්න විශේෂිතවම සොයා බැලීය යුතුය.

එසේම දැනගත යුතු තවත් කාරණාවක් වන්නේ අයිස් මත්ද්‍රව්‍ය තම දරුවා වෙත පැමිණෙන්නේ මූලිකවම මත්ද්‍රව්‍යක් ආකාරයෙන් නොවේ. එය ටොෆි වර්ගයක් ලෙසින් හෝ දරුවා වෙත පැමිණ ඔවුන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි කරගැනීමේ පළමු අදියර ක්‍රියාත්මක වේ. ඒ හරහා ඉදිරිය තීරණය වන්නේ මෙවන් වූ දෑ හරහාය. එනිසා මාපියන් තම දරුවන්ට උපදෙස් ලබා දිය යුත්තේ තමන්ට නුහුරු ටොෆි වර්ගයක් හෝ රසකැවිලි අත්හදා බැලීමට හෝ නො‍යන ලෙසයි.

සමස්තයක් ලෙසින් ගත කළ ශ්‍රී ලංකාවේ සිසු පරපුර සීඝ්‍රයෙන්, විශේෂයෙන්ම අයිස් මත්ද්‍රව්‍ය සඳහා යොමුවීම වැඩි වශයෙන් සිදුව ඇති බව සංඛ්‍යා ලේඛනයන්ගෙන් පවා ඔප්පුවන කරුණකි. ප්‍රධාන පෙලේ පාසල් අවට මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් විවිධ අයුරින් රැඳි සිටිනා බව අප හොඳින් මතක තබාගත යුතු කරුණකි. එනිසා රටේ අනාගතය භාර ගැනීමට සිටින දරුවන් මත් උවදුරෙන් ආරක්ෂා කර ගැනීම අප සියළු දෙනාගේම වගකීමක් බව ඉඳුරා සිහිතබා ගත යුතුය.