අවබෝධයෙන් යුතුව බුද්ධ පූජාව සිදුකරමු

බුද්ධ පූජාව සතෙකුට දුන්නොත් පව් සිදු වෙනවාද?
ඔක්තෝබර් 20, 2021

 

පිදිය යුත්තන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ ද අග්‍රතම වන්නේ ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය. අසමසම අචින්තනීය ගුණ පිරි ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පුජාවන් පවත්වන්නට සැදැහැති බෞද්ධයා උත්සුක වන්නේ එහි වූ උසස් අනුහස් දන්නා නිසාය. සම්බුද්ධ පූජාව යනු කුමක්දැයි වටහා ගැනීමට නම් ප්‍රථමයෙන්ම දානය යනු කුමක්දැයි වටහා ගත යුතුය.

 

දන් දෙන්නට ම නැමෙන සිත

 

දානය යනු දීමට අත්හැරීමට නමකි. එයින් අර්ථවත් වන්නේ තමා සතු වස්තුවක අයිතිය සම්පූර්ණයෙන් ම අතහැර, එය අනෙකකු සතු කිරීමයි.

දානය එයට මුල්වන මානසික ස්වරූපය අනුව මූලික කොටස් දෙකකට බෙදෙයි. එනම්

 

1.පූජා බුද්ධියෙන් දන් දීම

2.අනුග්‍රහ බුද්ධියෙන් දන් දීම යනුවෙනුයි.

 

පුජා බුද්ධියෙන් දන් දීම යනු පිදිය යුතු උසස් ගුණ ඇති උතුමකු යැයි වටහාගෙන දන්දීමයි. පූජාව කියන්නෙ එයටයි. ඔබ අප විසින් සිදුකරන සම්බුද්ධ පූජාව අයත් වන්නේ මේ කොටසටයි.

අනුග්‍රහ බුද්ධියෙන් දන් දීමය කියන්නේ උපකාර අවශ්‍ය කෙනකුට අඩුපාඩු සලකා දන්දීම ය. එහිදී දානය පිළිගන්නා අය තුළ උසස් ගුණ ඇති දැයි සෙවීමක් නැති අතර ,අනුග්‍රහය දැක්වීම පමණක් අර්ථවත් කෙරේ.

නිවෙසේදී දෛනිකව සිදුකරන බුද්ධ පූජාව නිවැරැදි ලෙස සිදුකරන්නේ නම් එයින් දෙලොව වශයෙන් ම ඉතා උසස් අනුසස් ලබාගත හැකිවෙයි.

 

උතුම් බුදුරුව ඉහළින්, සම්‍යක්දෘෂ්ටික දේවරූප ඊට පහළින්

 

ප්‍රථමයෙන්ම බුද්ධ පූජාව පිදිය යුත්තේ කුමන ස්ථානයක ද යන්න අප වටහාගත යුතුය. ඒ සඳහා නිවෙසේ පිරිසුදු කාමරයක් වෙන් වී නැතිනම් , බිත්තියේ උස්තැනෙක හෝ වෙනත් උස් පිරිසුදු තැනෙක කුඩා බුදුකුටියක් හෝ පූජාසනයක් අපට සකසා ගත හැකියි. බොහෝදෙනා මෙහිදී සිදුකරන බලවත් වරදක් තිබේ. එනම් දේව ප්‍රතිමා හෝ පින්තූර , ලොව්තුරා බුදුරුව සමඟ සම මට්ටමේ ම තැන්පත් කොට වැඳුම් පිදුම් කිරීම ය. නික්ලේශී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සමඟ කෙලෙස් සහිත කාමභෝගී දෙවිවරු සමව තැන්පත් කිරීම කිසිසේත් ම සුදුසු නැත. අනෙක් අතට මිනිසුන් වන අපගේ මෙන්ම ඒ සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගේ ද ශාස්තෲන් වහන්සේ වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය. උතුම් බුදුරුව ඉහළින් ද අවශ්‍ය නම් සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගේ රූප පහළින් ද තැන්පත් කිරීම කළ යුතුය. බුද්ධ පූජාව පවත්වා දෙවියන්ට පිං අනුමෝදන් කිරීම සුදුසුය.

 

 

පිදිය යුතු වේලාව

 

ඊළඟට සැලකිලිමත් විය යුත්තේ බුද්ධ පූජාව පූජා කළ යුත්තේ කුමන වේලාවක ද යන්නයි. ආහාර දානය නම් පූජා කළ යුත්තේ උදෑසන අරුණ නැගුණු මොහොතේ පටන් දහවල් 11.30 පමණ වන තුරු පමණි. ඉර මුදුනෙන් අවරට ගිය පසු ආහාර පූජා කිරීම විනයානුකූල නැත. සමහර මාස වල දහවල් ඉර අවරට යෑම දවල් 12 ට පෙරත් සිදුවේ. සමහර මාසවල එය සිදුවන්නේ දවල් 12 පසුවීය. එබැවින් දවල් 11.30 ට පෙර බුද්ධ පූජාව සිදුකිරීමට පුරුදු විය යුතුය. අෂ්ට පාන වර්ග හෝ චතු මධුර දවසේ ඕනෑම වේලාවක පූජා කිරීම සිදුකළ හැකියි.

සිදුකරන බුද්ධ පූජාව ජීවමාන ලොව්තුරා බුදුරජාණන් වහන්සේටම සිදුකරන පූජාවක් ලෙසම සිදුකළ යුතුය.

 

"තිට්ඨන්තේ නිබ්බුතෙ චාපි - සමේ චිත්තෙ සමං ඵලං" යනුවෙන්

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසුත් ජීවමාන බුදුරජාණන් වහන්සේට මෙන් ගෞරවයෙන් පූජා පැවැත්වූ විට එහි කුසලය ජීවමාන බුදුරජාණන් වහන්සේ පිදුවා හා සමානවන බව දහමෙහි දක්වා තිබේ.

ඉතා කුඩාවට ඇපයෙන් බේරෙන්නට සේ බුද්ධ පූජා කරන්නන්ට අප පෙර සඳහන් කළ උසස් කුසලය නොලැබේ. බුද්ධ පූජාව පිළියෙල කරන්නට ආරම්භ කළ මොහොතේ පටන්ම ජීවමාන බුදුරජාණන් වහන්සේට මම දානය සකසමිය යන ගෞරවය තිබිය යුතුය. පිදීමේදීත්, වැඳීමේදීත්, වතාවත් සිදුකිරීමේදීත් එම අදහසින්ම සිදුකරන්නාට රැස්වන කුසලය ඉමහත් ය.

 

ඉතා පිරිසුදුව ඉතාම උසස් අන්දමින් බුද්ධ පූජාව සිදුකළ යුතුය.

 

කාර්යබහුල ජීවිතයකට කොටු වී සිටින ඔබට දිනපතාම වෙනම ම කාලයක් වැයකොට උසස් ලෙස පූජා පවත්වන්නට නොහැකි විය හැකිය. එවැනි අවස්ථාවක තම ආහාරවලින් කොටසක් ඉඳුල් කිරීමට ප්‍රථමව පිරිසුදුව වෙන්කොට ගෞරවයෙන් බුද්ධ පූජාව සිදුකිරීමේ වරදක් නැත.

නමුත් සතියකට හෝ මසකට වරක් හෝ පවුලේ සැම සහභාගි කරගෙන හැකිතාක් උසස් ගෞරවයෙන් ජීවමාන බුදුරජාණන් වහන්සේට මෙන් සම්බුද්ධ පූජාවක් කිරීම දෙලොව දියුණුව පිණිසම හේතුවේ.

 

දිනපතා, නොකඩවා

 

බොහෝ අයට ඇති ගැටලුවක් වන්නේ බුද්ධ පූජාව සිදුකරන්නට ගත්විට උදේ දවල් සවස වශයෙන් දිනපතා නොකඩවා එය කළයුතුද යන්නයි. එවැනි නියමයක් නැත. අපහසුතාවයක දී බුද්ධ පූජාව නොකළ විට ඉන් සිදුවන පවක් හෝ හානියක් නැත. නමුත් හැකි සෑම විටම බුද්ධ පූජා පැවැත්වීමෙන් ඒ මොහොතක් පාසාම කුසල් රැස් වීම සිදුවේ.

 

බුද්ධ පූජාව ඉවත් කිරීම

 

බුද්ධ පූජාව පැවැත්වීමට වඩා වර්තමානයේ ප්‍රධානම ගැටලුව වී ඇත්තේ බුද්ධ පූජාව ඉවත්කරන ආකාරය ගැනය. ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මෙන් ගෞරවය උපදවා අවසර ඉල්ලා වළඳා අවසන් ය යන හැඟීමෙන් පූජාව ඉවත් කළ යුතුය. සමහරු ඒ ඉවත් කළ බුද්ධ පූජාව තිරිසනකුට දුන්නාට පව් නැතිදැයි අසති. එසේ අසන්නට හේතු වී ඇත්තේ ඔවුන් තුළ වූ අනවබෝධයයි. එක් දෙයක් කාට හෝ පිදූ පසු එය අතහැර අවසන් බව අප වටහාගත යුතුය. පූජාකරන දේ පිරිසුදුව ම සිතින් අත්හැර ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පූජාකළ යුතුය. එය ලොව්තුරා බුදුරජාණන් වහන්සේට ම පමණි. එක් දෙයක් දෙවරක් දන්දිය නොහැක.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී ධම්ම දායාද සූත්‍රය තුළ මෙවන් සිදුවීමක් තිබේ. බුදුරජාණන් වහන්සේ වළඳා අවසන් වූ විට නොවැළඳූ භික්ෂූන් දෙනමක් විහාරයට වඩී. ඉතිරි වූ ආහාරය කැමැති නම් වළඳා සුවසේ සිටින ලෙසත් එසේ නොමැති නම් එය නිල්තණ නොමැති බිමකට හෝ සතුන් නැති දියකට හෝ දමන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරති. එහිදී වඩා උසස්ම දෙය ලෙස බුදුරජාණන් වහන්සේ අගය කරන්නේ ඉතිරි වූ දානය නිල්තණ නොමැති බිමක හෝ සතුන් නැති ජලයක දැමීමය. එයින් අර්ථවත් වන්නේ පූර්ණ අත්හැරීමයි. ශ්‍රාවකයින් තමන් වහන්සේගෙන් ධර්මය ම පමණක් බලාපොරොත්තු වීම බුදුරජාණන් වහන්සේ ඉහළින්ම අගය කොට වදාළහ.

බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි බුදුරජාණන් වහන්සේ පිණිස කළ පූජාවට කළ යුතු දේ පිළිබඳව අටුවා වල දැක්වෙන්නේ මෙවන් අදහසකි.

"පියාට දුන් දේ පියා නැති කල පුතුට අයිති බැවින් වත්සම්පන්න භික්ෂුව ඉතිරි ආහාර ගත්තාට වරදක් නැත. ආහාර නොවන වටිනා දෙයක් නම් එය ත්‍රිවිධ චෛත්‍යයන්ගේ පැවැත්ම පිණිස යෙදවිය යුතුය" යනුවෙනි.

මෙහිදී ඔබ බුද්ධ පූජාව ඉවත් කළ විට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ උසස්ම දේ අනුගමනය කරන්න. එම ආහාර බුදුරජාණන් වහන්සේට පූජාකොට අවසන් නිසා ගල්තලාවකට හෝ සූදානම් කරගත් ලෑල්ලක් වැනි තැනකට හෝ දමන්න. එයට වන දේ පිළිබඳව නැවත නොසිතන්න. සතුන් කනවා නම් සතුන් කෑවාවේ, නොඑසේ නම් වන්නක් වුණාවේ, මා එය පූජාකොට අවසන් යැයි සිත සකසාගෙන සතුටු වන්න.

මෙහිදී ඔබට සිහිපත් කළ යුතු වටිනාම කරුණක් තිබේ.එනම් බුද්ධ පූජාව කළ හැක්කේ ආහාර, මල්, පහන් වැනි භෞතික ආමිස දෙයින් පමණක් නොවන බවයි. ආමිස පූජාවටත් වඩා උසස් වන්නේ ප්‍රතිපත්ති පූජාවයි. එය ඉතා උසස් සැබෑම පූජාව බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ. ගිහියාගේ ප්‍රතිපදාව ලෙස බුදුදහමෙහි දැක්වෙන්නේ නිති පන්සිල් හා පොහොය අටසිල්‍ පුරමින් ධර්මය ප්‍රායෝගික කිරීමයි. හැකි හැම විටම එවන් උසස් ප්‍රතිපත්ති පූජාවෙන් ද ලොව්තුරා බුදුරජාණන් පිදීමට ශ්‍රාවකයින් පුරුදු විය යුතුය. එය මෙලොවදී ම ඉතා උසස් සැනසීම හා අනුහස් උදාකරන උතුම්ම සම්බුද්ධ පූජාවයි.

 

සිරි උපාලි ධර්මාශ්‍රමයෙහි අනුශාසක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි ,

කුඩා කිවුල, කොට්ටුකච්චිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.