සිදුවූ අකටයුතුකම නිසා ලොවක් ඉදිරියේ අලුත් නමක් බිහි කළ ඇලිසන් මිචෙල් ෆෙලික්ස්

ජූලි 18, 2022

කාන්තාවක සතු ශක්තිය කිසිවකට සම කළ නො හැකියි

'I Know My Place'

 

ගැහැනියක ලෙස උපත ලැබීම අවාසනාවක් නොවේ. පිරිමියකු ලෙස උපත ලැබීම වාසනාවක් ද නොවේ. මනුෂ්‍යයකු ලෙස උපත ලැබීම ම වාසනාවකි. පිනකි. නමුත් ගැහැනු බව නිසාම යම් අසාධාරණයකට ලක්වීමට කාන්තාවකට සිදුවන්නේ නම් එය අනෙකුත් මනුෂ්‍යයන්ගේ වරදක් මිස ඇයගේ වරදක් නොවේ.

එහෙත් ගැහැනු බව නිසාම සමාජයේ දී තාඩන පීඩන අකටයුතුකම්, අසාධාරණ සිදු වූ කාන්තාවන් බොහෝ ය. අඩුම තරමේ වාචික හිංසාවට හෝ ලක්වී නැති ගැහැනියක් මිහිපිට නැති තරම්ය. නමුත් තම අයිතිය උදෙසා තමාට වන අසාධාරණය හමුවේ මුවහත් වන යකඩ මෙන් ශක්තිමත් ගැහැනු ඉන්නේ සීමිත සංඛ්‍යාවකි. එවැනි කාන්තාවන් අපේ කාන්තාවන්ට පමණක් නොව මුළු මහත් සමාජයටම ආදර්ශයකි.

එක් ක්‍රීඩිකාවක් ලෝ සුපතළ නයික් (Nike) සමාගම හා ගිවිසුම් ගත වූයේ ඇගේ ක්‍රීඩා තරගවලදී ඔවුනගේ නිෂ්පාදන භාවිතයටයි. එහෙත් ඇය ගැබිනියක් වී සිටීම නිසා ඇයට ලබා දීමට ගිවිසුම් ගත වූ මුදලෙන් කොටසක් අඩු කිරීමට ඔවුන් කටයුතු කළේය. වසර ගණනාවක් ම ඔවුන් සමඟ වෘත්තීයමය බැඳීමක් තිබූ ඇයට සිදුකරන ලද මේ ක්‍රියාව ඇයගේ ගැහැනුකමට කළ අභියෝගයක් විය. මෙය කොතරම් අසාධාරණ ක්‍රියාවක් දැයි ඇය ඔවුන් හා තර්ක කිරීමේදී එම සමාගම ඇයට පවසා ඇත්තේ 'ඔබගේ තැන දැනගෙන දුවන්න' යනුවෙනි. මෙයට පිළිතුරක් ලෙස ඇය තමාගේම වූ වෙළෙඳ නාමයකින් යුතු ක්‍රීඩා පාවහන් ඉදිරිපත් කළාය. පසුගිය වසරේ පැවැති ඔලිම්පික් උළෙලේ දී ඇය 'මම මගේ තැන දන්නවා' (I know my place) යැයි ලියන ලද බැනරයක් යටතේ ක්‍රීඩාපිටියට පිවිසියාය. එහිදී ඇය පැලඳ සිටියේ ඇගේ නිර්මාණයක් යටතේ නිමාවුණු අලුත් පාවහන් යුගලකිනි. ඒ ‘Saysh’ නම් ඇගේම වෙළෙඳනාමය යටතේ නිර්මාණ කළ සපත්තුය. මේ ක්‍රීඩිකාව වෙන කවරකු හෝ නොව, ඔලිම්පික් ධාවන ශූරී අමෙරිකානු ජාතික මලල ක්‍රීඩිකා ඇලිසන් මිචෙල් ෆෙලික්ස් ය. ඇය දස වතාවක් එක්සත් ජනපදයේ ජාතික ශූරිය ලෙස කිරුළු පැලඳි අතර 2012 දී මීටර් 200 ඔලිම්පික් ශූරිය විය. එමෙන්ම ඇය තුන් වතාවක් (2005-2009) ලෝක ශූරතාව දිනා ගත්තාය. දෙවරක් ඔලිම්පික් රිදී පදක්කම් ලාභිනිය වූ ඇය ලෝකඩ පදක්කම ද දිනා ගත්තාය. එපමණක් නොව, 1985 නොවැම්බර් 18 වැනි දින උපන් ඇලිසන් මීටර් 200 කෙටි දුර ධාවන ඉසව්වේ විශේෂිත ක්‍රීඩිකාවක් වූවාය.

එසේ වුවද පසුව ක්‍රමයෙන් ඇගේ දක්ෂතා මීටර් 100, මීටර් 4×100 සහය සහ 4×400 දක්වාද විහිදේ. මීටර් 400 දී 2015 ලෝක සූරිය, 2011 දී ලෝක රිදී පදක්කම් ලාභිනිය, 2016 ඔලිම්පික් රිදී පදක්කම, 2017 දී ලෝක ලෝකඩ සහ 2020 ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභිනියයි.

තමාට වූ අසාධාරණයේ දී ඇය හඬ නැගුවේ තමා වෙනුවෙන් පමණක් නොවේ. සමස්ත කාන්තාවන් උදෙසා ය.

ඔබට වටිනාකමක් එක්කර ගන්න. එමෙන්ම තමාගේ වටිනාකම දැනගන්න. ඒ අනුව ඔබගේ හඬ, ක්‍රියාව බලවත් බව මතක තබා ගන්න. කාන්තාවක සතු ශක්තිය කිසිවකට සම කළ නො හැකියි.