වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
හිත සනසන ගත නළවන සොඳුරු ගෙවත්තක්

සොඳුරු නිවෙසක්, ලස්සන ගෙවත්තක්. එහෙමත් නැතිනම් සුන්දර ගෙමිදුලකින් වටවුණු අලංකාර නිවෙසක්. මේ තමයි අපි වැඩිදෙනෙක්ගේ හීනය. ජීවිත කාලය පුරාවටම වෙහෙසව හරි හම්බ කරන මුදල් අර පරෙස්සමට විය පැහැදම් කරන්නේ මේ සුන්දර සිහිනය යථාර්ථයක් බවට පත් කර ගන්නටයි.
නිවෙසක ඉදිකිරීමේ කටයුතු අහවර කිරීමෙන් පසුව ඉතිරිවන සුන්බුන් සහිත වටපිටාව අලංකාර ගෙමිදුලක් බවට පත් කිරීම තරමක අභියෝගාත්මක කටයුත්තකි. වැඩිදෙනෙකු මේ සඳහා උද්‍යාන නිර්මාණ ශිල්පියකුගේ සහය පතන අතර ඒ සඳහා වැඩි මුදලක් අත නොතිබෙන කෙනෙකු උත්සාහ දරන්නේ තමන්ට හැකි අයුරින් එය ඉටුකර ගැනීමටයි. ඇත්තටම එය ඔබට කළ නොහැකි කාර්යයක් නම් නොවේ. යම් සැලසුමක් අනුව, නිර්මාණශීලීව සිතාබලා කටයුතු කළහොත් ඔබටත් මනරම් ගෙවත්තක් නිර්මාණය කර ගත හැකියි.
සැලසුමක් සැකසීම
නිවෙස සැකසීමට ඔබ සැලැස්මක් අඳිනවා සේම ගෙවත්තට ද දළ සැලැස්මක් සකසා ගන්න. මෙහිදී ඔබ ගෙවත්තට ඇතුළත් කළ යුතු අංගෝපාංග සියල්ලම හැකි අයුරින් ඇතුළු කිරීමට වගබලා ගත යුතු අතර ඔබේ ගෙවත්ත නිර්මාණය කිරීමට ඇති ඉඩකඩ අනුව ඊට ගැළපෙන පරිදි මේ කටයුත්ත සිදු කළ යුතුය.
ගෙවත්තේ කෙළවර
වර්තමානයේ නිවෙස් වටා බොහෝවිට තාප්පයක් ඉදිකෙරෙන නිසා ඔබේ ගෙවත්තේ කෙළවර මේ තාප්පයයි. එබැවින් තාප්පය අසල එතරම් විශාලව වැඩෙන ශාක සිටුවීම නොකළ යුත්තකි. තරමක් උසට වැඩෙන, මල් පිපෙන ශාක පාත්ති අාකාරයට සැකසීම මේ සඳහා සුදුසුය.
තාප්පය වෙනුවට කම්බි වැටක් හෝ ලී වැටක් සකසන්නේ නම් එය ද ගෙවත්තට අලංකාරයක් එකතු වන අන්දමින් සකසා ගන්න. විශේෂයෙන් මල් පිපෙන හෝ විසිතුරු පත්‍ර සහිත විවිධ වැල් වර්ග මේ වැටට යැවීමෙන් කදිම කලඑළියක් එකතු වේ. එමෙන්ම අසල්වාසී ඉඩමට කරදරයක් නොවන පරිදි ඔබේ සීමාව තුළට පමණක් මේ කටයුත්ත සීමා කිරීමට වගබලා ගන්න. එමෙන්ම විශාල ශාක මේ වැට මායිමට සිටුවීමටත් මතක තබාගන්න.
කලාත්මක වෙනසක්
සොඳුරු මල් පිපෙන ශාක කිහිපයක් එකට වගා කිරීමෙන් ද පුදුමාකාර සුන්දරත්වයක් එකතු කර ගත හැකියි. ගැළපෙන වර්ණ සහිත මල් හෝ විසිතුරු පත්‍ර සහිත ශාක මේ සඳහා තෝරා ගත යුතු අතර ඒවා බඳුන්ගතව හෝ ගෙමිදුලේ ගැළපෙන පරිදි ස්ථානගත කරන්න. එකම වර්ණයක්, එකම වර්ගයක් ඇසට ගෙනෙන ඒකාකාරී බව වෙනුවට මේ විචිත්‍ර පෙනුම ගෙමිදුලට කලාත්මක වෙනසක් ඇති කරාවි.
පාට පාට මල් පිපෙන ශාක
ලොකු කුඩා මල් පිපෙන ශාක නෙතට සේම සිතට ද රැගෙන එන්නේ ප්‍රියජනක සිතුවිලියි. උදෑසන හිරු කිරණේ නැහැවෙමින් සිනාසලන මේ මල් කුමාරියන්ගේ රොනට ඇදෙන මී මැසි කැළ, පාට පාට සමනලුන් ඔබේ ගෙමිදුල පුදුමාකාර සජීවී බවකින් පුරවාවි. එබැවින් විවිධ වර්ණයේ මල් පිපෙන ශාක වැඩි ප්‍රමාණයක් ගෙමිදුලට එකතු කරන්න. රෝස, ජර්බරාස්, ඕකිඩ්, ඉද්ද වර්ග සේම කැනාස්, දාස්පෙතියා, පෙටූනියා, කූඩලු වැනි ශාක ඊට කදිමයි.
එළවළු, පලා ආදියත් වවමු
අතීතයේ දී බොහෝ නිවෙස්වල පිටුපස ගෙමිදුල වෙන් වූයේ මුළුතැන්ගෙයට එදිනෙදා අවශ්‍ය විවිධ දෑ වගා කර ගන්නටයි. වර්තමානයේ සීමිත ඉඩකඩ තුළ පිටුපස මිදුලක් වෙන් කිරීමට වැඩි දෙනකුට හැකියාවක් නොමැත. නමුත් ඔබේ එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය රම්පෙ, කරපිංචා, ඉඟුරු, අමු මිරිස්, තක්කාලි ආදිය මෙන්ම ගස්ලබු ගසක් දෙකක් බටු, බණ්ඩක්කා වැනි එළවළු ද ඉඩකඩ ඇති ස්ථානවල සිටුවා ගන්නට අමතක කරන්න එපා. විශේෂයෙන්ම කංකුං, ගොටුකොළ, මුගුණුවැන්න වැනි පලා වර්ග එල්ලෙන බඳුන්වල සිටුවා ගැනීමෙන් ගෙවත්තට සුන්දරත්වයත්, පසුම්බියට මුදලකුත් ඉතිරි කරාවි.
ඒකාකාරී බව නැති කරන්න
එකම ආකාරයේ ගෙමිදුල නෙතට යම් පීඩාවකි. එබැවින් ගෙවත්ත තුළ ඉඩකඩ පවා වෙනස් කරන්න. කුඩා පාත්ති, විවිධ හැඩයේ බඳුන්, ගල් ඇතිරූ පටු මාවත්, පුංචි දඬු වැටවල්, තණකොළ සහිත බිම්කඩිති, ගල් වැටි, පුංචි දිය කඩිති හෝ දිය කඳුරු හැකි ආකාරයට එකතු කිරීමෙන් මේ ඒකාකාරී බව නැති කර කලාත්මක වෙනසක් අත්විඳින්න.