නරිහාමිගෙ හැඩ බලන්න

දුවේ පුතේ මෙය මහන්න
නොවැම්බර් 3, 2021

දූදරුවන් වෙනුවෙන් බිත්ති සැරසිල්ලක් නිර්මාණය කරන්න හිතන ආදරණීය මව්වරුන් වෙනුවෙන් අපි අගනා තිළිණයක් මෙලෙස ගෙන එන්නෙමු.

නරියකුගේ රුවකට කතිර රටාවෙන් ලැබී ඇති ජීවය කෙතරම්දැයි බලන්න. කතිර මැස්ම පහ ශ්‍රේණියේ දරුවන් ඉගෙන ගන්නා සරල මැස්මකි. මේ කතිර රටාව ද බොහෝ සරල එකකි. ඒ නිසා මෙය දූදරුවන්ට ද පහසුවෙන් මසාගත හැකියි.

අද අපි මෙම නිර්මාණයේ මසාගත් පින්තූරය සහ වර්ණ සංකේත සඳහා නූල් අංක ලබා දෙන අතර ලබන සතියේ සිට සති හතරක් පුරාවට එම දසුනේ කොටස් හතර තිළිණ කරන්නෙමු. එම කොටස් හතර එකතුකර මෙය සම්පූර්ණ කරගන්න. කොටසින් කොටස මසන්නේ නම් පළමු කොටසේ සිටම ඔබට මැසීම ඇරැඹිය හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10ක්, 11ක් හෝ 14ක් ඇති ක්‍රීම් පැහැති අයිඩා රෙදි

නොම්බර 24 සිට නොම්බර 26 ටැපැස්ට්‍රි ඉඳිකටු

අවශ්‍ය වර්ණවල කැරැලි නූල්, රාමුව. ඉඳිකටු, කතුර

නිර්මාණය කිරීම

අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් මෙය සෙන්ටිමීටර් 19.78x23.22 ප්‍රමාණයේ කුඩා එකකි. අඟලට කොටු 10ක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් මෙහි ප්‍රමාණය මීට වඩා විශාල වේ. රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. කොටු ගණන්කර මසන්න. නැතිනම් නිර්මාණයේ හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14 නම් නූල් පොටවල් 2 ක් හෝ 3ක් සෑහේ. අඟලට කොටු 11ක් හෝ 10ක් නම් නම් නූල් පොටවල් 4 ක් හෝ 6 ම භාවිත කරන්න. රේඛා මඟින් දැක්වෙන ඒවා අදාළ වර්ණ භාවිත කරමින් ආපසු මැස්මෙන් මසන්න.

උපදෙස් හා සටහන

පාලිකා දිල්රුක්ෂි