පාඨක නිර්මාණ

Week of පෙබරවාරි 19, 2025

මිනිසුනි බලාගෙන
ඉන්ද්‍රා ලියනගේ ~

 
 හදවත මැදින් 
 ගංඟාවක්
 ගලා යන...
 මිනිසුනි;
 ඉවුර තෙතබරිතයි 
 බලාගෙන !
 
 

ආදරෙයි උතුරන්න
සමාධි බණ්ඩාර ~

උපුටා ගැනීම

 

ශෝක දනවන තත්ත්වයක් නම්
මල් වඩම් ගෙන පිදේ
පියුම් සුපිපෙන විල් තෙරක් වූව
ඉඩෝරයකදි හිඳේ
ඉතා සීමිත ක්ෂණයවල්වල
සුසුම් උපරිම රිදේ
ප්‍රේමණීයම කතා තුළදිත්
බැඳෙන තැන් යළි බිඳේ

ගොඩබිමක මියයන රළක් වුව
වෙරළ වෙතටම ඇදේ
සුවඳ වැඩි ලස්සන මලක් හෙම
උසම ඉතිවල හැදේ
ප්‍රේමයත් මිහිරිම තැනක් විට
කඳුළ කෙළවර රැඳේ
අමතකම කළ යුතු දෙයක් නම්
මතකවල යළි බැඳේ

සිතෙන තරම් මට
නිලන්ත අනුහස් ~


 
 වාසුමති ධනයෝගයෙන් දැන් මට
 උපදින්නට සිත් පහළ වෙලා
 කුවේරයන් අතරේ හිඳිනා එක රූපය
 දැන් දැන් සිත තුළ ජනිත වෙලා
 පාරේ සිඟමන් යැද යැද ඉඳලා
 අයියෝ දැන් මට එපාවෙලා
 තරුපති හිරුපති නඩුව අහන්නට
 එන්නකෝ දැන් මට සමාවෙලා
 
 බොරුව මුසාවෙන් ලොව රජකරනා
 රජවරු සිටුවරු ඈත දැකලා
 උන්ගේ ඇම කන කපටි දනන්හට
 සළුපට අැඳලා උඩතියලා
 හිස්සෝ සුදුස්සෝ යට කොට බැබළෙන
 කාලය දැන් දැන් උදාවෙලා
 බොරුවෙන් රවටන අමන දනන් හට
 කියලා දැන් මට එපාවෙලා
 
 කුසගින්නේ විලි වැදෙනා හදවත
 ඇත දැන් සෝබර ගින්න දරා
 හදවත වැලපෙන දුක් ගිනි නිවමින්
 නුඹ හට දැන් දැන් නොම ඇසිලා
 කාලය රවටන බොරුව දහම කර
 මුසාබසින් සැම තැන පිරිලා
 පරලොව යන්නට සිතෙන තරම් අද
 ලෝකය දැන් ඇත එපා වෙලා
 
 

සුරත් මිණ
හොඳම කවිය ~

ලබා ගන්න පුතු පණ නල ..
සිඳී ගිය
නොමළ ගෙයින් අබ දෙමිටක් ..
සොයා ගිය
මවක් වෙතට වසවත්
මරු සිනා විය
කිසාගෝතමී වත බණ...
පොතේ විය

නොමළ දරුවො
කෙලෙසෙනු දැක ..
තැවී ගිය
බොහෝ සිටක
අපි ඈ ගැන කතා විය
එදා ඇයට කරුණා ඇස ..
තෙමී ගිය
බුදුන් මෙදා වඩිනට නම් ..
පමා විය

නොමැති නිසා දරු සෙනෙහස් ..
පිනා ගිය
උපත්වලට පෙර ගබ්සා ..
බොහෝ විය
දෙකලවා මැදින් රහසේ ..
ගලා ගිය
රුහිරු අතර මවු දෙවඟන ...
ඇයම විය

තෙලෙස් වස් දුවක් ..
වැටකොටු පැනල ගිය
පුදා තිබේ ලිඟු සතකට ..
ළමා විය
අසා පුවත නවතා ඇස ..
කඳුළු දිය
කිසාගෝතමී මැරුණා ..
පැළී ළය.
 

 

ගාමිණී මද්දුමගේ
වෛද්‍ය නිලධාරී
බදුල්ල බන්ධනාගාරය

 

වර්තමානයේ බහුලව ඇසෙන දරුවන් දූෂණය කිරීම, ගැබ්ගත් මවුවරුන් කලල ගබ්සා කිරීම වැනි අමානුෂික ක්‍රියා දෙස කවියා බලන්නේ කිසාගෝතමීගේ කතාව කේන්ද්‍රයේ තබාගෙනය. එහෙයින් දරුසෙනෙහස ගැන යමක් සංවේදීව ප්‍රකාශ කිරීමට කවියා සමත් වෙයි.

ඒ අර්ථයෙන් ගත් විට මේ කවියා, කවිය සංවේදී සමාජයක් වෙත මිනිසුන් අවදි කර තබන මාධ්‍යක් යන වැටහීමෙන් ක්‍රියා කරන බව ද පෙනේ. කිසාගෝතමිය පිළිබඳ පැරණි කතාව පාදක කර ගැනීම නිසා කවිය වාර්තාමය ස්වභාවයෙන් මිදෙයි.

නුඹ
මනෝජ් ප්‍රසන්න ~

 
 පැති කණ්ණාඩියකි
 නුඹ,
 නෙතු පසුපසට
 අද්දන.
 

  

ප්‍රථම ප්‍රේමය
මනෝන්දිකා විජේගුණවර්ධන ~ පානදුර



මනරම් හැඟුමකි සිත තුළ මැවෙනා
නොයිඳුල් පැතුමකි සිත පුබුදවනා
ළබොළඳ හදවත් මුසපත් කරනා
කුලුඳුල් ප්‍රේමය මෙය වෙයි අගනා

මුවඟින් පෙම්බස් දෝරේ ගලන්නේ
ආදර හසුනුයි අකුරු කරන්නේ
පෙම් සිතිවිලි සිත සතුට ගෙනෙන්නේ
මුල් පෙම නැත මතකයෙන් මිදෙන්නේ

බිඳුණු දිනේ හද තැවුල් මවන්නේ
කඳුළු සුසුම් මැද සිතයි දැවෙන්නේ
නැත පෙම්බර වත අමතක වන්නේ
පෙම් සටනින් ජය සැම සුපතන්නේ
 

 

පිනිකැට
ටී. රවිහාර ~


 කුරුලු තුඩින්
 මල් ඇහැරෙන 
 මොහොත බලාගෙන...
 පබලු බසින හැටි
 පත් අග 
 සිහින දරාගෙන...
 
 

නොමේරූ..!
කුමුදිනී වේලාරත්න ~


 
 මහ පොළොව මත
 ගෙවූ දිනවලට සරි ලෙස
 ගතින් පමණක් වැඩී
 වයස් ගත අය වෙත
 සිතින් මනසින් තවම
 අතරමං වී මඟ
 මඟ හසර සොයනවා
 තරුත් නැති රෑ මැද..
 
 ජීවිතය දිනන්නට
 ඒ සමඟ යුද වැද
 දැනුම් සමුදුර ගිලී
 දිවා රෑ නිදි බිඳ
 ඉසුරුමත් දිවියකට
 උරුම ලද උන් ළඟ
 වුණාට පමණක් ඇයිද
 විමතියෙන් විමසත...
 
 ඉසුර හා උගැන්මෙන්
 උන් ලැබූ ඵල මිස
 එතැන වොරැඳෙනු පිණිස
 ගෙවූ දුකර මඟ ගැන
 නොදැන නොඅසා නොසරි
 ලෙස නුහුරු වදනින
 පෙළති, ගරහති
 වුණාට කිම අපට නැති කළ...
 
 අප සරිව සිටි නමුදු
 කිම නැඟුණෙ ඉහළට
 එනිසාම උන් සමඟ
 එපා ඇසුරක් සොඳ
 සම සිතින් දිගු කරන
 අතට නොදෙමින් අත
 ඈත් වී යන එකට
 නමක් දෙනු නොහැකිද...?
 
 

Week of පෙබරවාරි 19, 2025