බොහෝ මිනිසුන් යළි නැඟිටීම උදෙසාමගේ ලිපි පෙළ අභිප්‍රේරණයක් කරගත්තා

පෙබරවාරි 24, 2021

 

Professional and career Women Awards
රන් සම්මාන ලාභිනී ඉනෝකා පෙරේරා බණ්ඩාර

 

පසුගියදා ශැන්ග්‍රි-ලා හොටෙල්හිදී පැවැති Professional and career Women awards සම්මාන තරගාවලියේදී මුද්‍රිත මාධ්‍ය කාණ්ඩය යටතේ රන් සම්මානය දිනාගත්තේ ලේක්හවුස්, සිළුමිණ ව්‍යාපාරික කර්තෘ ඉනෝකා පෙරේරා බණ්ඩාරය.

තරුණී පුවත්පතේ නිදහස් මාධ්‍යවේදිනියක ලෙස ලේක්හවුස් ආයතනයට පිවිසි ඇයගේ වසර 24 ක මාධ්‍ය ජීවිතයේ දී 2004 සිළුමිණ රසඳුන අතිරේකය වෙනුවෙන් හොඳම විශේෂාංග ලේඛකයා සඳහා වූ උපාලි විජේවර්ධන සම්මානය ද ඇතුළුව මාධ්‍ය විශිෂ්ටතා සම්මාන තුනක් දිනා තිබේ.

තරුණී නිදහස් මාධ්‍යවේදිනියක ලෙස මාධ්‍ය කලාවට අවතීර්ණ වූ ඇය අද වන විට සම්මානනීය මාධ්‍යවේදිනියක ලෙස සුවහසක් පාඨක සිත් තුළ නම් තබා ඇත. මේ ඇය සමඟින් කළ කතා බහයි.

පසුගියදා ඔබට ලැබුණු මේ සම්මානයේ වැදගත්කම ගැන කතා බහ කළොත්...

‘විද්වත් සහ වෘත්තීය කාන්තා උළෙල’ හෙවත් rofessional and career Women awards  කියන්නේ ගෝලීය වශයෙන් පිළිගැනීමක් ඇති සම්මාන ප්‍රදානයක්. එය ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු, කාන්තා කළමනාරණ ආයතනය (Women in Management)  විසින් සංවිධානය කරනු ලබනනේ, ඔස්ට්‍රේලියානු රජය සහ ලෝක බැංකු සමූහයේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල සංස්ථාවේ Women in Wor වැඩසටහන සමඟ ඒකාබද්ධවයි.

සමාජයට ආදර්ශයක් වෙමින්, තම ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන කාර්යයභාරයක් ඉටු කරන ව්‍යාපාරික සහ රැකියාවල නියුතු කාන්තාවන් පනස් දෙනකු වෙනුවෙන් මේ සම්මාන පිරිනැමෙනවා. මේ සම්මාන සඳහා ජයග්‍රාහකයන් තෝරා ගනු ලබන්නේ, සිය ක්ෂේත්‍රයට අදාළව සාක්ෂි සහිතව ඔප්පු කරන ලද ඔවුන් කළ කී දෑ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් කාර්යයසාධනයකට සහ තක්සේරුවකට ලක් කිරීමෙන්.

ඔබ මෙම තරගයට ඉදිරිපත් කළේ කුමන ආකාරයේ ලිපි එකතුවක්ද?

ප්‍රධානකොට, කාන්තාවන්ට ව්‍යාපාරික සමාජයට ව්‍යවසායක ප්‍රජාවක සහ නැගිටින්නට වෙර දරන මිනිසුන්ට උත්තේජනයක් සැපයූ මෙරට දැවැන්ත ව්‍යාපාර නායකයන් හා කළ සම්මුඛ සාකච්ඡාමය ලිපි පෙළක්.

මේ ලිපි පෙළ, සිළුමිණේ සිටි කීර්තිමත් කතුවරයකු වූ සුන්දර නිහතමානි ද මැල් මහතාගේ සංකල්පයක්. එතුමාගේ අදහසට මම තවත් දේ එක් කළා. විභාග අසමත් වන දරුවන්, අභියෝග හමුවේ වැටෙන මිනිසුන් විතරක් නෙවෙයි අවසානයේ එය තම දරුවන් වෙනුවෙන් මවුපියන් හොයා කියවන ලිපි පෙළක් බවට ද පත් වුණා.

සැබෑ නායකයකු කළයුතු සහ නොකළ යුතු දෑ මෙන්ම ආයතනයක දියුණුවට නායකත්වය එල්ල කරන ප්‍රබල බලපෑම ඉතා සියුම් ලෙස මේ ලිපි ඔස්සේ විග්‍රහ කළා. ඊට අමතරව අපේ රටේ විවිධ සමාජවල දිරිය කාන්තාවන්, ජීවිතය ජය ගන්නට දරන වෑයම පිළිබඳ ධනාත්මක විවරණ, ව්‍යාපාරික - ව්‍යවසායක ප්‍රජාවට, සමාජ ප්‍රගමනයට මෙන්ම පරිසරය සංස්කෘතිය ඇතුළු රට වෙනුවෙන් කළ මගේ සමස්ථ ලියැවීම සහ දායකත්වය මේ සම්මානය සඳහා සලකා බැලුණා.

කවුද ඔබ ඔය කියන මෙරට දැවැන්ත ව්‍යාපාර නායකයන්...

මෙරට සිංහල පාඨක සමාජයට වැඩිමනත් විවර නොවූ, කෙන් බාලේන්ද්‍ර, බාබ්රා සන්සෝනි, ශාම් එල්ලාවල, හේමක අමරසූරිය, සුසන්ත රත්නායක, මොහොන් පණ්ඩිතගේ, තිලක් සොයිසා, සුමල් පෙරේරා, රංජිත් ජොජ්, ප්‍රේමා කුරේ, ඩේවිඩ් පීරිස්, නීල් ෆර්නැන්ඩු, ඇන්ස්ලම් පෙරේරා, විෂ් ගොවින්ද සාමි වැනි පෙර පරපුරේ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම ඉන්පසු යුගයේ මෙරට ව්‍යාපාරික ලොව විප්ලවයක් කළ අශෝක් පතිරගේ, තුසිත විජේසේන, දිලිත් ජයවීර වැනි දැවැන්ත ව්‍යවසායකයන් දෙසීයකට වැඩි ගණනක් මේ ලිපි පෙළට එක්වුණා. ඇත්තටම ඒ තමයි ඔවුන් සිය ජීවිතය, සිංහල පාඨක සමාජයට විවෘත කළ ප්‍රථම අවස්ථාව. බොහෝ අය ජාත්‍යන්තර ව්‍යවසායකයන් ගැන කියවා තිබුණත්. අපේ රටේ එවැන්නන් ගැන දැන කියා ගත්තේ සිළුමිණෙන්.

තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුන්දර නිහතමානී ද මැල්, චාමින්ද වාරියගොඩ අප දිරිමත් කර අපේ උපරිමය ලබාගත් කීර්තිමත් සිළුමිණ කතුවරු.

ලැබුණු පාඨක ප්‍රතිචාර කොහොමද?

ව්‍යාපාර නායකයකුගේ පැයක් හමාරක් කියන්නේ මිල කළ නොහැකි කාල පරාසයක්.

 

ඒ කාලය තුළ සාර්ථකත්වයට හේතු වූ ඔවුන්ගේ ජීවිත අත්දැකීම් මෙන්ම, වැටුණු - පැරදුණු තැන් සහ අඳුරු සංවේදී තැන් හාරා අවුස්සා එළියට ගැනීමයි අභියෝගය. අපි හැමෝටම ගැළපෙන ජීවිත පාඩම් එතැන තිබුණා.

නවක ව්‍යවසායකයන් ඔවුන්ගේ කොටස මෙම ලිපි පෙළින් උකහා ගන්නා විට, ගුරුවරු, විශ්ව විද්‍යාල සිසුන්, පාසල් දරුවන් මෙන්ම පරාජිත සහ සිතිවිලිවලින් ඇදී වැටුණු බොහෝ මිනිසුන් යළි නැඟිටීම උදෙසා මේ ලිපි පෙළ අභිප්‍රේරණයක් කර ගත්තා.

ඔබේ පුවත්පත් කලා ජීවිතය ඇරැඹෙන්නේ?

ලේක්හවුස් ආයතනයේ තරුණී පුවත්පතටයි මා මුලින්ම සම්බන්ධ වන්නේ. ඒ 1996 තරුණී පුවත්පතතේ ස්ට්‍රිංගර් මාධ්‍යවේදිනයක් ලෙස. එය සතියේ දින පහම උදේ සිට සවස්වනතුරු රාජකාරියේ යෙදිය යුතු උපරිම රුපියල් 2500 කට යටත්ව, ලියූ ලිපි ප්‍රමාණයට පමණක් ගෙවන, ආයතනයේ ස්ථිර සේවකයකුත් නොවන ක්‍රමවේදයක්.

ඒ තමයි මගේ ජිවිතයේ ගෙවූ දුෂ්කරම අවුරුදු හතර. ඒ වගේම පත්තර කලාවේ ‘අ’ යන්නේ සිට ඉගෙන ගත් හොඳම කාල පරිච්ඡේදය.

කොහේද ඔබ ඉගෙන ගත්තේ...

දෙහිවල ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ. එයින් අම්මා තාත්තකුගෙන් ජීවිතටය ලැබුණු හොඳ පසුබිම වගේම තමන් තුළ වන විනය රැකගෙන ඕනෑම සමාජ ජාලයක මිනිසුන් සහ ජීවත්වන්නට මගේ ජීවිතයට පදනම වැටුණේ මගේ පාසලෙන්. කුඩා කාලේ සිටම මං ලියන්න කැමැතියි. මට මතකයි මං කුඩා කාලයේ දී ලියපු සිංහල රචනාවක්. වැඩිම ලකුණු ලැබුණෙත් ඒකට. ඒත් ලස්සනට රචනාවක් ලියන්න පුංචි ළමයෙක් තුළ සංවේදී ලේඛකයෙක් ඉන්න පුළුවන් වග ඒ පුංචි කාලෙදී මට වැටහුණේ නැහැ. නමුත් වැදගත් දේ වැඩිහිටියන් ඒ හැකියාව හඳුනාගැනීමයි. මගේ පාසලේදී ඒ සඳහා මට අවස්ථාවන් උදා වුණා.

උසස් පෙළ වාණිජ පන්තියේ හිටපු මං, කලා විෂයයන්වලට මාරු වුණේ නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙණෙන්. එක අවුරුද්දෙන් සිංහල විෂය ධාරාව ඉගෙන ගත්තා. ඒ වගේම පෞද්ගලික අංශයේ රැකියාවක් කරමින් සිටි මං ඒ රස්සාවෙන් අයින් වෙලා ලේක්හවුස් ආවේ ලියන ගාණට විතරක් ගෙවන, කවදා රස්සාවේ ස්ථිර වෙයිද කියලා දන්නේ නැති අනාගතයකට මුහුණ දෙන්න බලාගෙන. මේවා මගේ හිතුවක්කාර තීරණ. හැබැයි පුළුවන් උදව්වක් කළා මිස අම්මයි තාත්තයි මේ හිතුවක්කාරකම්වලට දොසක් කිව්වේ නැහැ. ජීවිතේ හැරවුම් ලක්ෂයක් හදාගන්න නම්, අවදානමක් ගන්නම ඕනේ. මා ඒ අවදානම ගත්තා.

මගේ තාත්තා බොහොම කරුණාවන්ත හදවතක් ඇති මනුෂ්‍යයෙක්. 2003 අවුරුද්දේ මගේ තාත්තා නැතිවුණා. මගේ අම්මත් බොහොම ධෛර්යවන්ත කෙනෙක්.

ඔබ ලියූ ව්‍යාපාර නායකයන් අතර වඩාත් හිත් ගත් චරිතයක් සිටිනවාද?

හේලිස් - සිංගර් සභාපති, මොහාන් පණ්ඩිතගේ මහත්මයා. ඔහු තමන්ගේ සේවකයන් ඉතා හොඳින් බලාගන්නා ශක්තිමත් නායකයෙක්. සාර්ථක නායකයෙක් වෙන්න හිතන කවුරු වුණත් ඔහු කියැවීම වටිනවා. තමන්ට ලැබුණු බලය සහ නායකත්වය, ටික කලකට ලද ඉල්ලීමක් සේ භාවිත කිරීම කිසිසේත් නොකළ යුතු බවත්, කේලාම් ඇසූවිට තමන්ට නැති වන්නේ හොදම සේවකයන් බවත්, ආයතනවල ඵලදායිතාවය නැංවීම සඳහා තමන්ගේ සේවකයන් දිරිමත් කළ යුතු ආකාරයත් හැදෑරීමට නම් ඔහු හොඳ පූර්වාදර්ශයක්.

පුවත්පත් කලාවේදී නම්, චන්ද්‍රසිරි දොඩන්ගොඩ, කසුරි වගේ පෙර පරපුරේ ජ්‍යෙෂ්ඨයන්ගේ ලිවීමේ

මොනවාද ඔබේ පවුලේ තොරතුරු...

මගේ සැමියා රොෂාන් බණ්ඩාර මගේ පුවත්පත් කලා ජිවිතයට ඔහුගෙන් ලැබෙන සහාය අතිමහත්. මාධ්‍ය ජීවිතය පැය අටකට සීමා වූ රැකියාවක් නොවෙයි.

රෑ බෝවන අවස්ථා ඕනෙ තරම්. තරුණී ර්ර ඉබරතඥ සංස්කරණය කළ මුල් අවධියේ බොහෝ දිනවල කාර්යාලයෙන් ගියේ රෑ එකත් පහුවෙලා. දුර වැඩවලට යද්දිත් ඒ වගේ. වෙලාවක් අවේලාවක් නැති මගේ පත්තර ජීවිතේ, ඔහු නොඉවසුවානම් මේ තරම් දුරක් මට කවදාවත් එන්න ලැබෙන්නේ නැහැ.

ජීවත්ව සිටි කාලේ මගේ තාත්තා මට හුඟක් උද්ව කළා. මගේ අම්මා, අක්කා, මල්ලිලා දෙන්නා සහ ඒ අයගේ දූ දරුවෝ තමයි මාව සතුටින් තබන මගේ ලෝකේ.

විඳපු දුක් පැණි රසයි කියලා හිතනවද?

ඇත්තටම එහෙම දවසක් උදා වුණා. මේ සම්මානය දිනලා ආයතනයට ගෙනා ගෞරවය නිසා ගරු සභාපතිතුමා, අධ්‍යක්ෂක මණ්ඩලය අතුළු ඉහළ කළමනාකාරිත්වය මා වෙනුවෙන් ඉතා ඉහළ පිළිගැනීමක් ලබා දුන්නා. භෞතිකව යමක් ලබනවාට වඩා, තමන්ගේ ප්‍රධානීන්ගෙන් වැඩ කිරීම උදෙසා ලබන ප්‍රශංසාව ඉතා උසස්. ආයතනය තුළ කැපී පෙනිය යුතු වන්නේ වැඩවලින් පමණක්ය යන්නට එය සියලු සේවකයන්ට පූර්වාදර්ශයක් වුණා. ඒ වගේම තව තවත් හොඳින් කැප වන්නට ධෛර්යයක් වුණා.

අවසාන වශයෙන් කියන්න ඔබ ඔබ ගැන තෘප්තිමත්ද?

ලෝක පිළිගැනීම අනුව ජනමාධ්‍ය කියන්නේ ව්‍යවසායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට පසුව තිබෙන හතරවැනි බලකේන්ද්‍රය. කරන්නේ සමාජ සුරකින, මුරබල්ලාගේ රාජකාරිය. රටක මිනිසුන්ගේ යහපත උදෙසා පෑන මෙහෙවන්න ලැබෙන මාධ්‍යවේදියා සමාජයට ඉදිරියෙන් ගමන් කරන ගෞරවණීය පුරවැසියෙක්. නමුත් ආයතන ඇතුළත වැඩකරන කාන්තා මාධ්‍යවේදිනයන්ට මේ වටිනාකම දැනෙනවා අඩුයි. මේ රස්සාව ආභරණයක් නොවෙයි. වැඩි වැඩ කොටසක් රට වෙනුවෙන් කරන්න ලැබුණු අවස්ථාවක්.

පත්තර කලාව කියන්නේ මගේ දෙවැනි ජීවිතය. මේ සම්මානනිය වූ ලිපි පෙළේ සමහර චරිත සම්බන්ධ කරගන්න මං අවුරුද්දක් හමාරක් හඹා ගියා. පත්තරේට වැදගත් කියලා හිතපු කිසිම ඉන්ටර්වීව් එකක් මං අතහැරියේ නැහැ. හොඳම දේ වෙනුවෙන් මගේ උපරිමය දෙන්න මං දෙපාරක් හිතන්නේ නැහැ.මට මගේ ආයතනය එක්ක තිබෙන්නේ ගනුදෙනුවක් නෙවෙයි. ඉන් ඔබ්බට ගිය මහා තෘප්තියක් ගෙන දෙන බැඳීමක්.

 

 

ඡායා  - ශාන් රූපස්සර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.