නිවෙසක් වර්ග කිරීමේ වැදගත්කම දන්නවා ද

දෙසැම්බර් 3, 2018

නිවෙසක් වර්ග කිරීම, එහෙම නැත්නම් යහපත් වර්ග ප්‍රමාණයක පිහිටුවා බල ගැන්වීම කියන්නේ වාස්තු විද්‍යාවේ එන මූලික දෙයක්.

මෙලොව උපන් අප සෑම දෙනාටම එකම ආකාරයේ ගති ලක්ෂණ, හැකියාවන් පිහිටන්නේ නැහැ. නමුත් පරික්ෂා කිරීමේ දී සමාන ලක්ෂණ පිහිටන අය සොයාගන්නත් බැරිම නැහැ. උප්පත්ති කේන්ද්‍රය අනුවත් පෙන්වන්නේ ජන්මියාගේ විවිධ වූ ගති ලක්ෂණ ගැනයි. කේන්ද්‍රය කියන්නේ පුද්ගලයකුගේ භෞතික, අධ්‍යාත්මික පැති සියල්ලක්ම පෙන්වන දෙයකට. පෙර සංසාරයේ කළ කී දේත් , මේ ආත්මයත්, අනාගතය ගැනත් තොරතුරු රාශියක් නිවැරැදි කේන්ද්‍ර සටහනකින් හෙළිදරව් කර ගත හැකියි. පුද්ගලයකුට උරුමවෙන දේපොළ, අධ්‍යාපනය, රැකියාව, විවාහය, ගෘහ වාසනාව ආදියත් පිඩා විඳින රෝගාබාධ ආදිය ගැනත් වැඩිපුර විස්තර භාව කේන්ද්‍රයක් මඟින් සුක්ෂම විශ්ලේෂණයකින් සොයාගන්න පුළුවන්.

මා කලින් කී පරිදිම එක් එක් පුද්ගලයාට හිමිවන නිවෙසේ ගෘහ පිණ්ඩය හෙවත් වර්ගඵලය වෙනස්. තමා උපන් නැකැතට ගැළපෙන පරිදි මෙය සකසාගත් විට සිදුවන්නේ ගෘහ හිමියාගේ ජන්ම ශක්තිය සමඟ ගෘහ පිණ්ඩය ඒකාබද්ධ වීමයි. ගෘහයේ බලය හා ගෘහ හිමියාගේ ශක්තිය අතර ගැළපිමක් වන මෙම බලගැන්වීම ඇත්තටම ඉතා බල සම්පන්න දෙයක්. ඔබ දැක ඇති වර්තමානයේ බොහෝ නිවාස විවිධ හැඩතල යොදාගෙන සාදන ආකාරය. හැඩතල යොදාගැනීම වාස්තු විද්‍යාවේ දී වරදක් නොවේ. එම හැඩතල සරල වීමත්, අනවශ්‍ය ආකාරයට සිරවුණු සහ ඉඩකඩ ඇහිරුණු තැන් නොවීමත් අත්‍යවශ්‍යයි. හැඩතල යෙදූවත් නිවෙස වර්ගකිරිමේ දී අංශක අනූවේ මුළු තිබෙන සංවෘත චතුරස්‍රයක් වීම වඩාත් වැදගත්. මෙම චතුරස්‍රය තුළ නිවෙසේ අංග වැඩිහරියක් පිහිටුවීම කළ යුතුයි. එවිට තමයි නිවෙසේ වර්ගඵලය යහපත් වී බල ගැන්වෙන්නේ. (වර්ගඵලය තීරණය කිරීමේ විවිධ වාස්තු මත තිබේ.) මෙම වර්ගඵලය තුළට වැසිකිලි වළවල්, ළිං ආදිය ඇතුළත් වුණොත් වෙන්නේ නිවෙසේ බලය අඩාල වීමයි. නිවැසියන් රෝගී වීම, අනවශ්‍ය මුදල් වියදම්, බලාපොරොත්තු ඉටු නොවීම ආදිය මෙහි ප්‍රතිඵලයන්. නිවෙසේ වර්ගඵලයෙන් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට ගෘහ හිමියාගේ ජන්ම නැකැත අනුව සීහුම් කිරීම ඉතා වැදගත්. මෙම සීහුම් බල නැකැත්වලින් යහපත් හෝ අයහපත් ප්‍රතිඵල ලැබෙන අතර නිතරම යහපත් සීහුමක්ම ගත යුතුයි. සීහුම් බල නැකත් ගැන සංක්ෂිප්ත සටහනක් ඔබවෙත දක්වන්නම්.

 

යහපත් ප්‍රතිඵල ලැබෙන සීහුම් බල නැකැත්

I .පරම මෛත්‍රී : නිවැසියන්ට යහපත්

වෙන සාමය, කායික හා මානසික සහනය,

ධනය, නිරෝගීකම සුරැකේ.

II. මෛත්‍රී : ඉහත සඳහන් බොහොමයක් ලැබේ.

III. සම්පත් : සැප සම්පත් , ධනය, බලය, නිරෝගීකම ආදී සියලුම දේට යහපත්.

IV. ක්ෂේම : කායිකව හා මානසිකව ලැබෙන සැහැල්ලු බව, සතුට , සැපය හා ආරක්ෂාව ලැබේ.

V. සාධක : සතුට , සැපය, සැනසීම හා ආරක්ෂාව පිණිස හේතු වෙයි.

අයහපත් වෙන සීහුම් බල නැකැත්

I. ජන්ම : ගෙහිමියාට නිවෙසේ නැකැත

ජන්ම වීම කියන්නේ ලෙඩ දුක් කරදර ඇතිවෙන අයහපත් දෙයක්.

II. වධ : නිවැසියන්ට රෝගාබාධ ඇති වීම, නොයෙකුත් කරදර ඇතිවීම පවුලේ කටයුතු අඩාල වීම හා වැඩ කටයුතු අතර මඟ නැවතීම ආදිය දක්නට පුළුවන්.

III. විපත් : නමේ අරුතින්ම වැටහෙන පරිදි නිවැසියන්ට තදින්ම බලපාන ලෙඩ දුක් කරදර හා නොයෙක් ආකාරයේ විපත්ති දායක කාරණා සඳහා හේතුයි.

IV. ප්‍රත්‍යාරී : නිවෙසේ සියලු දෙනාටම අහිතකර ලෙස බලපාන ලෙඩ දුක් කරදර ආදිය සිදුවිය හැකියි.

 

පොදුවේ ගත් කල නිවෙසේ සීහුම් බල යහපත් නො වුණු කල පහත ප්‍රතිඵල දක්නට පුළුවන්.

 

V. නොසිතූ ආකාරයට ධන හානි වීම හා නොයෙක් ආකාරයේ නීති පටලැවිලි ආදියට මුහුණ දීමට සිදුවීම.

VI. නිවැසියන් රෝග පීඩා ආදියට ගොදුරු වීම,

VIII. සාදා ගෙන යන නිවෙසක් නම් අතරමඟ දී විවිධ ආකාරයේ බාධා ඇතිවී අවසන් කර ගැනීම පමා වීම.

IX. පවුල් ජිවිතයේ යම් බිඳවැටීම් සිදුවිම.

කේන්ද්‍ර සටහනකින් පුද්ගලයාගේ ජිවිතයේ සෑම පැතිකඩක්ම කියවිය හැකි ලෙසම ගෘහ මූලිකයාගේ නැකැත්වලට ඉහත ආකාරයෙන් බලගැන්වූ නිවෙසකින් ඔහුගේ ජිවිතයේ සෑම අංශයක්ම (ඒ කියන්නේ ගෘහ ජීවිතය, රැකියාව හා ආදායම්, උසස් වීම්, දරුවන්ගේ අධ්‍යාපනය ආදී) පාහේ බොහෝ සාර්ථක හා ප්‍රතිඵලදායක ලෙස ඉහළ නංවන්න පුළුවන්. මේ නිසා ඔබගේ ග්‍රහචාරය හොඳ නැති වෙන කාල සිමාවන්ගේදීත් යම් ආරක්ෂාවක් ගෘහය මඟින් ඔබට සලසනවා නොඅනුමානයි.

 

සිවිල් ඉංජිනේරු,

වාස්තු විද්‍යා විශාරද,

ආචාර්ය ගයාන් එරමුදුගොඩ

eb :www.vastuhomebuilders.com

Email :[email protected].