ගෙතුළට චාම් සුන්දරත්වයක් කැඳවන අපූරු මල් බඳුන්

ජුනි 30, 2021

 

වෙහෙස මහන්සිව හරි හම්බ කරන මුදල අරපරෙස්සමට විය පැහැදම් කරමින් අප සොඳුරු කැදැල්ලක් තනනවා. ඒ අපේ ආදරණීය දරු පවුල සමඟ නිවී සැනසිල්ලේ ජීවත් වන්නටයි.

ඉතින් සතුට, සෙනෙහස, ආදරය, කරුණාව පිරුණු මේ අපූරු නිවහන සුවපහසු බවින් මෙන්ම වඩාත් දැකුම්කලු ස්ථානයක් බවට පත්කර ගැනීමටයි අප කාගේත් වැඩි කැමැත්ත. ඒ නිසාම ගෙමිදුලට වාගේම ගෘහ අභ්‍යන්තරයටත් හරි අපූරු අංගෝපාංග බොහොමයක් එකතු කරන්නට පසුබට වන්නේ නැහැ.

විශේෂයෙන්ම ගහකොළට , සොබාවික පරිසරයේ සුන්දරත්වයට වඩාත් ලොබ බඳින එහි අසිරිය වැඩිවශයෙන් විඳගැනීමට නොහැකි අය එය තම ගෙමිදුලට සේම ගෙතුළට කැඳවන්නට උත්සාහ දරනවා. ඒ ඇසුරෙන් තම නිවහන කලඑළි කරගන්නවා සේම එය සිත නිවන ස්ථානයක් බවට පත්කර ගැනීමටයි බොහෝදෙනෙකුගේ වෑයම.

කලබලකාරී බවින් තොර චාම් සුන්දරත්වයක් රැගෙන එන මේ අපූරු මල් බඳුන් දෙස බලන්න. එතරම් විශාලව නොවැඩෙන විසිතුරු ශාක හරි අපූරුවට බඳුන්කර තිබෙනවා පමණක් නොව ඒවා වඩාත් කලාත්මකව ස්ථානගත කිරීමයි මෙහි විශේෂත්වය. මේ ශාක සිටුවා ඇති බඳුන් හරිම කලාත්මකයි නේද? විවිධ හැඩතල සහිත සේම වර්ණ ගන්වන ලද බඳුන් ද ඔබට මේ සඳහා යොදා ගත හැකියි. එමෙන්ම මේ බඳුන් රඳවා ඇති රාක්ක ආදිය සඳහා ද තරමක් වෙනස් හැඩතල භාවිත කරන්න. එවිට ලැබෙන චමත්කාරය ද තරමක් වෙනස්.

ඉතින් කොරෝනා වසංගතය සමඟ නිවෙසට වෙලා ඉන්න ඔබටත් මේ විදිහට ඔබේ නිවහනට අපූරු චමත්කාරයක් එකතු කරගත හැකිදැයි බලන්න.

 

 

ඡායාරූප - අන්තර්ජාලයෙනි