කාන්තාවක් විහාරස්ථානයකදී හැසිරිය යුත්තේ කෙසේද?

අගෝස්තු 4, 2021

 

විහාරස්ථානවලට යන විට අඳින ඇඳුම් පිළිබඳව කාන්තාවන් ඉතා සැලකිලිමත් විය යුතුයි. “ස්වාමින් වහන්සේලා ගැහැනුන්ගේ ඇඳුම් ගැන බලන්නට කලින්, තමන්ගේ හිත ගැන බැලුවනම් හරිනේ...” යැයි සංඝරත්නයට බනින්නට පෙර පහත සඳහන් ලිපිය කියවා සිටින්න. මෙය මෙහෙණි ආරාමවලට යන පිරිමින්ට ද අදාළය.

 

විහාරස්ථානයකට පැමිණෙන විට අඳින ඇඳුම් ගැන සැලකිලිමත් විය යුතුය. (කොට ඇඳුම්, ඇඟට සිර වුණු දිග කලිසම් වැනි ඇඳුම්, විවිධාකාර වර්ණවත් පාට ඇති ඇඳුම්, විවිධාකාර ආභරණ පලඳා පැමිණීම. හඬනගා කතා කිරීම. තම තමන්ගේ යහළුවන් නෑදෑයින් සමඟ විහිළු තහළු කරමින් විහාර භූමියේ හැසිරීම. තමන්ගේ ඇඳුම් පැලඳුම්, කතා කිරීම්, ස්වාමීන් වහන්සේලා වැඩ සිටින කොටසේ සිටින කාලය තුළ තමන්ගේ හැසිරීම්වලින් විහාරස්ථානයේ සිටින ස්වාමින් වහන්සේලාගේ කෙලෙස් ඇවිස්සෙන කුමන හෝ ආකාරයක කටයුත්තක් තමන්ගේ අතින් වීම, ගිහි පැවිදි දෙපාර්ශවයටම ඉතා හානිකර වේ. එය කිසිසේත්ම සුදුසු නොවේ.

කාන්තාවන් විහාරස්ථානවලට ඇඳිය යුත්තේ කුමන ඇඳුම්ද? කියන ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර, විහාරස්ථානවල වැඩ වාසය කරන්නේ කුමන කටයුත්තක් සදහා පැවිදි වූ පිරිසක්ද, කියන කරුණට අවධානය යොමුකළ යුතුය.

 

සියලු දුක් නැති කර නිවන් අවබෝධ කර ගැනීම උදෙසා පැවිදි වන පින්වතුන් වහන්සේලා වැඩ වාසය කරන්නේ පන්සල් හෝ ආරණ්‍යවල යි. නිවන් දකින්නට තිබෙන ලොකුම බාධාව කෙලෙස් ධර්මයි. ඒ කෙලෙස් නැසීම උදෙසා පැවිදි වන පින්වත් ස්වාමීන් වහන්සේලා, මව්පියන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්, නෑදෑ හිතමිතුරන්ගෙන්, යාාන වාහන දේපළ ඉඩකඩම් වලින්, සියලු ලෞකික සැප සම්පත් වලින් වෙන්වී, ලෝකෝත්තර සම්පත් සොයා ගෙන යෑම උදෙසා සිදු කරන කැපකිරීම්, පරිත්‍යාගයන්ගේ ප්‍රමාණය අති විශාල වෙයි.

මේසා විශාල කැපකිරීම් රාශියක් සිදු කරන භික්ෂූන් වහන්සේලා, මුහුණ දෙන විශාලම අභියෝග අතර එකක් වන්නේ, පංච කාම සම්පත් කෙරෙහි පවතින ලෝභය නැවත මතු නොවන ආකාරයට නැති කර දැමීම යි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පහට පංචකාම සම්පත් කියලයි කියන්නේ. පංච නීවරණ ධර්ම වල කාමච්ඡන්දය යැයි කියන්නේ ද මෙයයි. මේ පංචකාම සම්පත් නැති කරන්නට උත්සහ කරන යුද්ධයේදී ගිහි පැවිදි බොහෝ දෙනා පරාජිතයෝ වේ.

 

“කාමච්ඡන්දනීවරණා භික්ඛවේ, අන්ධකරණං අචක්ඛුකරණං අඤ්ඤාණකරණං පඤ්ඤානිරෝධියං විඝාතපක්ඛියං අනිබ්බාන සංවත්තනිකං” (බොජ්ඣංග සංයුත්තය)

“මහණෙනි, කාමච්ඡන්දය සත්ත්වයා අන්ධ කරයි, නුවණැස නැති කරයි, මෝඩ කරයි, නුවණ නැති කරයි, දුකට පක්‍ෂ වූවක්, නිවන් පිණිස නොපවත්නක්” යැයි දේශනා කළහ. කාමච්ඡන්දය මේරූ විට පැවිදි පින්වතුන් වහන්සේලා ද අන්ධ වේ.

 

බොහෝ පැවිදි පින්වතුන් වහන්සේලා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ගැන කලකිරී, ඒවාට නැවත මතු වන්නට ඉඩ නොදී සිත රැකගෙන, ගිහිගෙයින් වෙන්ව වාසය කළත්, කුමන කාරණා නිසා හෝ ඒ කෙලෙස් නැවත මතු වීම නිසා ටික කලකින්ම සිවුරු අත්හැර ශාසනයෙන් ඉවත් වෙයි.

ඒ පසු පස පවතින ප්‍රධාන කාරණාවක් වන්නේ මේ පංච කාම සම්පත් කෙරෙහි පවතින ලෝභය යි. මේ ලෝකයේ ඇති ඉතාම ආස්වාදනීයම දෙයක් වන්නේ ද මේ පංචකාමය යි. සියලුම සත්වයින්ට තිබෙන විශාලත ම නපුර වන්නේ ද මේ පංචකාමය යි. ස්වාමීන් වහන්සේලා සසුන්ගතව වැඩ වාසය කරන පන්සල්, ආරණ්‍ය සේනාසනවල පංචකාමයන් මතු වන්නට සුදුසු අරමුණු නැත. පංචකාමයන්ට සුදුසු අරමුණු ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරන තැන් වල තිබුණහොත්, මතුවන කාමච්ඡන්දයේ පීඩාව නිසා, උන්වහන්සේලාට වැඩි කලක් සසුන්ගත වූ අරමුණ ඉටු කරගෙන ඉදිරියට යන්නට තිබෙන ඉඩකඩ ඇහිරේ.

ඕනෑම ගිහි පැවිදි පින්වතෙක් ඉදිරියට පැමිණෙන පංචකාම සම්පත් කෙරෙහි අරමුණු ඔහුට දැඩි සේ බාධා ඇති කරයි.

 

අලුත පැවිදි වූ වංගීස තෙරුන් වහන්සේ කාමයෙන් පීඩාවට පත්වීම.

 

ආනන්ද තෙරුන් වහන්සේට රජවරුන්ගේ මැති ඇමතිවරුන්ගෙන් දාන පින්කම් සඳහා නිතර නිතරම ආරාධනා ලැබුණා.

වංගීස තෙරුන් වහන්සේ පැවිදි වූ අලුත එක්දිනක් ආනන්ද තෙරුන් වහන්සේගේ පසුපසින් එවැනි දානයකට වැඩම කළා. ඒ දානය පූජා කළ කුලවත්, ධනවත්, කාන්තාවන්, ඉතා විසිතුරු ඇඳුම් ඇඳගෙන, අලංකාර ආභරණ දරාගෙන, ආනන්ද තෙරුන් වහන්සේ ළඟට ඇවිත් තල්පතකින් පවන් සලමින් ප්‍රශ්න අසමින් ධර්ම සාකච්ඡාවක් කළා.

මේ මොහොතේ අලුත පැවිදි වූ වංගීස තෙරුන් වහන්සේට, සුදුසු අරමුණක සිත තබා ගන්නට නොහැකි වුණා. මේ කාන්තාවන්ගේ ස්ත්‍රී රූපය අරමුණු වුණු නිසා උන්වහන්සේගේ සිත රාගයෙන් වැසී යහපත් කුසල් අරමුණු විනාශ වී ගියා. වංගීස තෙරුන් වහන්සේ පැවිදි වුණේ මහත් ශ්‍රද්ධාවෙන්. ඔහු සෘජු ස්වභාවය තිබුණ කුලපුත්‍රයෙක්. මේ රාගය වර්ධනය වී තමන් වහන්සේගේ මෙලොව පරලොව යහපත විනාශ කරයි යැයි සිතූ වංගීස තෙරුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට ඒ මොහොතේම කතාකර මේ ගැන කිව්වා.

 

‘‘කාමරාගෙන ඩය්හාමි, චිත්තං මෙ පරිඩය්හති;

සාධු නිබ්බාපනං බ්‍රූහි, අනුකම්පාය ගොතමා’’ති.

 

“ගෞතම ගෝත්‍රයෙහි වූ පින්වත් ආනන්‍දයන් තෙරුන් වහන්ස, මම කාම රාගයෙන් දැවෙනවා. මාගේ සිත හාත්පසින්ම දැවෙනවා. අනුකම්පාකොට මා හට එය නැති කර ගන්නට ක්‍රමයක් වදාළ මැනව.”

 

ආනන්ද තෙරුන් වහන්සේ ඒ මොහොතේම මෙහෙම පිළිතුරු දුන්නා.

 

‘‘සඤ්ඤාය විපරියෙසා, චිත්තං තෙ පරිඩය්හති;

නිමිත්තං පරිවජ්ජෙහි, සුභං රාගූපසංහිතං.

 

“පින්වත් ඔබ වහන්සේගේ හිත දැවෙන්නේ සඥා විපර්‍ය්‍යාස හේතුවෙනුයි. රාගය උපදින්නට හේතුවූ ශුභ වශයෙන් ගන්නා ලද අරමුණ දුරු කරන්න.

 

‘‘සඞ්ඛාරෙ පරතො පස්ස, දුක්ඛතො මා ච අත්තතො;

නිබ්බාපෙහි මහාරාගං, මා ඩය්හිත්ථො පුනප්පුනං.

 

“සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් බලන්න. දුක් වශයෙන් බලන්න. ආත්ම වශයෙන් නම් බලන්න එපා. මහා රාග ගින්න නිවන්න. එයින් නැවත නැවත දැවෙන්න එපා.

 

‘‘අසුභාය චිත්තං භාවෙහි, එකග්ගං සුසමාහිතං;

සති කායගතා ත්‍යත්ථු, නිබ්බිදාබහුලො භ.

 

“අශුභ භාවනාවෙන් සිත එකඟ කරගෙන අසුභය වඩන්න. ඔබවහන්සේ කය අනුවම සිහිය පිහිටුවන්න. කලකිරීම බහුල වශයෙන් ඇති කර ගන්න.

‘‘අනිමිත්තඤ්ච භාවෙහි, මානානුසයමුජ්ජහ;

තතො මානාභිසමයා, උපසන්තො චරිස්සසී’’ති.

 

“විදර්‍ශනාව වඩන්න. මානානුසය උදුරා හරින්න. ඒ ආකාරයට මානය නැති කිරීම හේතුකොටගෙන සන්සිඳුනෙක්ව හැසිරෙන්න.” (සංයුත්ත නිකාය, වඞ්ගීස සංයුත්තය, ආනන්ද සූත්‍රය)

 

පසු කාලයේදී මහරහතන් වහන්සේ නමක් වුනත්, පැවිදි වූ අලුූත වංගීස තෙරුන් වහන්සේ සුන්දර ඇඳුම් සහ ආභරණ පළඳාගෙන ළඟ සිටිමින් ධර්ම සාකච්ඡා කළ කාන්තාවන් නිසා, කාමරාගයෙන් පීඩාවට පත්වුණු ආකාරය යි ඒ.

 

ස්වාමීන් වහන්සේලා කාන්තාවන් කෙරෙහි පිළිපැදිය යුත්තේ කෙසේද?

 

එක් දිනක් ආනන්ද මහතෙරුන් වහන්සේ බුදුපියාණන් වහන්සේගෙන් "ස්වාමීනි අපි කාන්තාවන් කෙරෙහි පිළිපඳින්න ඕන කුමන ආකාරයට ද? යැයි ඇසුවා. මේ බව සදහන් වන්නේ දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ආනන්දපුච්ඡකථා කොටසේයි.

 

ආනන්ද තෙරුන් වහන්සේ -

‘‘කථං මයං, භන්තෙ, මාතුගාමෙ පටිපජ්ජාමා’’ති?

 

තේරුම - “භාග්‍යවතුන් වහන්ස, අපි ස්ත්‍රීන් කෙරෙහි කෙරෙහි පිළිපදින්න ඕන කොයි ආකාරයටද?”

 

‘‘අදස්සනං, ආනන්දා’’

 

තේරුම - “ආනන්දය, ස්ත්‍රීන්ව නොදකින තරමට හොඳයි.

 

‘‘දස්සනෙ, භගවා, සති කථං පටිපජ්ජිතබ්බ’’න්ති?

 

තේරුම - “භාග්‍යවතුන් වහන්ස, ස්ත්‍රීන්ව දැක්කොත් කොහොමද පිළිපඳින්න ඕන,"

 

‘‘අනාලාපො, ආනන්දා’’ති .

 

තේරුම - “ආනන්දය කථා නොකිරීමම හොඳයි,"

 

‘‘ආලපන්තෙන පන, භන්තෙ, කථං පටිපජ්ජිතබ්බ’’න්ති?

 

තේරුම - "භාග්‍යවතුන් වහන්ස කාන්තාවක් කථා කළොත් කොහොමද පිළිපඳින්න ඕන."

 

‘‘සති, ආනන්ද, උපට්ඨාපෙතබ්බා’’ති

 

තේරුම - “ආනන්දය, සිහියෙන් යුක්ත විය යුතුයි”

 

අටුවාවේ එය විස්තර කරන්නේ මේ ආකාරයටයි.

 

භික්ෂූන් වහන්සේ නමක් විසින් කාන්තාවක් නොදැකීම ඉතාම උතුම් ප්‍රතිපත්තිය යි. දොර වසාගෙන සෙනසුනෙහි සිටින භික්ෂූන් වහන්සේගේ දොර ළඟට ආ කාන්තාවක් යම්තාක් කාලයක් දකින්නෙ නැද්ද? ඒතාක් කාළයක් ආසාවක් ඇති නොවේ. හිත නොසැලේ. කාන්තාවක් දුටු විට ආසාවත්, සිත නොසන්සුන්වීමත් දෙකම ඇති වේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ "අදස්සනං ආනන්ද" ආනන්දය කාන්තාවක් නොදැක සිටීම උතුම් ප්‍රතිපත්තිය යැයි දේශනා කළා.

 

දානය රැගෙන විහාරස්ථානයට පැමිණි පසු පිළිපදින ආකාරයයි ඊලඟට දේශනා කළේ.

 

ඒ ගැන අටුවාවේ සඳහන් වන්නේ මෙසේයි. "කඩුවක් අතින් ගෙන මා සමඟ කතා කරනවාද, මෙහිම තාගෙ මස් පට පට ගා කන්නෙමියි සිටියා වූ යක්‍ෂණියක් සමග කථාකිරීම මෙන් වටනේය. එක් ආත්මභාවයක ඒ නිසා විනාශය වෙයි. අපායන්හි සීමාවක් නැති දුක් අනුභව කිරීමක් නැත. කාන්තාවක සමග කථාබහ කරද්දී විශ්වාසයක් ඇතිවෙයි. විශ්වාසයක් ඇතිකල්හි සිදුරක්, දෝෂයක් ඇතිවෙයි. එයට වැටුන සිත සීල හානියට පත්ව අපාය පුරවන්නෙක් වෙයි. ඒ නිසා ‘අනා ලාපො’ ආනන්දය කථා නොකිරීම උතුම් ප්‍රතිපත්තිය යැයි දේශනා කළහ.

 

“සල‍්ලපෙ අසිහත්‍ථෙන, පිසාචෙනාපි සල‍්ලපෙ;

ආසීවිසම‍්පි ආසීදෙ, යෙන දට‍්ඨො න ජීවති;

න ත්‍වෙව එකො එකාය, මාතුගාමෙන සල‍්ලපෙ”ති.

 

තේරුම - "කඩුවක් අතැති අය සමග කථා කරන්නේය. ප්‍රේතයකු සමග කථා කරන්නේය. ආශීර් විසද ළඟින් සිටින්න. යම් සර්පයකු විසින් දෂ්ට කරන ලද්දේ ජීවත් නොවෙයි. නමුත් එක්කෙනෙක් එක් ස්ත්‍රියක් සමග කථාබහ නොකරන්නේය."

 

යම්කිසි කාන්තාවන් දවස ගැන අහනවද? සිල් ඉල්ලනවද? ධර්මය ඇහෙනවද එවිට කතා කළ යුතුයි. නැතිනම්, "මේ ගොළුවා, මේ බිහිරා, කාලා කාලා කතා කරන්නෙත් නැතුව කට තද කරගෙන ඉන්නවා" යැයි බැනුම් අසන්නට වේ. ඒ නිසා අවශ්‍ය දෙයක් කතා කළ යුතු වෙයි.

 

එවිට, කාන්තාවන් සමග කතා කරන අය, පිළිපැදිය යුත්තේ කොයි ආකාරයටදැයි බුදුපියාණන් වහන්සේ දේශනා කළා.

 

තමන්ගේ අම්මා හා සමාන වයසින් වැඩි කාන්තාවක් නම් තමන්ගේ අම්මා ලෙස සිතක් ඇති කරගන්න. නැඟණියක තරමේ කාන්තාවක් නම් නැඟණියක් යයි සිතක් ඇතිකරගන්න. තමන්ට වඩා වයසින් බොහෝ අඩු කාන්තාවක් නම් දුවක් දැයි සිතක් ඇතිකරගන්න. එසේ සිහිය පිහිටුවා ගන්නේ නැතුව කටයුතු කළහොත් සිදු වන්නේ ඉතා නපුරකි.

 

මව හා පුතුගේ කාමරාගය

සැවැත්නුවර ජේතවනාරාමයේ බුදුපියාණන් වහන්සේ වැඩ වසන කාලයේ , එක්තරා මවක් සහ පුතෙක් පැවිදිව සිටියා. වස්න කාලයේ මේ අම්මට පුතාව නිතර දකින්නත් , පුතාට අම්මව නිතර දකින්නත් දැඩි කැමැත්තක් ඇති වුණා. මේ මව් භික්ෂුණියත්, පුත් භික්ෂුවත් නිතර නිතරම මුණ ගැසෙන විට ඔවුන් අතර දැඩි විශ්වාසයක් ගොඩ නැගුණා. ඔවුන් ලිංගිකව හැස හැසිරුනා. බුදු පියාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් මේ බව දැන ගත්තා. මේ සිදුවීම මුල් කරගෙන බුදු පියාණන් වහන්සේ මෙසේ දේශනා කළා.

 

"පින්වත් මහණෙනි, ඒ හිස් පුරුෂයා, මව පුතු කෙරෙහි රාගයෙන් නො ඇළෙයි කියා හිතුවද? පුතා මව කෙරෙහි රාගයෙන් නො ඇළෙයි කියලා හිතුවද?"

 

"පින්වත් මහණෙනි, යමකට ඇලුම් කරනවා ද? කැමති වෙනවාද? මත් වෙනවාද? බැඳ ගන්නවාද? මුසපත් වෙනවාද? උතුම් නිවන ලැබීමට අනතුරු කරනවාද? මහණෙනි ඒ ස්ත්‍රී රූපය යි. මම සර්වඤ්ඤතා ඥානයෙන් ඒ ස්ත්‍රී රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය තරම් අනතුරුදායක වෙනත් කිසිවක් නොදකිමි."

 

"මහණෙනි ස්ත්‍රි රූපයට වසඟ විී, එහි ඇලුණ, ගැටුන, ගිජු වුන, මුසපත් වුන, ඇතුලත් වුන, සියලු සත්වයෝ ශෝක කරනවා."

 

‘‘ඉත්ථී, භික්ඛවෙ, ගච්ඡන්තීපි පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති; ඨිතාපි...පෙ.... නිසින්නාපි... සයානාපි... හසන්තීපි... භණන්තීපි... ගායන්තීපි... රොදන්තීපි... උග්ඝාතිතාපි ... මතාපි පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති. යඤ්හි තං, භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්‍ය - ‘සමන්තපාසො මාරස්සා’ති මාතුගාමංයෙව සම්මා වදමානො වදෙය්‍ය - ‘සමන්තපාසො මාරස්සා’’’ති.

 

“පින්වත් මහණෙනි, ස්ත්‍රිය යන්නීද, පුරුෂයාගේ සිත හාත්පස මැඩගෙන සිටියි. සිටියාද, හුන්නීද, ශයනය කරන්නීද, සිනාසෙන්නීද, කථා කරන්නීද, ගායනා කරන්නීද, හඬන්නීද, ඉදිමුණු තැනැත්තීද, මළ තැනැත්තීද පුරුෂයාගේ සිත හාත්පස මැඩගෙන සිටියි. මහණෙනි, මනාකොට කියන්නේ, ‘මාරයාගේ හාත්පස මළපුඩුවය’ යි යමෙක් කියන්නේද, ස්ත්‍රියම මාරයාගේ හාත්පස මළපුඩුවයයි මනාකොට කියන්නෙක් එය කියන්නේය” යි වදාළ සේක.

 

“කඩුවක් අතට ගත් අයෙකු සමගද කථා කරන්න. අමනුෂ්‍යයෙකු සමගද කථා කරන්න. දෂ්ට කළොත් මැරෙන විෂඝෝර සර්පයෙකුට ලංවන්න."

 

“තමන් තනිව තනිව සිටින ස්ත්‍රියක් සමඟ කථා කරන්න එපා. ස්ත්‍රීන්, සිහි මුළාවට පත් වූ පිරිමින් බැලීමෙන්ද, සිනාවෙන්ද බැඳ ගනිත්."

 

 

“තවද, නපුරුකොට හැඳීමෙන්ද, මිහිරි කථාවෙන්ද බැඳගණිත්. ඉදිමුනාවූද, මළාවූද මේ ජන තෙම ලංවීමට නුසුදු වේ."

 

“සිත්කළුවූ රූපය, ශබ්දය, ගන්‍ධය, රසය, ස්පර්‍ශය යන මේ පස්කම් ගුණයෝම ස්ත්‍රී රූපයෙහි දක්නා ලැබෙත්."

 

“කාම තෘෂ්ණා නමැති සැඩ පහරින් ගසාගෙන යන්නාවූ, කාමයන් පිරිසිඳ නොදන්නාවූ, ඔවුන්ගේ කාලය ගතිය සංසාරයෙහි පෙරටු කරණ ලද්දාහු වෙත්."

 

“යම් කෙනෙකුන් කාමයන් පිරිසිඳ දැන, කොයිනුත් බියක් නැත්තාහු හැසිරෙද්ද, යම්කෙනෙක් ආශ්‍රවයන් නැසීමට පැමිණියාහුද, ඔවුහු ඒකාන්තයෙන් ලෝකයෙහි පරතෙරට ගියාහු හෙවත් නිවණට පැමිණියාහු වෙත්ය” යි වදාළ සේක.

 

මෙය කාන්තාවන්ගේ දෝෂයක් නොවේ. පිරිමින්ගේ දෝෂයක් ද නොවේ. දෙපාර්ශවයේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම සම්පත් වල දෝෂය යි.

(අංගුත්තර නිකාය, පංචක නිපාතය, නීවරණ වර්ගය, මාතාපුත්ත සූත්‍රය)

 

“ඉත්ථිරූපේ ඉත්ථිසරේ පොට්ඨබ්බේපි ච ඉත්ථියා,

ඉත්ථිගන්ධෙසු සාරත්තෝ විවිධං වින්දතේ දුඛං”

ඉත්ථිසෝතානි සබ්බානි සන්දන්ති පඤ්ච පඤ්චසූ

තේසමාවරණං කාතුං යෝ සක්කෝති විරීයවා,

සෝ අත්ථවා සෝ ධම්මට්ඨෝ සෝ දක්ඛෝ සෝ විචක්ඛණෝ.

(පාරාපරිය මහරහතන් වහන්සේ)

 

තේරුම:

"ස්ත්‍රී රූපයෙහි ද, ස්ත්‍රී ශබ්දයෙහි ද, ස්ත්‍රී ස්ඵර්ශයෙහිද, ස්ත්‍රී ගන්ධයෙහි ද, ඇලුණ සත්වයෝ අනේකප්‍ර‍කාර දුක් විඳි. ස්ත්‍රියගේ රූපාදි වූ ශ්‍රෝතස් ද, ස්ත්‍රී රූපාදිය නිසා ඇති වන තෘෂ්ණා ශ්‍රෝතස් ද, පුරුෂයා ගේ චක්ෂුරාදි ද්වාර පසට ගලන්නේ ය. යමකුට සිහිනුවණ උපදවා ඒවා වළකා ගත හැකි වේ නම් ඔහු වීර්‍ය්‍ය ඇතියෙකි. තමාගේ යහපත කර ගන්නෙකි. ධර්මයෙහි පිහිටියෙකි. දක්ෂයෙකි. නුවණැතියෙකි."

 

කරුණු මෙසේ සඳහන් කළ විට "කාන්තාවන්ටයි හැම තැනකින්ම අසාධාරණකම් කියා නිකරුණේ දොස් කීමෙන් වලකින්න." ඉහත සඳහන් කළ කරුණු කාන්තාවන්ට පිරිමින්ගේ පාර්ශ්වයෙන්ද පවතින ගැටළු වේ. එබැවින් පිරිමි අය මෙහෙණි ආරාම වලට යෑමේ දී ද පරිස්සම් විය යුතු ය. සංවර විය යුතු ය.

 

මේවා පුද්ගලයින්ගේ වරදක් නොවේ. සංසාරයේ ඇද බැඳ තබන කෙලෙස් ධර්ම වල වරදයි. ඒ නිසා කාන්තා පිරිමි දෙපාර්ශවයම කෙලෙසුන් නසා සසරින් එතෙර වන්නට වග බලා ගත යුතු ය.

 

 

 

අනුශාසනාව

පූජනීය , තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය, රත්නපුර.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.