රම්පෙ කොළෙන් කෑම බීම

ජුනි 10, 2024

රම්පෙ කියන්නෙ කාලාන්තරයක් තිස්සෙ ලංකාවෙ අපේ හොද්දට, වෑංජනයට නැතිවම බැරි ඖෂධීය රසකාරකයක්. ඒ නිසාම රම්පෙ ගහක් නැති ගෙයක් නම් මේ ලංකාවේ නැහැ. ලංකාවේ උදවිය රම්පෙ යොදාගන්නේ හොද්දක් බතක් රසකර ගන්න යොදන රසකාරකයක් විදිහට විතරක් වුණාට ඉන්දුනීසියාව, මැලේසියාව වගේ රටවල් මේකෙන් වෙනස්ම කෑම වර්ග සහ බීම වර්ග හදනවා. ඉතින් හැමදාම හොද්දට දාන රම්පෙ කොළෙන් හදාගන්න පුළුවන් කෑම ටිකක් තමයි අද අපි ගෙනාවේ. ඔයාලා හිතන්නෙවත් නැති වෙයි රම්පෙවලින් මෙච්චර දේවල් කරන්න පුළුවන් කියලා. එහෙනම් හදලම බලමුකෝ.

රම්පෙ මිල්ක් ෂේක්

මේ සඳහා රම්පෙ යුෂ තේ හැන්දක්, රම්පෙ ජෙලි කැබැලි ස්වල්පයක්, ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප දෙකක් සීනි ස්වල්පයක්, කස කසා ඇට සහ අයිස් කියුබ් අවශ්‍ය වේ.

වීදුරුවක් ගෙන එයට ෆ්‍රෙෂ් මිල්ක් සහ රම්පෙ යුෂ එකතුකොට හොඳින් මිශ්‍රකර ගන්න. එයට රස අනූව සීනි එකතුකර රම්පෙ ජෙලි කැබැලි ද එකතු කරගන්න. අවසානයට අයිස් කියුබ් දමා පිළිගන්වන්න. මේකට දෙහි බින්දු දෙක තුනක් එකතුකර ගත්තොත් තවත් රසවත් වේවී.

රම්පෙ පුඩිං

රම්පෙ යුෂ තේ හැඳි 2ක්, පොල්කිරි කෝප්ප 2 ක්, වතුර මිලිලීටර් 200ක්, කෝන්ෆ්ලා මේස හැඳි 2ක්, මඤ්ඤොක්කා පිටි මේස හැන්දක්, බිත්තර කහ මද 1ක් සහ ලුණු ස්වල්පයක්.

පොල්කිරි ටික පෑන් එකකට දාලා බුබුළු දාන්න ගන්නකම් උණුකර ගන්න.

වතුරට කෝන්ෆ්ලා සහ මඤ්ඤොක්කා පිටි එක්ක ලුණු එකතු කරලා හොඳට කලවම්කර ගන්න. මේ මිශ්‍රණය පොල්කිරි එකට දාගෙන විනාඩි 2ක් විතර ළිපේම තියලා කලවම්කර ගන්න. 

ගින්දර අඩු කරගෙන බීට් කරගත්ත බිත්තර කහමදය එකතු කරන්න. දිගටම හැඳිගාමින් විනාඩි 3ක් විතර ළිපේ තියාගෙන ඒකට රම්පෙ ‍යුෂ එකතු කරන්න.

තත්පර 30ක් විතර ළිපේ තියලා ළිපෙන් බාලා බෝල් එකකට දාලා සෙට් වෙන්න තියන්න. කූල් කරලා කෑමට ගන්න.

 

රම්පෙ ලෙමනේඩ්

රම්පෙ කොළ 6-7ක්, වතුර කෝප්ප 3ක්, කපාගත් ලෙමන් පෙති කිහිපයක්, ලෙමන් ගෙඩියක යුෂ සහ අයිස් කැට කිහිපයක් 

රම්පෙ ටික සෝදලා වතුර දාලා ළිපේ තියන්න. වතුර නටනකොට ළිපෙන් බාලා නිවුණම ෆ්‍රිජ් එකේ තියන්න. 

ග්ලාස් එකකට ලෙමන් යුෂ දාගන්න. මේකට ෆ්‍රිජ් එකේ තියපු රම්පෙ

වතුර වලින් කෝප්ප 1/2ක් වගේ දාලා අයිස්කැට දාගන්න. රම්පෙ කොළ දෙකක් ග්ලාස් එක ඇතුළට දාලා දෙහි පෙති ගහලා පිළිගන්වන්න. 

 

රම්පෙ පෑන්කේක්

මේ රම්පෙ පෑන් කේක් එක උදෑසන ආහරය සඳහාත් කදිමයි. මේ සඳහා රම්පෙ යුෂ කෝප්ප 1/2 ක්, පාන්පිටි කෝප්ප 1ක්, කිරි කෝප්ප 1/4ක්, ලුණු ස්වල්පයක්  සහ සීනි තේ හැඳි 1ක් අවශ්‍යයි.

මේ සියල්ලම දාලා කැට නැතිවෙනකල් විස්ක්කර ගන්න. 

දැන් මේක පෑන් එකට දාලා දෙපැත්ත පිසගන්න. චොකලට් සෝස්, ජෑම් වගේ කැමති ටොපින් එකක් එක්ක කෑමට ගන්න පුළුවන්

 

රම්පෙ ඩ්‍රින්ක්

මේ රසම රස රම්පෙ ඩ්‍රින්ක් එක හදන්න රම්පෙ කොළ 20ක් පමණ, සීනි කෝප්ප 1/2ක්, වතුර ලීටර් 2ක් සහ අයිස් කියුබ් කිහිපයක් අවශ්‍යයි.

මුලින්ම රම්පෙ කොළ ටික සෝදලා දෙකට කපලා පෑන් එකට දාගන්න. මේකට වතුර දාලා හොඳට නටවන්න. 

තැම්බුණ රම්පේ කොළ ටික අයින් කරලා ඒ වතුර එකට සීනි දාලා  හැඳිගාන්න. පෙරා නිවෙන්න තියන්න. 

ග්ලාස් එකකට අයිස්කැට දාලා මේ ඩ්‍රින්ක් එක දාලා බොන්න. 

 

රම්පෙ කේක්

රම්පෙ කොළ 20ක් පමණ, බිත්තර කහමද 4ක්, කෝන් ඔයිල් කෝප්ප 1/4ක්, කිරි කෝප්ප 1/4ක්, පාන්පිටි කෝප්ප 1ක්, සීනි කෝප්ප 1/4ක්, බේකිං පවුඩර් තේ හැඳි 1ක්, ලුණු ස්වල්පයක්, බිත්තර සුදු මද 4ක්, ක්‍රීම් ඔෆ් ටාටර් (වෙළෙඳ සල්වල ඇත), සහ වෙනම සීනි කෝප්ප 1/2 අවශ්‍යයි.

රම්පෙ සෝදලා පොඩියට කපලා වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ්කර ගන්න. ඊළඟට මේක පෙරා යුෂ ටික ගන්න. 

බෝල් එකකට බිත්තර කහමද දාලා ඔයිල් එක්ක

විස්ක්කර ගන්න. මේකට කිරි ටිකත් දාගන්න අන්තිමට රම්පෙ යුෂ දාලා කලවම්කර ගන්න. 

පාන්පිටිවලට සීනි කෝප්ප 1/4, බේකිං පවුඩර් හා ලුණු දාලා කලවම්කර ගන්න. එයට සාදාගත් මිශ්‍රණය දාලා කැට නැතිවෙනකල් කලවම් කරන්න. 

බිත්තර සුදු මද 4 බෝල් එකකට දාලා ක්‍රීම් ඔෆ් ටාටර් දාලා බීට්කර ගන්න. මේකට සීනි කෝප්ප 1/2 ටික ටික දාලා ස්ටිෆ් පීක් වෙනකල් බීට් කරන්න. 

දැන් මේ මිශ්‍රණය ටික ටික කේක් බැටර් එකට එකතු කරන ගමන් ස්පැචුලා එකකින් පෙරළමින් කලවම් කරන්න. 

ඔයිල් පේපර් එකක් දාපු පෑන් එකකට මේ මිශ්‍රණය දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක් බේක්කර ගන්න. 

 

රම්පෙ ජෙලි

හැමදාම හදන කෘත්‍රිම රසකාරක ජෙලි එකට වෙනසක් එකතු කරලා බලමු. ගෙවත්තේ තියෙන රම්පෙ කොළ කිහිපයකින් මේ ජෙලි එක හදන්න ඔබටත් පුළුවන්. රම්පෙ කොළ 20ක් පමණ, බිත්තර 1ක්, පොල්කිරි කෝප්ප 1ක්, අගර් අගර් පවුඩර් ග්‍රෑම් 10ක්, සීනි ග්‍රෑම් 150ක් සහ වතුර මිලි ලීටර් 900ක් අවශ්‍යයි.

රම්පෙ ටික සෝදලා පොඩි කෑලිවලට කඩලා බ්ලෙන්ඩර් එකට දාගන්න. වතුර පොඩ්ඩක් දාලා හොඳට බ්ලෙන්ඩ්කර ගන්න. දැන් මේක පෙරා යුෂ ටික ගන්න. 

බිත්තරය හොඳට විස්ක්කර ගන්න. මේකට රම්පෙ යුෂ ටිකත් එකතු කර ගන්න. පොල්කිරි ටිකත් දාගෙන හොඳට කලවම්කර ගන්න. 

වෙනම පෑන් එකකට අගර් අගර් පවුඩර් ටික දාලා සීනි ටික දාගන්න. මේකට වතුර මිලි ලීටර් 900 දාලා ළිපේ තියන්න. සීනි දියවෙලා වතුර නටනකොට ගින්දර අඩු කරන්න. 

රම්පෙ මිශ්‍රණය වතුර පෑන් එකටම දාලා හොඳට කලවම් කරගන්න. හොඳට නටවගන්න. ඝන වෙනකල්  හැඳිගාලා ළිප ඕෆ්කර ගන්න. 

බේකිං ට්‍රේ එකක් අරගෙන බටර් ගාලා මේ මිශ්‍රණය දාලා නොසොල්වා නිවෙන්න තියන්න. ඒක ඉබේටම සෙට් වෙනවා ෆ්‍රිජ් එකට දාන්න අවශ්‍ය නෑ. 

සෙට් වුණාට පස්සෙ පැය දෙකක් ෆ්‍රිජ් එකේ කූල් වෙන්න තියන්න. දැන් මේක කෑලි කපාගන්න. ලේයර්ස් දෙකකට සෙට් වෙලා තියනවා බලාගන්න පුළුවන්. 

 

 

උපදෙස්

සූපවේදී සුජිත් ආරියරත්න