සුපිළිපන් සම්මානය දිනූ ප්‍රාදේශීය ලේකම් වරිය

පෙබරවාරි 3, 2021

 

රාජ්‍ය සේවය ගැන ජනතාව තුළ ඇත්තේ විවිධාකාරයේ අදහස් ය. ඉන් වැඩි දෙනකු තුළ පවතින්නේ රජ්‍ය සේවකයන් තම රාජකාරිය නිසි ලෙස නොකරන, ජනතාව පීඩාවට පත්කරන පිරිසක් බවයි.

එහෙත් මේ අදහස වෙනසකට ලක් කළ රාජ්‍ය සේවකයන් පිරිසක් ද නැතුවා නොවේ. ඔවුන් ජනතා ආදරය නොඅඩුව ලබමින් තම සේවය උපරිමයෙන් සලසන්නවුන් ය.

හිමාලි රත්නවීර නැතිනම් ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම්වරිය ද අයත් වන්නේ ජනතා ආදරයට ලක් වූ රාජ්‍ය සේවකයන් කොටසටයි. ඒ නිසා ම ඇය අල්ලස්, වංචා, දූෂණවලින් තොර හොඳම රාජ්‍ය සේවකයන් පස් දෙනාගෙන් කෙනකු විය. ඒ සඳහා මනාප ඉදිරිපත් කරන්නේ ජනතාවයි. ඒ නිසා ඇගේ ජයග්‍රහණය ජනතාව විසින් ම ඇයට ලබා දුන්නකි.

ඇයගේ ජයග්‍රහණය පසුපස ඇති තොරතුරු දැනගැනීමට අපි ඇය සොයා ගියෙමු.

* ඔබේ ගම් ප්‍රදේශය, මව්පියන් ගැන මුලින් ම දැන ගන්න කැමැතියි..

මම ඉපදුණේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල කියන ගමේ.. මුලින්ම පාසල් ගියේ හල්දුම්මුල්ල කණිෂ්ට විද්‍යාලයට.. ඉන්පස්සේ අපට හම්බන්තොටට එන්න සිද්ධ වුණා. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක් නිසා තමයි අපි හම්බන්තොට පදිංචියට ආවේ. මගේ අම්මගේ ගම අහංගම.

ඉන්පස්සෙ මම හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත් වීම නිසා හම්බන්තොට ශාන්ත මේරි විද්‍යාලයට ගියා. උසස් පෙළ හැදෑරීම සඳහා තංගල්ල බාලිකා විද්‍යාලයට ඇතුළු වුණා.

* ඔබේ පාසල් කාලයේ අත්දැකීම් ජීවිතයට පන්නරයක් වෙන්න ඇති...

ඇත්තට ම ඔව්, මම පොතපත විතරක් ම ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. මම පාසල් කාලේ ක්‍රීඩාවලටත් විශේෂ කැමැත්තක් දැක්වුවා. වොලිබෝල්, නෙට්බෝල්, එල්ලේ, ධාවන තරග, දුර පැනීම වගේ හැම අංශයකින් ම ක්‍රීඩා කළා. මම පාසලේ දී විෂය බාහිර වැඩ ගොඩක් කළා. ශිෂ්‍ය නායිකාවක් ලෙසින් කටයුතු කළා, සෞඛ්‍යදාන, පරිසර භට කණ්ඩායම, පාසලේ සිංහල භාෂා තරගවලට ඉදිරිපත් වෙලා පළාත් ජයග්‍රහණ පවා ලබා ගත්තා. ඉංගී‍්‍රසි භාෂා දින තරග, නාට්‍ය තරග ආදියට සහභාගී වෙලා ජයග්‍රහණ ලබාගත්තා. විශේෂම දේ තමයි තංගල්ල බාලිකා විද්‍යාලයේ ඉතිහාසයටම, උසස් පෙළට ඇවිත් ශිෂ්‍යනායිකාවක් වෙන්න ලැබුණු ශිෂ්‍යාව වීමට ලැබීම. මගේ තිබුණු දක්ෂතා, බාහිර වැඩ නිසා මගේ ශිෂ්‍යනායිකා ඉල්ලුම්පත්‍රය ප්‍රතික්ෂේප කරන්න ගුරුවරුන්ට බැරි වුණා..

* ඔබට රාජ්‍ය සේවයට එන්න කැමැත්තක් ඇති වුණේ කොහොමද?

අපි උසස්පෙළ කරපු කාලෙ කැම්පස් එකට යන්න කාලයක් බලා ඉන්න වුණා. මම උසස් පෙළින් ෆිසිකල් සයන්ස්වලින් කැම්පස් යන්න තේරිලා තිබුණත් ගෙදරින් කිව්වේ ඉංජිනේරුවරියක් වෙන්න තව සැරයක් උසස්පෙළ කරන්න කියලා.. ඒ වුණත් මට ඒ වෙලාවේ ආසාවක් තිබුණේ නෑ නැවත වතාවක් විභාගය කරන්න. මම ලිපිකරු විභාගයට ලිව්වේ මේ අතරේ.. රාජ්‍ය සේවයට කැමැත්තක් හිතේ තිබුණ නිසා තමයි මම ඒ විභාගයට ලිව්වේ..

ඉන්පස්සේ මම ලිපිකාරිණියක් විදියට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිලපාලන අංශයේ කටයුතු කළා. ඒ අතර තමයි 1998 දී මට විශ්ව විද්‍යාලයට යන්න ආවේ.. මම රැකියාවත් එක්කම අධ්‍යාපන කටයුතු කරගෙන ගියා.. ඒක පහසු දෙයක් වුණේ නෑ.. සමහර දවස්වල මම දවසටම නිදාගෙන තිබුණේ විනාඩි කිහිපයයි.. මම නිවාඩු දවස්වලත් වැඩ කරලා හිලවු නිවාඩු අරන් කැම්පස් ගියා.

මට ඒ වෙලාවේ හිටිය ආයතන ප්‍රධානීන් ගොඩක් උදවු කළා. එවකට දිසාපති ලෙස කටයුතු කළ අමරතුංග මහතා හා මගේ ආසන්නතම ප්‍රධානියා ලෙස කටයුතු කළ සමරනායක මහතා මේ වෙලාවේ සිහි කළ යුතුයි. ඒ වගේම මගේ යාළුවොත් මට ගොඩක් උදවු කළා.

කැම්පස් එකේදිත් මම ක්‍රීඩා කළා. නෙට්බෝල්, වොලිබෝල්, එල්ලේ යන ක්‍රීඩා තුනටම මට විශ්ව විද්‍යාලයේදී වර්ණ (කලර්ස්) පවා ලැබුණා.. අන්තර් විශ්ව විද්‍යාලයීය තරගාවලියේ දීත් මට වර්ණ ලැබුණා.

මේ දේවල් මගේ ජීවිතයට වටිනාකම් එකතු කළා. ඒ වගේම විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ දී විද්‍යා පීඨයේ ක්‍රීඩා නායිකාව වුණා.

විශ්ව විද්‍යාලයේ දීත් ගොඩක් බාහිර වැඩ කළා.

* ඔබට ජීවන සහකරු ජීවිතයට සමීප වුණේ කොයි කාලෙද?

ඇත්තට ම එයා මට ලොකුම සහයක් දුන්නු කෙනෙක්. මගේ ජීවිතේ මේ වෙනතෙක් මගේ සාර්ථකත්වයට සහාය දැක්වුවේ බන්දුල. කැම්පස් එකේ මගේ හොඳම යාළුවා වුණේ එයා. මට මඟ හැරෙන පාඩම් කියලා දුන්න කළ්‍යාණ මිත්‍රයා.

 

2021/02/03 තරුණි පුවත්පත බලන්න

 

 

ඡායා - නලින් උඩුගම්පල