වේලක් පිරිමසා ගත හැකි දෙල් විවිධ ආකාරයට රස බලමු.

අගෝස්තු 4, 2021

ලංකාවේ අපිට වටිනාකමින් බහුල දේශීය ආහාර පානවලින් නම් අඩුවක් නැහැ. මෙවැනි වසංගත කාලයකදී වුව කෑම බීම හිඟයකින් තොරව ලැබෙන්නේ එනිසයි. කොස්, පොලොස්, දෙල්, අඹ කියන්නේ එවැනි වේලක් පිරිමසා ගත හැකි අපූරු කෑමක්. ඔන්න ඉතිං අපේ දෙල් වාරේ ඇවිත්. වාරයට ගහ පිරෙන්න හැදෙන දෙල් හැමදාම කන්නත් බැහැ. ඒ වගේම ඕනෑම කෑමක් එකම විදිහට ආහාරයට ගතහොත් නීරස වෙනවා.

ඒත් විවිධත්වයකින් යුතුව සකසා ගතහොත් ආහාරයක රුචිය වඩවනවා. මෙවර රසාර කෑම අතිරේකය ගෙන එන්නේ විවිධ රසට දෙල් ආහාරයට සකසා ගන්නා අයුරුයි.

 

උපදෙස් -

ප්‍රවීණ සූපවේදිනී, කේක් නිර්මාණ උපදේශිකා

සර්වදර්ශනී අප්සරා

 

 

දෙල් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා ගත් දෙල්

ගෙඩියක් (අඟලේ කෑලිවලට කපාගෙන තම්බා ගන්න)

රට ලූනු ග්‍රෑම් 50ක් (බික් කපා ගත්)

උම්බලකඩ මේස හැඳි 1ක්

කෑලි මිරිස් තේ හැඳි 2ක්

අබ ඇට තේ හැඳි 2ක්

තක්කාලි ග්‍රෑම් 50ක්

රස අනුව ලුණු

කහ කුඩු තේ හැඳි 1/4ක්

සුදු ලූනු තේ හැඳි 2ක්

අමු ඉඟුරු තේ හැඳි 1ක්

රම්පෙ, කරපිංචා

මිටක්

අමු මිරිස් කරල් 5 - 6ක්

සෝයා සෝස් මේස

හැඳි 1ක්

තෙල් ස්වල්පයක්

 

සාදන ක්‍රමය

භාජනයක් ළිප තබා තෙල් මේස හැඳි 3ක් පමණ දමා රත්කර ගන්න. එය රත්වූ විට එයට අබ ටික දමන්න. අමු ඉඟුරු ද එක්කර ගන්න. ඉන්පසුව එයට තම්බා ගත් දෙල් ටික දමා බැදගන්න. එය බැදෙන විට එයට රස අනුව ලුණු, කහ කුඩු, එකතුකර කලවම් කර ගන්න. දැන් එයට කපාගත් තක්කාලි එකතු කරන්න. සෝයා සෝස් එකතු කර දෙල් කෑලි තැලෙන්නෙ නැති ලෙසින් කලවම් කර ළිපෙන් බා ආහාරයට ගන්න.

 

--------------------

 ගැට දෙල් මුං ඇට කරිය

පැසුණු දෙල් කඩන විට දෙල් ගැටයක් දෙකක් වැටෙන එක නවත්වන්න බැහැ. මේ වගේ වෙලාවට වීසි කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒත් බලන්න මේ විදිහට හදලා කොයි තරම් රසද කියලා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

දෙල් ග්‍රෑම් 200ක ගෙඩියක්

මුං ඇට ග්‍රෑම් 100ක් (පොඟවා ගත්)

තුනපහ තේ හැඳි 1ක්

කහ කුඩු තේ හැඳි 1/4ක්

මිරිස් කුඩු තේ හැඳි 1/2ක්

උම්බලකඩ කුඩු තේ හැඳි 2ක්

අමු මිරිස් කරල් 2 - 3ක්

කුඩාවට කපාගත් ලූනු ග්‍රෑම් 50ක්

රම්පෙ, කරපිංචා, කුරුඳු පොත්තක්

දිය කිරි කෝප්ප 2ක්

මිටි කිරි කෝප්ප 1ක්

රස අනුව ලුණු

වියළි මිරිස් කරල් 4 - 5ක්

තෙල් මේස හැඳි 2ක්

 

සාදන ක්‍රමය

දෙල් ටික අඟල් 1/2 පමණ කෑලිවලට කපා ගන්න. එය බඳුනකට දමා පොඟවා ගත් මුං ඇට ටික දමන්න. මෙයට වියළි මිරිස් කරල් සහ මිටිකිරි ටික හැර ඉතිරි සියල්ල දමන්න. දෙල් සහ මුං ඇට ටික තැම්බුණාට පසු එහි ඉස්ම ගතිය හිඳෙනතුරු ළිපේ තියන්න. එය ළිපෙන් බා වෙනත් භාජනයක් ළිපේ තබා තෙල් තේ හැඳි 2ක් දමා ගන්න. එය රත්වන විට වියළි මිරිස් කරල් ටික එකතු කරන්න. එය බැදෙන විට දෙල් සහ මුං ඇට ටික එකතු කරන්න.

මිටි කිරි දමා හිඳෙනතෙක් ළිප තියා රස අනුව ලුණු එකතු කර ළිපෙන් බා ගන්න.

 

-------------------

දෙල් මැල්ලුම

බත් පතට තරමක වෙනස් රසයක් ගෙන එන්න දෙල් මැල්ලුමකට පුළුවන්. ඒ බව දන්නා අපේ අම්මලාට දෙල් මැල්ලුම කියන්නේ අමුතු දෙයක් නොවෙයි. බලන්න ඔබත් හදලා දෙල් මැල්ලුම මොන තරම් රසවත්ද කියලා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

දෙල් ගෙඩි 1ක්

ගාගත් පොල් ග්‍රෑම් 100ක්

අමු මිරිස් කරල් 4 - 5ක්

සුදුලූනු බික් 6 - 7ක්

ගම්මිරිස් ඇට තේ හැඳි 2ක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

අබ ඇට තේ හැඳි 1ක්

කරපිංචා ස්වල්පයක්

කුරුඳු පොත්තක්

රතුලූනු ගෙඩි 5 - 6ක්

මිරිස් කුඩු තේ හැඳි 1/2ක්

දෙහි යුෂ ටිකක්

රස අනුව ලුණු

 

සාදන ක්‍රමය

පළමුව අමු මිරිස්, සුදුලුනු, ගම්මිරිස්, කහ කුඩු, අබ ඇට, කරපිංචා, කුරුඳු, රතුලූනු, මිරිස් කුඩු එකට දමා පොල් සමඟ හොඳින් අඹරා ගන්න. නැතිනම් කොටා ගන්න.

දෙල් කැබැලි කපා එයට කහ කුඩු ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් දමා තම්බා ගන්න. ඉන්පසු එයට අඹරාගත් පොල් මිශ්‍රණය එකතු කර ගන්න.

දැන් භාජනයක් ගෙන ළිප තබා එයට තෙල් ස්වල්පයක් දමා එය රත්වූ විට මේ දෙල් මැල්ලුම දමා තෙම්පරාදු කර කෑමට ගන්න.

-----------------------

දෙල් පුඩිම

දෙල් කියන්නේ එළවළුවක්. ඒත් දෙල් වලින් අතුරු පස හදන්නත් පුළුවන්. බලන්න මේ දෙල් පුඩිම මොන තරම් රසවත්ද කියලා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

දෙල් ගෙඩි 1ක්

සීනි ග්‍රෑම් 100ක්

කිරි කෝප්ප 1/2ක්

බිත්තර 2ක්

සාදික්කා කුඩු තේ හැඳි 1/2ක්

බටර් ග්‍රෑම් 50ක්

පිටි ග්‍රෑම් 25ක්

ලුණු ස්වල්පයක්

ටින්කිරි කෝප්ප 1/2ක්

 

සාදන ක්‍රමය

පළමුව දෙල් ගෙඩිය පොත්ත හැර කෑලි කපාගන්න. එයට ලුණු දමා තම්බා ගන්න. ඉන්පසුව මෙය හොඳින් පොඩිකර පසෙකින් තබා ගන්න.

සීනි බටර් සමඟ මිශ්‍රකර බීට් කරගන්න. ඉන්පසුව එයට බිත්තර එකතු කර

නැවත බීට්කර ගන්න. ටින්කිරි ද එකතුකර පිටි ද අවශ්‍ය පමණ දමා ගන්න.

දැන් පොඩිකර ගත් දෙල් ටික දමා ගන්න. එය එකතුකර ගන්නා ගමන් කිරි කෝප්ප 1/2 ක්ද දමා සාදික්කා එකතුකර ගන්න. දැන් මෙය බේකින් තැටියකට දමා අංශක 180 උෂ්ණත්වයට විනාඩි 30ක් බේක්කර ගන්න.

ඉන්පසුව ආහාරයට ගත හැකියි.

----------------------

දෙල් මිශ්‍ර නිවිති ව්‍යංජනය

දෙල් ටිකක් සැර ආහාරයක් ලෙස තමයි හඳුන්වන්නේ. ඒ නිසා සමහරු ආසාව තිබුණත් දෙල් කන්නේ නැහැ. පුංචි අයට දෙන්නේ නැහැ. ඒත් නිවිති යොදා හදන මේ දෙල් ව්‍යංජනය රසවත් බවින් අඩුවක් නම් නැහැ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

දෙල් ගෙඩි 1ක්

රතුලූනු ගෙඩි 4 - 5ක්

අමු මිරිස් කරල් 2 - 3ක්

රම්පෙ, කරපිංචා, කුරුඳු පොත්තක්

තුනපහ තේ හැඳි 1ක්

මිරිස් කුඩු තේ හැඳි 1/2ක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

සුදුලූනු බික් 5 - 6ක්

රස අනුව ලුණු

නිවිති කොළ ග්‍රෑම් 200ක්

දියකිරි කෝප්ප 2ක්

මිටි කිරි කෝප්ප 1ක්

 

සාදන ක්‍රමය

දෙල් ගෙඩිය කෑලි කපා භාජනයකට දමා එයට රතුලූනු, රම්පෙ, කරපිංචා, අමු මිරිස්, සුදුලූනු එකතු කර තුනපහ, කහ කුඩු, මිරිස් කුඩු එකතු කරන්න. දැන් දියකිරි සමඟ ලුණු දමා හොඳින් තම්බා ගන්න.

හොඳින් තැම්බුණ පසුව මෙයට මිටි කිරි ටික එකතුකර විනාඩි 5ක් පමණ ළිප තබන්න. එයටම නිවිති කොළ මිශ්‍රකර ගන්න. නිවිති කොළ දැමූ පසු විනාඩියක පමණ කාලයක් ළිප තබා ගැනීම ප්‍රමාණවත්. එසේ නොමැති නම් නිවිති කොළවල පැහැය වෙනස් වේ. දැන් ළිප නිවා ව්‍යංජනය බා ගන්න.

------------------------

දෙල් කට්ලට්

කට්ලට් හදන්න ගන්නේ අර්තාපල්. එහෙමත් නැතිනම් කිරිඅල වාගේ දෙයක්. ඒත් දෙල් වලින් කට්ලට් හදලා බලන්න. හරිම රසයි. ඒ වගේම වියදමත් ඉතිරියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

දෙල් ගෙඩි 1ක්

උම්බලකඩ කුඩු ග්‍රෑම් 25ක්

රම්පෙ/කරපිංචා ස්වල්පයක්

එනසාල් කරාබු නැටි 3 - 4ක්

කුරුඳු පොතු 3ක්

අමු මිරිස් කරල් 3 - 4ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්

රතුලූනු ගෙඩි 10 - 12ක්

ලුණු තේ හැඳි 1 1/2ක්

බිත්තර 2ක්

බැදීමට පොල්තෙල්

අවශ්‍ය පමණ බිස්කට් කුඩු

 

සාදන ක්‍රමය

දෙල් ගෙඩිය සුද්දකර කෑලි කපා එයට ලුණු එකතු කර හොඳින් තම්බා ගන්න. ඉන්පසු මෙය හොඳින් පොඩිකර ගන්න. දැන් රතුලූනු, අමුමිරිස්, රම්පෙ, කරපිංචා පොඩියට කපාගන්න.

තෙල් මේස හැඳි 2ක් රත්කර එයට කරපිංචා, රම්පෙ, කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි, අමුමිරිස්, රතුලූනු එකතු කර හොඳින් තෙම්පරාදු කර ගන්න. දැන් මෙයට පොඩි කර ගත් දෙල් ටික එකතු කර ගම්මිරිස් කුඩු සහ උම්බලකඩ එකතු කර ගන්න. ලුණු රස පදම බලා පොඩි බෝල සාදා ගන්න‍. සාදා ගත් බෝල බිත්තර සාරුවලට දමා බිස්කට් කුඩුවල දවටා ගැඹුරු තෙලේ බැද ගන්න.

---------------------

බැද ගත් දෙල් කරිය

පොල් කිරි දමා හදන දෙල් කරියක රස කවුරුත් දන්නවා. ඒත් දෙල් බැදලා කරියක් ලෙස පිළියෙල කරලා නැතුව ඇති. ඒ නිසා බලන්න අද මේ විදිහට හදලා මොන තරම් රසවත් ද කියලා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

දෙල් ගෙඩි 1ක්

රතුලූනු ගෙඩි 5 - 6ක්

අමු මිරිස් කරල් 3 - 4ක්

කරපිංචා ඉති 2ක්

රම්පෙ කැබැල්ලක්

අඹරාගත් අබ ස්වල්පයක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

මිරිස් කුඩු තේ හැඳි 1/2ක්

අමු තුනපහ කුඩු

තේ හැඳි 1/2ක්

බැදපු තුනපහ කුඩු

තේ හැඳි 1/2ක්

පොල් කිරි කෝප්ප 2ක්

බැදීමට තෙල්

අවශ්‍ය පමණ ලුණු

 

සාදන ක්‍රමය

දෙල් ගෙඩිය පොතු හැර ගන්න. ඉන්පසු එය තීරු කපා මැද ඇස්ස අයින් කර අඟල් 1 1/2ක පමණ දිගට කෑලි කපාගන්න. ලුණු සහ කහ ස්වල්පයක් දමා අතගාන්න. දැන් එම කෑලි එය ගැඹුරු තෙලේ බැදගන්න.

භාජනයක් ගෙන එයට පොල් කිරි සහ අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල දමා ළිපේ තියාගන්න. හොඳින් උතුරවා ගන්න. උතුරන විට එයට බැදගත් දෙල් ටික දමන්න.

හොඳින් හිඳෙන තෙක් ළිපතබා අවසානයේ ළිපෙන් බා කෑමට ගන්න.