පුංචි බබාලට අලුත් කෑම

ජුනි 3, 2024

අද අපි ගෙනාවේ කෑම කන්න හොර, පොඩ්ඩන්ට අපූරු කෑම වට්ටෝරු පෙළක්.

අද කාලේ අම්මලට තියෙන ලොකුම ගැටලුව තමයි පොඩ්ඩට කෑම කවන එක. පොඩ්ඩා කෑමට අදිමදි කරන්නෙ එකම දේ කාලා එපා වෙලා වෙන්නත් පුළුවන්. ඒ නිසා හැකි සෑම වෙලාවකම පොඩ්ඩාට වෙනස් රසයන්ගෙන් කෑම වර්ග හදා දෙන්න අම්මලාට පුළුවන් වෙන්න ඕනේ. හැමදාම හදන එළවළු නැතුව අලුත් එළවළු වගේම අන්තර්ජාලයෙන් සොයාගන්නා රෙසිපිවලින් අලුත් රසයක් දිවට දැනෙන ආහාර පොඩ්ඩාට දෙන්න. හැම මොහොතකම කෑමවල විවිධත්වයක් තියාගන්න එකත් ලේසියක්. එතකොට එකම දේ දවසක් ඇර දවසක් දුන්නත් පොඩ්ඩා බෑ නොකියා කාවි. ඒ නිසාම අද අපි අරගෙන ආවේ කෑම කන්න හොර, පොඩ්ඩන්ට අපූරු කෑම වට්ටෝරු පෙළක්. ඉතින් රසවත්, වෙනස් ආකාරයක වගේම, පහසුවෙන් පිළියෙල කරගත හැකි මේ ආහාර වට්ටෝරු කිහිපය ඔබේ පොඩ්ඩාගේ මුවඟට සිනහවක් රැගෙන ඒමට වගේම පොඩ්ඩට අවශ්‍ය පෝෂණය ලබා දීමටත් පොහොසත් වේවි.

 

චීසි රයිස් බෝල්ස්

 බත්වලින් සකසන මෙය කෑම කන්න හොර පොඩ්ඩන්ට ගැළපෙනම ආහාරයක්. මේ සඳහා පිසගත් බත් කෝප්ප 1ක්, නිවිති කොළයක්, තම්බාගත් බිත්තර 1ක්, මොසරැල්ලා චීස් ස්වල්පයක්, තම්බපු අල හෝ වට්ටක්කා, පාන් කුඩු, වෙනම බිත්තරයක්, ලුණු හා ගම්මිරිස් කුඩු රස අනුව අවශ්‍යයි.

 

බෝල් එකක් ගෙන පාන්කුඩු සහ වෙන් කළ බිත්තරය හැර අනිත් සේරම කලවම් කරලා හොඳින් අනාගෙන පොඩි බෝල හදාගන්න. හදාගත් බෝල ටික බිත්තර සාරුවල දවටා පාන් කුඩු තවරාගන්න.  දැන් මේක ගැඹුරු තෙලේ බැදගන්න.

 

රයිස් පෑන් කේක්

මේ රසම රස රයිස් පෑන් කේක් එක හදන්න පිසගත් බත් කෝප්ප 1ක්, ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 2ක්, බිත්තර 1ක්, ගම්මිරිස් කුඩු හා ලුණු ටිකක්, ලියාගත් කැරට් හා ලීක්ස් ටිකක්, බෝංචි ටිකක්, තම්බාගත් මාළු කෑල්ලක්, නිවිති කොළ දෙකක් සහ අවශ්‍ය නම් තක්කාලි සෝස් ස්වල්පයකුත් එකතුකර ගන්න පුළුවන්.

මුලින්ම බත් ටික කිරි ටික දමමින් බ්ලෙන්ඩ් කරගන්න. ඒකට කැරට්, ලීක්ස්, බෝංචි එකතු කරලා කලවම් කරන්න. මාළු කෑල්ල හොඳට පොඩි කරලා ඒකත් බත් එකට කලවම් කරන්න. ගම්මිරිස් කුඩු හා ලුණු ඇති පදම දාලා තක්කාලි සෝස් එකතු කරන්න. දැන් මේකට බිත්තරය දාලා හොඳට කලවම්කර ගන්න. අන්තිමට නිවිති කොළයත් කෑලිවලට කඩලා දාගන්න. පෑන් එක රත්වෙන්න තියලා මේ මිශ්‍රණයෙන් ටිකක් අරන් තුනී කරල දෙපැත්තම ෆ්‍රයි කරගන්න.

 

 

ඕට්ස් පෑන් කේක්

පොඩ්ඩන්ගේ උදෑසන ආහාරය සඳහා කදිම මේ ඕට්ස් පෑන් කේක් සකසන්න ඕට්ස් කෝප්ප 1ක්, බිත්තර 2ක්, සීනි කෝප්ප 1/4ක්, මී පැණි මේසහැඳි 1ක්, වැනිලා ස්වල්පයක්, බේකිං පවුඩර් තේහැඳි 1/2ක් අවශ්‍යයි.

 

මුලින්ම ඕට්ස් ටික පෑන් එකට දාලා විනාඩි 5ක් විතර රෝස්ට්කර ගන්න. ඊළඟට මේ ටික හොඳට බ්ලෙන්ඩ්කර ගන්න.

බෝල් එකකට බිත්තර 2ක් දාගන්න. මේකට සීනි, පැණි හා වැනිලා දාලා හොඳට කලවම්කර ගන්න.

ඊළඟට කුඩුකර ගත් ඕට්ස් ටිකත් දාලා බේකිං පවුඩර් දාලා නැවත හොඳට කලවම්කර ගන්න.

ඝනකම වැඩි නම් වතුර චුට්ටක් එකතු කරන්න. දැන් නන්ස්ටික් පෑන් එකට බැටර් එක දාලා දෙපැත්තම පිස ගන්න.

 

බනානා වොෆල්ස්

මේ සඳහා පාන්පිටි කෝප්ප 1ක්, බේකිං පවුඩර් තේ හැඳි 1/2ක්, ඉදුණු කෙසෙල් ගෙඩි 3ක්, කිරි කෝප්ප 1ක්, වැනිලා ටිකක් සහ පැණි මේස හැඳි 1ක් අවශ්‍යයි.

 

මුලින්ම පාන්පිටිවලට බේකිං පවුඩර් දාල හලාගන්න. කෙසෙල් ගෙඩි ටික පොඩිකර ගන්න. මේකට කිරි ටික දාගන්න. හොඳට විස්ක්කර ගන්න. වැනිලා හා පැණි එකතු කරන්න. හොඳට කලවම්කර ගන්න. දැන් මේකට පාන්පිටි ටික ටික දාලා නැවත කලවම්කර ගන්න. වොෆල්ස් කුකර් එකට බටර් පොඩ්ඩක් තවරලා බැටර් එක දාලා වොෆල්ස් හදාගන්න. 

 

 

මග් ඔම්ලට්

මේ සඳහා බිත්තර 2ක්, පාට දෙකකින් කපාගත් බෙල්පෙපර් මේස හැඳි 2ක්, කපාගත් නිවිති ස්වල්පයක්, කපාගත් හැම් ස්වල්පයක්, කපාගත් තක්කාලි ස්වල්පයක්, ලුණු හා ගම්මිරිස් කුඩු අවශ්‍යයි.

 

මයික්‍රොවේව් මග් එකකට බිත්තර දෙක කඩල දාල ගෑරප්පුවකින් පොඩ්ඩක් ගහගන්න. 

ඊට පස්සෙ අනිත් සේරම දේවල් දාලා කළවම් කරලා විනාඩි 2-3ක් මයික්‍රොවේව් එකේ පිසගන්න.

 

ක්ලවුඩ් එග්ස්

 

ක්ලවුඩ් එග්ස් හදන්න බිත්තර සුදුමද 2ක්, බිත්තර කහමද 2ක්, ලුණු ටිකක් සහ සුදු ගම්මිරිස් කුඩු ටිකක් අවශ්‍යයි.

 

අවන් එක සෙල්සියස් 180ට රත් කරගන්න. 

බිත්තර සුදුමද ටික හිමවාගේ පෙනුමක් එනතෙක් බීට්කර ගන්න. ලුණු හා සුදු ගම්මිරිස් කුඩු දාලා ස්පැචූලා එකෙන් පොඩ්ඩක් කලවම්කර ගන්න. 

දැන් බේකිං ට්‍රේ එකකට ඔයිල් ටිකක් ගාලා මේකෙන් හැඳි දෙකක් දාලා පොඩ්ඩක් තවරාගන්න. බිත්තර කහමදය දාන්න මැද්දෙන් පොඩියට වළක් වගේ හදන්න. 

 

දැන් මේක විනාඩි 4ක් අවන් එකට දාලා එළියට අරන් කහමදේ පරිස්සමින් මැද්දෙන් තියලා තවත් විනාඩි 2ක් බේක්කර ගන්න. 

 

 

ක්‍රීමි නූඩ්ල්ස්

 

නූඩ්ල්ස් පැකට් 1ක්, බටර් මේස හැඳි 1ක්, තෙල් ස්වල්පයක්, ලුණු හා ගම්මිරිස් කුඩු, පොඩියට කපාගත් බෙල්පෙපර් කෝප්ප 1/4ක්, ස්වීට් කෝන් ඇට කෝප්ප 1/4ක්, ඔරිගානෝ ස්වල්පයක් සහ කෑලිමිරිස් තේහැඳි 1/2ක් අවශ්‍යයි.

 

වයිට් සෝස් එක සැකසීමට බටර් මේස හැඳි 2ක්, පාන්පිටි මේස හැඳි 1ක්, කිරි කෝප්ප 1ක්, කෑලිමිරිස් තේ හැඳි 1/2ක්, ලුණු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක් අවශ්‍යයි.

 

වතුර භාජනයක් ළිපේ තියලා ලුණු හා තෙල් ටිකක් දාගන්න. මේක නටනකොට නූඩ්ල්ස් ටික දාලා විනාඩි 3-5ක් වගේ තම්බගෙන පෙරාගන්න. 

පෑන් එකක් ළිපේ තියලා තෙල් ටිකක් දාගන්න. මේකට සිහින්ව ලියාගත් සුදුලූනු,  බෙල්පෙපර්, ඔරිගානෝ, ගම්මිරිස් කුඩු හා කෑලිමිරිස් ටිකත් එකතුකර ගන්න. හොඳට කලවම් කරලා විනාඩි 2ක් විතර පිසගන්න. 

වෙනම පෑන් එකකට බටර් දාලා පාන්පිටි ටික දාගන්න. කැට නැතිවෙනකල් විස්ක්කර ගන්න. දැන් කිරි ටික ටික දාලා ඝන සෝස් එකක් හදාගන්න. 

මේකට කෑලිමිරිස්, ලුණු හා ගම්මිරිස් කුඩුු දාගන්න. කලවම් කරලා කලින් සැකසූ ෆ්‍රයි කරගත් එළවළු හා නූඩ්ල්ස් ටික දාලා කලවම් කරන්න. 

 

උපදෙස්

සූපවේදී සුජිත් ආරියරත්න